මාස පහකින් හම්බෙලා නොතිබ්බත් පුළුවන් හැම වෙලාවෙම අපි කෝල් ගත්තා, මැසේජ් කළා. ඉඳලා හිටලා කේතකීලගෙ අම්මල කොහෙ හරි ගියාම වීඩියෝ කෝල් එහෙමත් ගත්තා.
අපි අන්තිමට හම්බුනේ කේතකීගේ විභාගෙට මාස තුනකට විතර කලින්. දැන් විභාගෙ ඉවර හින්දා කොල්ලුපිටියෙ ජර්මන් ක්ලාස් යනඑනකොට හරි අපි හම්බෙමුයි කිව්වම “අම්මලා එයි කියලා බයයි. මතකනේ එදා…” කියල කේතකී මඟ ඇරියා. ඒත් ඉතින් මාත් උත්සහයනං අත ඇරියෙ නෑ.
සඳුදා පෝය නිසා ගිය ඉරිදා අපි පාන්දර තුන හතර වෙනකන් කතා කළා. මේ බදාදා දෙකට ක්ලාස් ඉවර වෙලා එයාව ගන්න එන්න කියලා කේතකී අන්තිමේ මට වචනෙ දුන්නා. මං ඉතින් විහිලුවට වගේ “මං එන්න ඕනෙමද කේතකී ?” කියල ඇහුවා.
වෙනදට මං එහෙම ඇහුවම හුරතල් තරහක් ආරූඪ කරන් “ආවේ නැත්තන් මං හපනවා” කියලා එයා දෙන උත්තරේ බලාපොරොත්තුවෙන් ඒක ඇහුවත් එදා මට හම්බුනේ “එන්න බැරිනං කමක් නෑ” කියල උත්තරක්. අම්මපා එවෙලෙනං මගෙ පපුවට කිතුල් කීරකින් අනිනව වගේ දැනුනා.
කොහොමත් කේතකී ඔය ක්ලාස් එකට යන්න පටන් ගත්තු දා ඉඳන් හරි වෙනස්. “පොඩ්ඩක් හරි සැක කරන්නකො මාව” කියලා ඉස්සර කියන එයා “ඔයාට ඉතින් හැමවෙලේම මාව සැකයිනේ” කියලා දැන් කියනවා. සමහරවිට කේතකී වෙනස් වෙලා නැතුවත් ඇති. ඒත් එයා අර වගේ උත්තර දෙනකොටනං මට හිතුනෙම එහෙම. හැබැයි ඉතින් මට මොනවා දැනුනත්, ඒවා මට දැනුනා කියලා කේතකීට දැනෙන්න මම ඉඩ තිබ්බෙ නෑ. මොකද කේතකීගේ මෑතකාලීන කතා නිසා මං හෙම්බත් වෙලා උන්නු මුසල හිස්කම කේතකීට දැනෙනවට මං අකමැති උන හින්දා.
“ඔයාගේ වචනවලට මං පණ පිටින් මැරෙනවා කේතකී” කියලා කියන්න ඕනකමක් තිබ්බත් ඒකට මට කොන්දක් තිබ්බෙ නෑ.
හැබැයි ඉතින් “අර බූරුව එක්ක එන්න” කියන්නත් කටට ආවා. ඒත් අමාරුවෙන් වළක්ක ගත්තා. මොකද ඌට අනන් මනන් කියනවට කේතකී එච්චර කැමති නෑ වගේ දැනුන නිසා. ඒ හින්දා කේතකීගේ හිත දිනාගන්නම “මං ආවේ නැතත් හර්ෂ මල්ලි එක්ක ඔයාට එන්න පුළුවන් නේ..” කියල බොරු සුදු හමක් පොරවගෙන මං කිව්වා. හැබැයි පස්සෙනං හිතුනා අපරාදෙ මං එහෙම කිව්වෙ කියලා.
“ඔව් හර්ෂ එනවා තමයි. මේ ටිකේම එයා අපි එක්ක ආවා”
එවෙලේ මගෙ ඇඟ හීතල වෙලා ගියා. හැබැයි ‘අපි එක්ක’ කියලා කිව්වයින් ඇඟට ලේ ටිකක් ඉනුවා. ඒත් ඉතින් හර්ෂව විතරක් නමින් කියලා ඉතුරු අය ඔක්කොටම අපි කියලා කියපු නිසා හර්ෂට විතරක් ඇයි විශේෂයක් කියලා හිතුනත් මං ඒක ඇඟවෙන්න නොදී “අපි ?? අපි කිව්වේ කව්ද ?” කියලා බාල කරපු සැරකින් ඇහුවා.
” මායි, සප්නයි, ෆාතියි..” කේතකී ටිකක් කල්පනා කරලා වගේ කිව්වා.
“ඇයි හර්ෂ විතරක් ඔයාලා එක්ක එන්නේ ? අනිත් කොල්ලෝ කෝ ?” හැරෙන තැපෑලෙන්ම මං ඇහුවා.
“මොකද අප්ප මේ ?? ප්රශ්නම අහන්නෙ ? මාව සැකද ඔයාට ? ආහ්.. ??” කේතකී හුස්මක්වත් නොගෙන හයියෙන් හයියෙන් ඇහුවා.
“සැකයක් නිසා නෙවේ අහන්නෙ, කියන්නකෝ.. හර්ෂ විතරක් මොකද ඔයාලා එක්ක එන්නේ ? සප්නා යාලුද එයා එක්ක ?”
“පිස්සුද ඔයාට ? හර්ෂ කා එක්කවත් යාලු නෑ. එයා අපේ හොඳම යාලුවෙක්. එච්චරයි. අනික සප්නා වගේ කළු කෙල්ලෙක් හර්ශ වගේ කොල්ලෙක්ට හරියනවද ?”
“සප්නට හරියන්නැත්තන් තමුසෙටද හරියන්නේ ?” කියලා අහන්න තරං කේන්තියක් ආවත් එහෙම අහලා රණ්ඩු වෙවී ඉන්න මට හිත දුන්නෑ.
” හරි හරි. මේ කතාව නවත්තමු දැන්. කෝ මාව තුරුලට ගන්න. මට සීතලයි..” කියල ආදේශකයක් දැම්මා.
” කෝ.. ළඟට එනව. මෝඩයා.. බොරුවට සැක කරනවා මාව.” කේතකී වචනෙන් දෙකෙන් මගෙ බියසංකා දුරලන්න දන්නවා.
මාස පහකින් අපි තුරුල් වෙලා නැති උනත් තත්පර පහකින්, වචන පහක් පාවිච්චි කරලා, තුරුල් වෙද්දි දැනෙන හැඟීම එහෙං පිටින්ම දෙන්න කේතකීට ලොකු බලයක් තියනවා. හැඟීම්වලට වචන නැතත් වචනවලට හැඟීම් තියනවලුනේ…
මේ ඔක්කොම මට මතක් උනේ කේතකීගේ කොල්ලුපිටියේ ක්ලාස් එකට යන පාර පටන් ගන්න තැන තියන ලොකු නුඟ ගහ යටට වෙලා කේතකී එනකන් බලන් ඉද්දි.
කොළඹ යන්න ඇත්තටම මං බයයි. ඇත්තටම ඒක බයකුත් නෙවේ. ඒක නිකන් හරියට ආගන්තුකකමක් වගේ දෙයක්. සෙනඟ පිරුණු තැන්වල ඉද්දි ඒ බය වගේ දේ මට හරියට දැනෙනවා. ඒක නිසා මං කරන්නෙ හෑන්ඩ්ෆ්රී එක ගහන් සේනක බටගොඩගෙ සිංදුවක් අහන එක. ඊටපස්සෙ නං ඉතින් අසියයි, ජනියයි එක්ක බන්ට් එක උඩ මලක් අදිනව වගේ. සෙනඟ අතරින් මං ඔහේ පාවෙලා යනවා.
කේතකී මට එන්න කිව්වේ දෙකට. වෙනදටනං මං යද්දි අඩුම තරමින් දෙකයි කාලවත් වෙනවා. ඒත් එදා මං එකයි කාල වෙද්දි එතන.
ඉරිදා කේතකී එන්න කිව්ව වෙලේ ඉඳන් ඔරලෝසුවෙ කටු කැරකුනේ මාර හිමීට. දවස් දෙක නිකන් අවුරුදු දෙකක් වගේ. මොකද ඉතින් කේතකීව දකින්නේ මාස පහකටත් පස්සෙ නේ.
කේතකී ඒලෙවල් කරලා මාසෙකින් තමා ඔය ක්ලාස් එකට යන්න ගත්තෙ. ජර්මන් භාෂාව තමා ඒකෙ ඉගැන්නුවෙ. කේතකී ඔය ක්ලාස් එකට යනවටනං මගෙ ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද කේතකී ඔය ක්ලාස් එකට ගියෙ ජර්මන් ඉගෙන ගෙන රට යන අදහසින්. කේතකීට ඒ අදහස නැතත් කේතකීගේ තාත්තලට ඒ වගේ අදහසක් තිබ්බා.
” අපෝ.. ඇයි අනේ ඔයා රට යන්න අකමැති ?” ඔය මාතෘකාව ඇදගන්න හැමවෙලේම කේතකී මගෙන් එහෙම අහනවා.
“මං ආස නෑ ඔය සුද්දන්ට බැලමෙහෙවරකං කරන්න” කේතකීට එහෙම උත්තරයක් දීල හැමදාම මං ඒ ප්රශ්නෙ මඟ ඇරියා.
දැන් මං ගැනත් ටිකක් කියන්නම්. මගෙ නම විශ්ව. මං කේතකීට වඩා අවුරුදු තුනක් වැඩිමල්. කැම්පස් යන්න සුදුසුකමුයි, ආසාවයි දෙකම තිබ්බත් මං කැම්පස් දැම්මෙ නෑ. ඒකට හේතු ගොඩක් තිබ්බා.
ඒලෙවල් කරලා අනික් අතට මං ඒකළ කීල්ස් එකේ වැඩට ගියා. සොසේජස් පැකට් කරන එක තමා මගේ පළවෙනි රස්සාව. ෆීසර් රූම්වලට සොසේජස් තැටි පටවන එක, බිම හෝදන එක, මේස හෝදන එක, පැකට් බන්ඩල් හදන එක, ලොකු උන්ට කඩේ යන එක ආදි වශයෙන් සැරෙන් සැරේ මගෙ සොසේජස් රස්සවෙ මුහුණුවරත් එහෙ මෙහෙ උනා. රිසාල්ට් ආවට පස්සෙ මං සොසේජස් රස්සාවෙන් අයින් වෙලා යක්කල කඩදාසි කොම්පැනියක ටිකක් හොඳ පඩියක ඔෆිස් ජොබකට පැන්නා. දැනුත් මං වැඩ එතන. අද කේතකීව බලන්න යන්න නිවාඩු ඉල්ලගත්තෙත් මේ ටිකේම නයිට් ගහලා.
බිබිලියානුස් මුදලාලිගෙ පොල්ලෙලි ලොරිය අරන් එනකොට කොටදෙණියාවෙදි තාත්තා හැප්පුන දා ඉඳන්ම ගෙදර වියදං බැලුවෙ මායි, මල්ලියි. මල්ලි ඕලෙවල් ෆේල්. එයා හන්දියෙ 206ක් තියන් හයර් දුවනවා. අම්මත් අවුරුද්දක ඉඳන් ලෙඩ ඇදේ. මේ දවස්වලනං එයාට හොස්ස ළගින් මැස්ස යන්න බෑ කීමෝතෙරපිවල සැරට. එයාගේ වැඩ ඔක්කොම කළේ අපේ අක්කා. ඒ නිසා අක්කට ජොබ් එකක් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ. තාත්තගෙ වැඩ මල්ලියි, මායි පුළුවන් උපරිමේට කළා.
මේ කතා ඔක්කොම කේතකී දන්නවා. හැබැයි මාතෘකා වශයෙන්. ඒ කියන්නේ අම්මට පිළිකාවක්, තාත්තා ඇක්සිඩන්ට් වෙලා පැරලයිස්.. ආදී වශයෙන්. එයාට ඒ ප්රශ්න විස්තර කරලා කිව්වට තේරෙන්නෙ නෑ කියලා මට හිතුනා. ඉතින් මං ඒවා එයාට කියන්න ගියෙත් නෑ. එයා හාර හාර ඇහුවෙත් නෑ. හැබැයි අපි හරි හරියට ආල ගී නං තෙපළුවා මහ රෑ එළි වෙනකන්. වරු ගණන් කතා කළත් අපි පවුල් ප්රශ්න අපේ කතාවල මාතෘකා කරගත්තෙ නෑ. කෝමත් දෙයියන්ගෙ පීටෙන් කේතකීලට මහ ලොකු ප්රශ්න තිබ්බෙත් නෑ. එයාට අවශ්ය හැමදේම අවශ්ය පරිමාණෙටත් වඩා ගෙදරින් දුන්නා. එයා ඉතින් වරාමලක් වගේ සැහැල්ලුවෙ පාවෙවී ජීවත් උනා. මටත් ඉතින් මගෙ කදුළු දාලා වරාමල බිමට වට්ටන්න ලෝභ හිතුනා. ඒ හින්දා මං එයාට තව තවත් සැහැල්ලුවෙන් පාවෙවී ඉන්න ආදරෙයි, නිදහසයි දුන්නා.
වෙලාව එකයි තිස් තුනයි. ළමයි එකා දෙන්නා එනවා ක්ලාස් එක පැත්තෙන්. මම නුඟගහ යට බයික් එක නවත්තන් ඉඳගෙන සිංදුවක් අහන් ඉන්නවා. මෙතන ඉඳන් ක්ලාස් එකට මීටර් සීයක් විතර ඇති. මට ක්ලාස් එකේ ගේට්ටුව පෙනුනට එතන ඉන්න අයට මාව පෙනුනෙ නෑ.
ළමයි එකා දෙන්නා එනවා පේන්න ගත්තු වෙලාවෙ ඉඳන් මම හරියට කලබල වෙලා.
“ක්ලාස් එක එකහමාරට ඉවර වෙනවනං ඇයි කේතකී මට දෙකට එන්න කිව්වේ ?” කියන ප්රශ්නෙත් එවෙලෙ මගෙ පපුව ඇතුළෙ රස්නෙ ගගහ ඇවිළි ඇවිළි තිබ්බා.
කේතකීගේ ප්රියතම දම් පාට අත් දිග චෙක් ශර්ට් එකයි, ලා දුඹුරු පාට කලිසමයි ඇදගෙන, අම්මලා එක්ක මැලේශියා ගිය වෙලේ කේතකී මට ගෙනාපු දුඹුරු පාට රේ බෑන් සන්ග්ලාස් එකයි දාගෙන, අක්කටත් හොරෙන් අක්කගෙ රතු රෝස පාත්තියෙන් කඩන් ආපු ලොකු රතු රෝස මලකුයි, ප්රියංකා ටෙක්ස්ටයිල් එකෙන් කේතකීට ගත්තු ගවුම දාපු උරෙයි අතේ තියන්, අමාරුවෙන් නිවාඩුත් දාන් එයාව බලන්න පුදුම ආසාවකින් ඇවිත් ඉන්න මට එයා බොරුවක් කරලා. ඒත් ඇයි එයා මට එහෙම කළේ ? සමහරවිට ක්ලාස් කලින් අරින්න ඇති… බැරිම තැන මං එහෙම හිතුවා
ළමයි තිහ හතළිහක්ම ගේට්ටුවෙන් එළියට ආවා. ඒත් කේතකී පේන්න නෑ. මට දැන් හරි ප්රශ්නෙ. ලොකුම අවුල කේතකී ආපු නැති එකටත් වඩා හර්ෂ ආපු නැති එක.
ක්ලාස් එකේ ඉඳන් එන කොල්ලෙක්ව අඬ ගහලා මං “මල්ලි කේතකී කෝ ?” කියල ඇහුව.
“අයියේ එයා අද ක්ලාස් ආවෙ නෑනේ.” කොල්ලා ටිකක් කල්පනා කරල කිව්වා.
“මොකක් ?? ආවේ නෑ…” කියලා කියන්න කටට ආවත් මං එහෙම කිව්වෙ නෑ. මොකද කේතකී අද ක්ලාස් ආවෙ නැති වග මං නොදන්නවා කියලා ඒ කොල්ලට අඟවන්න මට ලැජ්ජ හිතුනා. ඊටපස්සේ බොරුවට ෆෝන් එක ඔන් කරලා “අප්පටසිරි ඔව්නේ.. මට මැසේජ් එකක් දාලනෙ..” කියලා ඌට මං බේගලක් කෙළියා. ඒ කොල්ලා උණ්ඩුකපුච්චියෙනුත් මට හිනා උනා කියලා ඌ බලපු බැල්මෙන්ම තේරුනා.
මං දැන් ප්රශ්න තොගේක පැටලිලා.
ක්ලාස් එකහමාරටනං ඉවර වෙන්නේ කේතකී ඇයි මට දෙකට එන්න කිව්වේ ? ක්ලාස් ආවෙ නැත්තන් කේතකී මොන මඟුලෙද ගියෙ ? මොකා එක්කද ගියෙ ? ඇයි කේතකී මට බොරු කරන්නේ ?
වැඩි වෙලා කල්පනා නොකරම මං කේතකීට කෝල් එකක් ගත්තා. ෆෝන් එකත් ඕෆ්.
ඉරිදා කේතකී එන්න කියපු වෙලේ ඉඳන් අද දවසේ කේතකී එක්ක ඉන්න හැම විනාඩියක් ගැනම මං මවපු හීන සේරම මහ විසාල කුණාටුවක් ඇවිත් ගහගෙන ගියා. වටේ පිටේ උන්නු හැම මිනිහම, හැම කඩේම, හැම බිල්ඩිමම, හැම කනුවම, හැම ගහම, හැම කොළේම මට හක හක ගාලා හිනා උනා. සමහර බිල්ඩින් උන්ගෙ තඩි බඩගෙඩි අල්ලන් පෙරළි පෙරළි හිනා උනා. එතන තිබ්බ නුඟගහ විතරක් මං දිහා ටිකක් අනුකම්පාවෙන් බලන් හිටියා. ඒත් ටිකකින් දැක්කා ඒ නුඟ ගහත් මං අහක බැලුවම අතින් කට වහන් මට නක්කලේට හිනාවෙනව කියලා එතන උන්නු කොල්ලෝ දෙන්නෙක් එක්ක. එවෙලෙ ස්කූල් බස් ගොඩක් ගියා. ඒ හැම බස් එකම මට හූ කිව්වා. මහ හයියෙන් හිනා උනා. බස් ඇතුළෙ උන්නු සමහරු මට වතුර ගැහුවා. අනේ තෝ වගේ මෝඩයෙක් කියලා කෑ ගහගෙන ගියා. සමහරවිට ඒ මුකුත්ම උනේ නැතුවත් ඇති. හැබැයි එහෙම වෙනවා වගේ මට දැනුනා.
ටිකකින් හෝ ගාලා මහ හුළඟකුත් එක්ක අන්ධකාරයක් ගලන්න ගත්තා. මටත් පුදුම හිතුනා මහ දවාලේ අන්ධකාරෙ ගලද්දි. හැබැයි හඳක්නං පෑව්වෙ නෑ. අඩු ගානේ තරුවක්වත්.
ඒ එක්කම පාරෙන් එහා පැත්තෙ හෝල්ට් එකේ කළු පාට ලොකු ඉස්ටිකරයක් ගහපු 101 බස් එකක් නැවත්තුවා. මුලින්ම පිටිපස්සෙ දොරෙන් මොණර නිල් පාට කොට ගවුමක් ඇදගත්තු කොන්ඩෙ දිග, සුදු කෙල්ලෙක් බැස්සා. ඒ කෙල්ලගෙ මූණ පෙනුනෙ නැතත් එයා කරන්නෙ මොනාද කියලා මට පෙනුනා. එයා අල්ලෙ තවරපු ලොකුම ලොකු හාද්දක් අර මහ හුළඟ දිගේ පා කරලා, බස් එකේ පිටිපස්සෙ සීට් එකේ මුල්ලෙ උන්නු කාටදෝ යැව්වා. බස් එක අද්දන්න කලින් එයා ඒ විදිහෙම තව හාදු තුන හතරක් පා කරලා යැව්වා. බස් එක ටිකක් දුරට යනකන්ම බස් එකේ ඉන්න දෙවෙනි පාර්ශවෙයි, මේ කෙල්ලයි අතරෙ මේ හාදු හුවමාරුව වෙනව මං දැක්කා.
තාම ඒ කෙල්ල පාරෙ මං උන්නු පැත්තට හැරුනෙ නෑ. හැරෙන්නම ඕනෙද අනේ එයාව අඳුරගන්න.
එවෙලෙ මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව දෙකට පහක් විතර තිබ්බා.
උපුටා ගැනීම: Chris Telan Siyambalapitiya