නෝනාට වඩා වාහනේ වටිනා මහත්තුරු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අද අසිත ගෙදර නැද්ද..?”
සේයා සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියදී මා ඇගේ සැමියා පිළිබඳව විමසුවේ ඔහු ද ඇය මෙන්ම මගේ මිතුරෙකු වූ නිසාය.
“ආ.. එයා ගියානෙ එයාගෙ නෝනට බෙහෙත් ගේන්න..”
ඇගේ කටහඩේ උපහාසයක් වූ බැව් හැඳින ගත්තේ වී නමුදු මම මොහොතකට අන්දුන්කුන්දුන් වීමි.
“ඇයි බං.. දැන් උඹ නෙමෙයි ද නෝනා..?”
මා විමසුවේ සිහි එළවා ගත් ඇසිල්ලේය.
“නෑ.. නෑ.. මම ගෙදර සර්වන්ට් විතරයි.. දැන් එයාගෙ නෝනා තමයි කාරෙක.. මට වැඩිය ආදරේ කාරෙකට..”
ඇය තරහින් මෙන් කියද්දී මට නවත්වා ගන්නට බැරි තරමට සිනා ගියේය.
“හිනා වෙන්න එපා බං.. මම මේ ඇත්ත කියන්නෙ.. අසිතට කාරෙකෙන් එහා ලෝකයක් නෑ.. ඊයෙ පෙරේදා ඉඳලා මගෙ කොන්ද රිදෙනවා.. අද එයාගෙ නිවාඩු දවසෙ ඩොක්ටර් ළඟට යන්න පුළුවන්නෙ කියලා හිතාගෙන හිටියෙ.. ඒක කිව්වා විතරයි ඇඟට කඩාගෙන පැන්නෙ නැද්ද ඊයෙ පෙරේදා ඉඳන් කොන්ද රිදෙනවානම් බෙහෙත් ටිකක් ගන්නෙ නැතුව අද වෙනකම් මොන මඟුලක් කළා ද කියලා.. ඊට පස්සෙ කාරෙකේ එන්ජින් එකේ මොකක්ද සද්දයක් ඇහෙනවා කියලා ඒක හදාගෙන එන්න ගියා.. ඉතින් එතකොට නෝනා කාරෙක මිසක් මම නෙමෙයිනෙ..”
සේයා දුක්ගැනවිල්ලක හඬින් කියාගෙන ගියාය.
“අමාරුවෙන් ගත්ත කාරෙකේ වටිනාකම දන්න හින්දනෙ ඉතින් එහෙම කරනවා ඇත්තෙ..”
මම ඇය අස්වසන්නට උත්සාහ කළෙමි.
“අනේ නිකම් ඉඳින් බං.. ඔය යකඩ ගොඩට වැඩිය මාව වටින්නෙ නැද්ද..? කාරෙක නැත්නම් ඔය ඕන තරම් බස් තියෙන්නෙ.. ත්රි වීලර් තියෙන්නෙ.. නිකම් හිතපන් මං එක්තැන් වුණොත් එහෙම මේ ගෙදර දසසුමේ කරන්නෙ ඔය කාර් කටුව ද කියලා… ඒවා මතකවත් නෑ.. කාරෙක යන්තම් කෙඳිරි ගෑවොත් අරගෙන ගරාජ් එකට දුවනවා.. ඒකට කීයක් වියදම් ගියත් කමක් නෑ.. මම මොනවට හරි සල්ලි කීයක්වත් ඉල්ලුවොත් කියන්නෙ නාස්තිය කියලා..”
ඇය කියවාගෙන කියවාගෙන ගියාය. සිත් වේදනාව අඩු වෙන තුරුම ඇයට කියවන්නට ඉඩ දී මම නිහඬව අසා සිටියෙමි. ඇගේ කතාවෙන් ගම්ය වූයේ අසිත කාරයට දක්වන සැළකිල්ලෙන් දහයෙන් එකක්වත් ඇයට නොදක්වන බවය.
මෙය සේයාගේ පමණක් නොව තවත් බොහෝ කාන්තාවන්ගේ පැමිණිල්ලක් බැව් මට සිහිපත් වූයේ ඒ සංවාදයෙන් පසුවය.
“නිවාඩු දවසේ උදේ පාන්දරම බයික් එක ළඟ වාඩි වෙනවා.. අම්මෝ.. ඒකට කරන සාත්තුසප්පායම්.. ඒවා ඉවර වෙලා තමයි ගෙදරක් තියෙනව ද කියලා ඇහැ ඇරලා බලන්නෙ.. මට වෙලාවකට හිතෙනවා ඕකට පෙට්රල් ටිකක් දාලා ගිනි තියන්නෙ..”
මගේ නෑදෑ යුවතියක් ඇගේ සැමියා ගැන කිවේ එසේය. මේ දැන් වෙළෙඳපොලෙන් රැගෙන ආවාක් මෙන් බබලන ඔහුගේ මෝටර් සයිකලය මට සිහිපත් වූයේය.
“රංජන් කැමති නෑ පිට කාවවත් වාහනේ දාගෙන යන්න දොර හයියෙන් වහනවා.. කාපට්වල ජරාව ගෑවෙනවා කියකියා චරුචුරු ගානවා.. බැරි වෙලාවත් කවුරු හරි දාගෙන ගියොත් එහෙම ඒ මනුස්සයා බැස්ස ගමන්ම කාපට් ගසලා දානවා.. මිනිස්සු මොනවද අපි ගැන හිතන්නෙ නේද..? ඇත්තටම කියනවා නම් අපිත් ඔය බඩකඩිත්තුවට නගින්නෙ දේවාලෙකට යද්දි වගේ පරිස්සමට.. දරුවන්ට වාහනේ ඇතුළෙදි චොකලට් එකක්වත් කන්න දෙන්නෙ නෑ කෑලි හැලිලා ජරා වෙයි කියලා..”
ඒ මගේ තවත් යෙහෙළියකගේ දුක්ගැනවිල්ලකි.
“ශානක උදේ නැගිට්ට ගමන්ම කරන්නෙ එළියට ගිහින් කාරෙක වටේ රවුමක් ඇවිදලා බලලා එන එක.. සමහර වෙලාවට මට හිනාත් යනවා.. සමහර වෙලාවට යකා නඟිනවා.. එතකොට මං අහනවා කාරෙක ඊයෙ රෑ පැටව් ගහල ද කියලා බලන්න ගියා ද කියලා.. කාරෙක කැඩිලා හදන්න ගරාජ් එකට දැම්මොත් එදාට මුළු රෑම ඉන්නෙ ඇහැරලා.. මම බබා හම්බ වෙන්න හොස්පිට්ල් ගිය දවසෙ රෑ හොඳට ගොරවගොරවා නිදාගෙන ඉඳලා තියෙන්නෙ..”
තමාට වැඩිය වාහනයට ආදරය කරන මහත්තුරු ගැන මෙවන් කතා ඇසෙද්දී මට විදෙස් කතාවක් ද සිහිපත් වූයේය. එක් තාත්තා කෙනෙක් අලුතින් කාරයක් මිළ දී ගෙනාවේය. ඔහුගේ කුඩා පුතු ගලක් රැගෙන එහි බඳේ යමක් කුරුටු ගානු දුටු ඔහු බොහෝ සෙයින් කෝපයට පත් වී පුතුට පහර දුන්නේය. පුතු අතේ තිබු ගලෙන්ම ඔහුගේ ඇඟිලි ද තැලුවේය. ඇඟිලි තදින්ම තුවාල වූ නිසා දරුවා රෝහල්ගත කරන්නට සිදු විණි. ඔහුගේ අත බේරා ගන්නට නම් ඇඟිලි දෙකක් කැපිය යුතු බැව් වෛද්යවරයා නිගමනය කළේය. තාත්තා මහ හයියෙන් කෑ ගසා හැඬුවේ කාරයේ බඳ මත හිස ද ගසා ගනිමිනි. පුතු ලියා තිබූ දෙය ඔහු දුටුවේ එමොහොතේය.
“මම ඔයාට ආදරෙයි තාත්තේ..”
දරුවාගේ කැපූ ඇඟිලි සහිත අත දකින හැම මොහොතකම ඔහු පසුතැවිලි වෙන්නට ඇති තරම අපට අනුමාන කරන්නටවත් නොහැකිය.
සැබැවින්ම පිරිමි වැඩි දෙනෙක් සිය වාහනය දකින්නේ යකඩ ගොඩක් ලෙසින් නොවේ. සිය පෞරුෂත්වයේ සංකේතයක් ලෙසය. ඔවුන් ණය වී හෝ කල්බදු ක්රමයට හොඳම වාහනයක් මිළ දී ගන්නට පෙරුම් පුරන්නේ එම නිසාය. වාහන ඇති පිරිමි කිහිප දෙනෙක් එක් වූ විට තමන් සතු වාහන ගැන මෙන්ම පෙට්රල් ලීටරයකින් යා හැකි වැඩිම දුර ගැන ද ආඩම්බරයෙන් කතා කරති.
එක්තරා සාදයකදී බීමතින් සිටි පිරිමියෙකු සිය රූමත් බිරිඳ වටිනා කරයකට හුවමාරු කර ගන්නට කැමති බැව් කියූ ආකාරය මා පුදුමයට පත් කරන්නට සමත් වූයේය.
“ගෑනු මොනවද මචං..? වටිනා කාර් එකක් තියෙනකොට ලස්සන ගෑනු ඕන තරම් පස්සෙන් එයි.. ලස්සන ගෑනියක් හිටියට කාරෙකක් පස්සෙන් එන්නෙ නෑනෙ..” ඔහු කීවේය.
“ඒත් මතක තියා ගනින් මචං.. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ඉන්නෙ ගෑනියක් මිසක් කාරෙකක් නෙමෙයි.. කාර් හොඳයි උජාරුවට ඩ්රයිව් කරගෙන යන්න.. ඒ ඇරෙන්න ඕවයින් වෙන මොන මළඉලව්ව ද කරන්න පුළුවන්..? ඔය විදියට තමන්ගෙ ගෑනිට අපහාස කරන්න එපා..”
එතැන සිටි තවත් පිරිමියෙකු අවවාද කළේය. මා මෙන්ම තවත් ගැහැනුන් ඔහු දෙස බැලුවේ ප්රශංසාත්මකව බැව් සහතිකය.
“ඌට කාරෙකක් නැති හින්දා වෙන්න ඇති ඔහොම කියන්නෙ..” අනෙක් පිරිමි ඔහුට සිනාසුණේ එසේ කියමිනි.
කෙසේ වුවත් සමහර පිරිමින්ට වාහනයක් යනු ගමන්බිමන් පහසු කරන, කාලය ඉතිරි කරන මෙවලමක් මිස ආභරණයක් නොවේ. ඔවුන් කිසිම දිනයක සිය ආදරණීයයන්ට වඩා වාහනයට ආදරය කරන්නේවත් වාහනය ඔවුන් සමඟ සංසන්දනය කරන්නේවත් නැත. මා මේ ලිපිය ලිව්වේ වාහනය ජීවිතයම බවට පත් කර ගන්නා පිරිමි ද මේ සමාජයේ ඇති බැව් පෙන්වා දෙන්නටය.
උපුටා ගැනීම:  චන්දි කොඩිකාර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!