මම කලිනුත් කියලා තියෙනවානේ මට මොකක් හරි කතාවක් මතක් උනාම ඉන්න තැන මතක නැති වෙනවා කියලා. අදත් එහෙම එකක් උනේ. මගේ යාලුවෙක් එක්ක ෂොපින් මෝල් එකකට ආවා. ඌ ලෝකේ නැති මොකක් හරි හොයනවා. මට එපා වෙලා මම පඩියක වාඩි උනා තෝ ඕන මගුලක ගිහින් හොයාගෙන වරෙන් කියලා. ඒ ඉන්න වෙලාවේ තමයි මේක මතක් වෙලා ලියන්න ගත්තේ.
ඉස්සර තාත්තට මමයි, මට තාත්තයි නැතුවම බෑ. ඒ උනාට විනාඩි පහක් එකට ඉන්නත් බෑ. එක්කෝ මම තරහා වෙලා යනවා. නැත්නම් මොකක් හරි නසරානි වැඩක් කරලා ගුටි කාලා යනවා.
දවසක් තාත්තා මෝටර් බයික් එකේ මොකක්ද ගලවගෙන හදනවා. මටත් ඔහොම එකක් දැක්කම ඉන්න බෑ. මමත් ගියා. එතකොට ඉස්කෝලේ හය වසරේ වගේ. දැන් මටත් තාත්තා කරන වැඩේ කරන්න ඕන. මම ඒක ලඟට ඔලුව දානකොට තාත්තා බනිනවා. දැන් මමද වැඩේ කරන්නේ උඹද කියලා. එහෙම බොරුවට බැන්නට මම ඒ පැත්තට නොගියත් හිත හොඳ නෑ.
ඉතින් තාත්තා කෑ ගහපු නිසා මම බයික් එකේ අනිත් පැත්තට ගියා. මටත් අත පය තියාගෙන ඉන්න බෑ නේ. තාත්තා බයික් එකේ ප්ලග් එකට එන වයර් එක ගලවලා ඇතුලේ බැඳිලා තියෙන ඔක්සයිඩ් කූරකින් සුද්ද කරන අතරේ මම බයික් එකේ කික් පැඩ්ල් එක උඩ එක පාරටම නැග්ගා. එතකොට එහා පැත්තෙන් එන්නේ අම්මට සිරි වෙන කරන්ට් එකක්. ඒක ඒ දවස් වල දන්නේ නෑ නේ.
තාත්තා බුදාම්මෝ කිව්වා. අතේ තිබ්බ කූරු කෑල්ලත් විසි උනා. වාඩි වෙලා ඉඳපු බංකු කෑල්ලෙනුත් තාත්තා බිමට වැටුනා. මම බලාගෙන ඉන්නවා තාත්තා නටන වන්නම මොකක්ද කියලා. එක පාරට උඹේ අම්මට කියලා නැගිට්ටා. මට තේරුනා මට බඩු හම්බෙන්න තමයි යන්නේ කියලා. දැන් මම දුවනවා. මගේ පස්සේ තාත්තා දුවගෙන එනවා. අම්මට කියලා සද්දෙන් කියපු නිසාද මන්දා තාත්තගේ පස්සෙන් අම්මා දුවගෙන එනවා. එදා තමයි මම හරියටම ගම හරහා දිව්වේ.
එහෙම දුවගෙන ආයෙත් ගෙදරටම ආවා. තාත්තත් වෙඩි කාපු ඌරා වගේ මගේ පස්සෙන් එනවා. මට ඊට පස්සේ කරන්න දෙයක් හිතාගන්න බැරි උනා. මම තාප්පෙට නැග්ගා. මෙන්න යකෝ තාත්තත් නගිනවා. මම තාප්පෙන් නාන කාමරේ වහලට නැග්ගා. තාත්තත් ඒකට නගින්න එනවා. මම ඒකෙන් ගෙදර වහලට නැග්ගා. තාත්තත් වහලට නැග්ගා. එතනින් එහා කොහේ යන්නද?තාත්තත් බූමිතෙල් පාර කාපු ගැරඬියා වගේ මගේ පැත්තට ආවේ. මම වහල අයිනටම ගියාම ගෙදර වැඩකට ගෙනැල්ලා ගොඩ ගහලා තියෙන වැලි ගොඩ දැක්කා. හිතන්න වෙලාවක් නෑ තාත්තා අත ලඟ. මම වහලෙන් පැන්නා. ලොකු අවුලක් නෑ වැලි කෝප්ප භාගයක් විතර කටේ ගියා. තාත්තගේ ඒ.බී.එස් වැඩ නිසා තාත්තා නැවතුනා. නැත්නම් මට බලන්න තිබ්බා තාත්තා ගුවන් ගත වෙනවා.
අන්තිමට උන ටික නොලියා ඉන්නම්. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා.
උපුටා ගැනීම: Sajitha Roshan