ළඟකදී ඉඳන් ගෙදර ඉස්සරහ දොර දවල්ටත් වහගෙන ඉන්න සිද්ද වෙලා තියෙන්නේ.
දැන් මාසයකට විතර කලින් පැණි කුරුලු ජෝඩුවක් ගේ ඇතුලට ඇවිත් පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට පියාඹ පියාඹ කෑ ගහ ගහ අපිට පුදුම රැග් එකක් දුන්නේ.
” අපි ආවා ..දැන් උඹලා පලයල්ලා යන තැනක” සීන් එකේ තමා උන් දෙන්නා හිටියේ. දවස ගානේ එනවා. අපේ ගෙදර හමුදාව ඉතින් කොස්සවල් උස්සගෙන හතර අතේ උන් පස්සේ දුවනවා පන්නන්න. ගහන්න නෙමේ බය කරලා එළවන්න තමයි ට්රයි කලේ. දවසෙන් භාගයක් ඕකටම යනවා. ඇයි ඉතින් ගේ ඇතුලේ උන් ජරා කළාම උන්ම ඇවිල්ලා මොප් කරලා දෙනවැයි.
බේරෙන්න බැරි තැන හස්බන්ඩ් කොල්ලට කියලා රණාලෙන් අර මැටි වලින් හදාපු එල්ලන කුරුලු කූඩුවක් ගෙනල්ලා එල්ලුවා ගරාජ් එකේ. පහුවදා ඉඳලා අර ජෝඩුව මිසින්..
සතියකට දෙකකට විතර පස්සෙ දැක්කේ අර ගෙනාපු කූඩුව ඇතුලට එක කුරුල්ලෙක් (කිරිල්ලි වෙන්න ඕනේ) යනවා. එනවා. බලද්දි උන්දැට බබාලා හම්බෙලා.
හරි ඉතින් අපි සන්තෝසෙන් හිටියා තව සතියක් දෙකක්. මෙන්න නමක් ගමක් දන්නැති තව ඩබලක් බැරියර් කඩාගෙන ගේ ඇතුලට ඇවිත් ලෑම්ප් ශේඩ් එකක කූඩු හදන්න ලෑස්තිය. උදේ ඉදන් මේ කුරුලු යුද්දෙ නිසා දවසට දෙපාරක් නාන්න වුනා ෆ්රෙන්ඩ්ස් දාඩියටම එහෙට මෙහෙට දුවලා. හිතාගන්නකෝ දීපු රැග් එකේ තරම.
ආයිත් හස්බන්ඩ් කොල්ලට කියලා කියලා මැටි කූඩුවක් ගෙනත් එල්ලුවා එළියේ තව තැනක. ඒකත් හරි.
ඊයේ ඉඳන් ඔන්න කොණ්ඩ කුරුලු ජෝඩුවක් කරක් ගහනවා. පොඩ්ඩ දොර ඇරියත් ගේ ඇතුලේ. ඊට පස්සේ අපි එළවනකොට ගිරි යටින් කෑ ගහ ගහ පුදුම වදයක් දෙන්නේ මේ දවස් දෙකට.
අද උදේ හස්බන්ඩ් වැඩට යද්දී මන් කීවා එනගමන් අනේ තව අරවයින් කූඩුවක් ගේන්න කියලා. ඉනට අතත් බැඳගෙන මෙන්න මෙහෙම කියපි..
“යකෝ මේක මාර මඟුලක්නේ. කුරුලු ජෝඩු කසාද බඳින කසාද බඳින ගානට මන් කූඩු ගෙනත් දෙන්නත් ඕනිද. ඊට හොඳයි මේ මුළු ගේම උන්ට බාර දීලා අපි ගහක් උඩ කූඩුවක් හදාගමු හෙට නිවාඩුවකුත් දාලා”
උපුටා ගැනීම: Shenaya Franciz