සප්රාණික ජීවීන් සිකුරු ග්‍රහයාගේ වළා අතර පාවෙමින් සිටින්නේය යන අදහස ඉතා අසාමාන්‍ය තත්ත්වයකි.
එහෙත්, තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට දැන් ලක්ව තිබෙන්නේත් එයම ය. තමන්ට පැහැදිලි කළ නොහැකි ආකාරයේ වායුවක් සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුහු මේ තත්ත්වයට පත්ව සිටිති.
එම වායුව හැඳින්වෙන්නේ ෆොස්ෆයින් (phosphine ) නමිනි. එහි අණුවක් සෑදෙන්නේ ෆොස්ෆරස් අණුවක හා හයිඩ්රජන් අණු තුනක සංයෝගයෙනි.
පෘථිවිය මත්තේ නම් ෆොස්ෆයින් වායුව රඳාපවතින්නේ, පෙන්ගුයින් වැනි සතුන්ගේ අන්ත්‍ර තුළ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් ඇසුරේ හෝ ගොහොරු වැනි ඔක්සිජන් අඩු පරිසර තුළ ය.
ඇත්තෙන්ම, කාර්මිකව මෙය නිෂ්පාදනය කළ හැකි වුවත් සිකුරු මත කර්මාන්තශාලා කොයින්ද? එහි පෙන්ගුයින් ද කිසිසේත් නැත්තේමය.
එසේනම් මෙම වායුව එහි පවතින්නේ කෙසේද? සිකුරු ග්‍රහ ලොව පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 50ක් ඉහළින්? මේ, එක්සත් රාජධානියේ කාඩිෆ් සරසවියේ මහාචාර්ය ජේන් ග්‍රීව්ස් හා ඇගේ සගයින් අසන ප්රශ්නයයි.
සිය නිරීක්ෂණයේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් ඔවුහු ‘නේචර් ඇස්ට්‍රොනොමි’ සඟරාවේ පළ කළහ. මෙම අණුකයේ ස්වභාවික මෙන්ම ජීව විද්‍යාත්මක නොවන ප්‍රභවයක් තිබිය හැකිය යන්න පෙන්වීම සඳහා කරන ලද විමර්ශනවල තොරතුරු එහි ඇතුළත්වේ. එසේවුවත් දැනට ඔවුන් සිටින්නේ වික්ෂිප්ත තත්ත්වයක ය.
සිකුරු පිළිබඳ මෙතෙක් දන්නා සියලු දේ මෙන්ම එහි පවතින ස්වභාව අනුව ගත්විට නිරීක්ෂණයට ලක්වූ ප්‍රමාණය තුළ, ෆොස්ෆයින් සඳහා වූ ජීව විද්‍යාත්මක නොවන පියසටහනක් පැහැදිලි කිරීමට මෙතෙක් කිසිවකු සමත් වී නැත.
“විශ්වයේ අන් තැනක ජීවය සෙවීම ගැන මගේ වෘත්තීය ජීවිතය පුරාම මා උනන්දු වුණා. ඉතින්, මෙය මා අතිශයින් ම සිත්ගන්නා සුලු දෙයක් වුණා.” මහාචාර්ය ග්‍රීව්ස් කීවාය. “නමුත්, අපට අතපසු වුණේ කුමක්දැයි අපට පැහැදිලි කරන ලෙස අවංකවම වෙනත් අය දිරිගන්වනවා. අපේ පත්‍රිකාව හා දත්ත ප්‍රවේශයට විවෘතයි. විද්‍යාවේ හැටි එහෙමයි.”
සැබවින් ම නිරීක්ෂණය කෙරුණේ කුමක්ද?
සිකුරු ග්‍රහලොවේ ෆොස්ෆයින් වායුව ඇති බව මහාචාර්ය ග්‍රීව්ස් ගේ කණ්ඩායම විසින් නිරීක්ෂණය කරනු ලැබුවේ හවායි හි ස්ථාපිත ජේම්ස් ක්ලාර්ක් දුරේක්ෂය ආධාරයෙනි. පසුව චිලී රාජ්‍යයේ පිහිටි ‘අටකාමා විසල් දුරේක්ෂය’ (Atacama Large Millimeter/submillimeter Array) භාවිතයෙන් කළ නිරීක්ෂණයේදී එහි පැවැත්ම තවදුරටත් තහවුරු කරගැනිණි.
ෆොස්ෆයින් වායුවට ම ආවේණික වූ “අන්තර්ග්‍රහණ රේඛාවක්” ඇති අතර මිලිමීටර 1ක් තරම් වූ තරංග ආයාමයක දී එය වටහා ගැනීමට මෙම ගුවන් විදුලි දුරේක්ෂවලට හැකිය. සිකුරු ග්‍රහලෝකයේ මාධ්‍ය අක්ෂාංශවල දී මෙම වායුව නිරීක්ෂණය කර ඇති අතර එය පෘෂ්ඨයේ සිට දළ වශයෙන් කිලෝමීටර 50ත් 60ත් අතර වූ උන්නතාංශයක පවතී.
මෙය මෙතරම් අපූරු ඇයි…?
අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ අන් තැනක ජීවය සෙවීමේදී, සිකුරු ග්‍රහයා ලැයිස්තුවේ ඉහළ තැනක නොවීය. පෘථිවිය හා සසඳනවිට එය අතිශය අප්‍රසන්න තැනකි. වායුගෝලයේ 96% ක් කාබන් ඩයොක්සයිඩ්වලින් සමන්විත එහි හරිතාගාර ආචරණයේ බලපෑමට ලක්ව ඇත. පෘෂ්ඨයේ උෂ්ණත්වය පීට්සා උදුනක තරම් ය. එනම් අංශක 400ට අධිකය.
සිකුරු වෙත යැවුණු අභ්‍යවකාශ යානා එහි ගොඩබෑමෙන් පසු විනාශ වීමට පෙර ගත කර තිබුණේ විනාඩි කිහිපයක් පමණි. “එම යානා එවූ සේයාරූ පහත දැක්වේ” සිකුරු තුළ ජීවයක් සැබවින්ම පවතින්නේ නම් එය සොයාගත හැකියැයි අපේක්ෂා කළ හැක්කේ කිලෝමීටර 50 ක් තරම් උසකදී ය.
…….සිකුරු ග්‍රහයා මතට බැලුනයක් යැවීම හා ජීවයක් රඳාපවත්වා ගැනීමට තරම් සමත් නොවන උෂ්ණත්වයකින් යුතු සිකුරු පිළිබඳ චිත්‍රණයක්…..
අප සැක සංකා පළ කළ යුත්තේ ඇයි?
සිකුරු ගේ වළාවන් ඝනය. ඒවා ප්‍රධාන වශයෙන් ම (75-95%) සල්ෆියුරික් අම්ලයෙන් සමන්විතය. එනම් එය, පෘථිවිය මත සප්රාණික ජීවීන් ගොඩනගන සෛලීය ව්‍යුහවලට හානිකරය.
ඇමෙරිකාවේ තාක්ෂණය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනයේ (MIT- Massachusetts Institute of Technology) ආචාර්ය විලියම් බෙයින්ස්, මෙම පරීක්ෂණය කළ කණ්ඩායමට ඇතුළත් වූ ජෛවරසායනඥයෙකි. සිකුරු ග්‍රහයා මත අපේක්ෂා කළ හැකි වෙනස් සංයුක්තවල විවිධාකාර සංයෝජන පිළිබඳ ඔහු අධ්‍යයනය කර ඇත. පීඑච්3 (PH3) සෑදීම මෙන්ම ඔහු විමර්ශනය කළ සියලු රසායනික ප්‍රතික්‍රියා සඳහා යමහල්, අකුණු හා උල්කාශ්ම පවා කිසියම් කාර්ය භාරයක් ඉටුකර තිබේද යන්න ඔහු අධ්‍යයනය කර ඇත. ඔහු ප්‍රකාශ කරන්නේ නිරීක්ෂණය කර ඇති ෆොස්ෆෙයින් ප්‍රමාණය නිපදවීමට එය 10,000 වාරයක් තරම් දුර්වල බවකි.
සල්ෆියුරික් අම්ලය තුළ නොනැසී පවතින්නට නම්, වාතයේ රඳන සිකුරු ක්ෂුද්‍ර ජීවීන් තුළ කිසියම් හඳුනා නොගත් අතිශයින් ම වෙනස් ජෛවරසායනයක් තිබිය යුතු වීම හෝ කිසියම් සන්නාහයක් බවට පරිණාමය විය යුතු බව ආචාර්ය බෙයින්ස් කියා සිටී.
“මූලික වශයෙන්, ජලයට ප්‍රිය ජීවයකට සල්ෆියුරික් අම්ල බිඳිත්තක් තුළ කිසියම් ආරක්ෂිත කවචයක සැඟවෙන්න පුළුවන්.” යැයි ඔහු Sky At Night වැඩසටහන සමග එක්වෙමින් පැවසීය. “අප කතා කරන්නේ ටෙෆ්ලොන් වලට වඩා දැඩි යමකින් වටවූ බැක්ටීරියා ගැනයි. ඒවා සම්පූර්ණයෙන් වැහිලා. නමුත් එයාල කොහොමද ආහාර ගන්නේ? වායු පිට කරන්නේ? ඒක තමයි ඇත්තෙන්ම තේරුම් ගන්න ගන්න බැරි දේ.”
මෙය ප්‍රවේසම් සහගත හා කුතුහලය ඇති කරන තත්ත්වයකි. තමන් සිකුරු ග්‍රහයා මත ජීවය සොයා ගත් බවක් එම කණ්ඩායම ඉඳුරාම ප්‍රකාශ නොකරයි. පවතින අදහස තවදුරටත් සොයා බැලිය යුතු අතර ෆොස්ෆයින් කෙරෙහි වූ කිසියම් මග හැරුණු භූවිද්‍යාත්මක හෝ අප්‍රාණික වූ රසායනික පියවරක් ඇත්නම් එය සොයා යාමට විද්‍යාඥයෝ කටයුතු කරති.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්ය කොලින් විල්සන්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ වීනස් එක්ස්ප්‍රස් (Venus Express) අභ්‍යවකාශ යානය (2006-2014) ගොඩනැගීමේ යෙදුනු අයෙකු වන අතර එන්විෂන් (EnVision) නමින් හැඳින්වෙන නව මෙහෙයුමක් සංවර්ධනයෙහි ලා ක්‍රියා කළ ප්‍රධාන පෙළේ අයෙකි. මහාචාර්ය ග්‍රීව්ස් ඇතුළු කණ්ඩායමේ නිරීක්ෂණ, සිකුරු ග්‍රහ ලොව සම්බන්ධ අලුත් පර්යේෂණ මාලාවකට පෙළඹවීමක් බව ඔහු කියා සිටී.
“ෆොස්ෆයින් පිළිබඳ මුල් නිරීක්ෂණ වර්ණාවලීක්ෂය පිළිබඳ වැරදි අර්ථ නිරූපනයක් විය හැකි වුවත්, එය එසේ නොවේ යැයි මා සිතනවා. එය සැබවින්ම අපූරුයි. ඒ වගේම ඒක අලුත් සොයාගැනීම්වලට මග පාදනවා. වායුගෝලය තුළ ෆොස්ෆයින් නිර්මාණය කිරීමට හේතුවන වෙනත් රසායනික පියවර සොයා ගැනීමට පුළුවන් වුණත් සිකුරු වළා අතර ජීවයක් තිබීමට ඉඩක් නැති බවයි මා සිතන්නේ. නමුත් මේ සොයාගැනීමත් සමග සිකුරු ග්‍රහ ලොවේ බොහෝ අපූරු දෑ සොයා ගැනීමට හැකි වෙයි සිතනවා,” යැයි බීබීසී ප්රවෘත්ති සමග ඔහු පැවසීය.
ඒ හා සමාන අදහසක් දරන්නෙකි, වෙස්ට්මින්ස්ටර් සරසවියේ ආචාර්ය ලුවිස් ඩාර්ට්නෙල්. තාරකා ජෛව විද්‍යාඥයෙකු වන ඔහු පෘථිවියෙන් එපිට ජීවය පැවතීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කළ අයෙකි. ඔහු සිතන ආකාරයට අඟහරු හෝ බ්‍රහස්පතිගේ උප ග්‍රහයන් සහ සෙනසුරු ජීවය සොයා ගැනීම කෙරෙහි ඔට්ටු තැබිය හැකි ස්ථානය.
“සිකුරු ග්‍රහයාගේ ඉහළ වළා අතර ජීවයකට රැකවරණයක් ඇතිනම්, එය ඇත්තෙන්ම චිත්තාකර්ෂණීයයි. මන්ද යත්, එයින් කියවෙන්නේ සමස්තයක් ලෙස අපේ මන්දාකිණිය තුළ ජීවය ඉතා සාමාන්‍ය දෙයක් විය හැකි බවක්. එයට පෘථිවිය වැනි ග්‍රහයන් අවශ්‍ය කෙරෙන්නේ නැහැ. ක්ෂීර පථය හරහා පැතිරුණු සිකුරු වැනි දැඩි උෂ්ණත්වයකින් යුතු ඕනෑම තැනක ජීවයට පැවතිය හැකියි. “
ප්රශ්නය නිරාකරණය කළ හැක්කේ කෙසේද?
විශේෂයෙන් ම සිකුරු වායුගෝලය විමර්ශනය සඳහා යානා යැවීමෙන් එය නිරාකරණය කරගත හැකිය.
2030 ගණන් සඳහා වූ ප්‍රධාන පෙළේ මෙහෙයුමක් දළ සැලසුමක් සකස් කරන ලෙස එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය (NASA) මෑතදී විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක් කළේය. මෙම සංකල්පයට අනුව ගගන රොබෝවක් හෝ උපකරණවලින් හෙබි බැලුනයක් සිකුරු වළා අතරින් ගමන් කරවීමට යෝජනා කෙරිණි.
“රුසියානුවන් තමන්ගේ වේගා බැලුනයෙන් (1985 දී) මේ දේ කළා” යැයි කණ්ඩායමේ සාමාජිකාවක වන තාක්ෂණය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනයේ (MIT) මහාචාර්ය සාරා සීගර් පැවසුවාය. “සල්ෆියුරික් අම්ලයෙන් ආරක්ෂා කිරීම සඳහා ටෙෆ්ලෝන් ගැල්වූ එය මැනුම් කරමින් දින කිහිපයක් පාවුණා.”
“අනිවාර්යයෙන් ම එහි ගොස් තත්කාලීන මැනීම් කරන්න පුළුවන්. බිඳිති කෙරෙහි අවධානය යොමු කරමින් ඒවායේ ගති ලක්ෂණ මනින්න පුළුවන්. ඒ වගේම ඒ සමග අන්වීක්ෂයක් යවා එහි ජීවය විමසා බැලීමට උත්සාහ දරන්න පුළුවන්,” යැයි ඇය කීවාය.
(විද්‍යා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු, ජොනතන් ඒමෝස් සකස් කළ ලිපියක් ඇසුරිණි)
උපුටාගැණීම BBC ඇසුරෙනි
