“The message” (පණිවිඩය) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“දේවිකා දැන් ඕක නවත්තනවද? මම දැන් අවුරුදු දහයකටත් වැඩිය ඔයාගේ මේ කියවිල්ල අහගෙන ඉවසන් ඉන්නේ මගේ පිරිමි කමේ දුර්වලකමක් නිසා නෙවෙයි. ඒක මතක තියා ගත්තොත් හොඳයි.”
දරුවන් දෙදෙනාම දැන් හොඳින් බහ තෝරනා වයසේ නිසා මම ටිකක් ඇයට සැරවිය. දේවිකා ගුරුවරියක් වුවත් ඇතැම් වෙලාවට හැසිරෙන්නේ කිසිම හිතක් පපුවක් නැති ගැහැනණියක් ලෙසිනි. විශ්ව විද්යාලයේ දී ඈ මට මුණ ගැසෙන විට නම් ඉතාමත් අහිංසක සමාජශීලී ගති පෙන්නුම්කළ ගුණවත් තැනැත්තියක් වුවත් දැන්නම් ඇයගෙන් ඒ සියල්ල සේදී ගොස් ඇත.
“ඔව්..මම තමා දැන් කියවන්නේ..” මම තිගැස්සිණි.
“මේ රට්ටු කියන කතා ඔක්කෝම අහගෙන මම කට වහගෙන ඉන්න ඕනේ. මෙයාගේ අක්කා හරි නම් මිනිස්සු කතා කියන්නේ නෑ නේ.දැන් බබා වගේ හිටියට ඒ කාලේ නටපු නාඩකම් ඔක්කොම ඔන්න අපේ ගෙදරටත් ආරංචි වෙලා. ඒ කාලේ මේවා දැන ගත්තනම් මම කීයටවත් මේ තැනට වැටෙන්නේ නෑ. මම ඉන්නේ දරු පැටවු දෙන්න හින්දා.” නොමනා දෙස් තියමින් ඇය මුළුතැන් ගෙට ගියාය.
දරුවන් අතිරේක පන්තිය නිම වී එන වෙලාවත් කිට්ටු නිසා නිශ්ශබ්දව සිටීම නුවණක්කාර ය. බැන බැනා හෝ දේවිකා සාදා දුන් තේ කෝප්පය ද රැගෙන ඉස්තෝප්පුව දෙසට ආවේ ඒ නිසාම ය. ඒත් කන්නලව්ව මෙන් ඇගේ කියවිල්ල ඉවරයක් නැත.
“කොහේ හරි යන කාලකන්නියෙක්ගෙන් කාලකන්නි දරුවෙකුත් වදාගෙන..”
යන්තමින් මට ඇසෙයි. ඒ ටිකවත් නෑසෙන්නට මම මිදුලටම ආවේ ඇගේ කඩුපහර වැනි වදන් වලින් මිදීමටය. ඒ වචන තුළ තෙතමනයක් ගෑවිලාවත් නැති තරමකි.
“මේ කාලකන්නියෙක් කරපු දෙයක් නිසා විඳවන්නේ මගේ අහිංසකී.” මම මටම කියා ගත්තෙමි.
ආයතනයක මානව සම්පත් කළමනාකාරවරයෙකු ලෙස කටයුතු කරන නිසා අනෙක් කාටත් කලියෙන් දවසේ වැඩ ඇල්ලීම මගේ පුරුද්දක් විය. ඕනෑම කටයුත්තකදී කලියෙන් සකසුරුවම් වෙන්න මට පුරුදු කළේ මගේ අක්කා යි. ඇයට අක්කා කීම එක් පැත්තකින් මම ඇයට කරන අසාධාරණයකි. අපි දෙන්නා අතර අවුරුදු දොලහක පමණ වයස් පරතරයක් ඇතත් ඇය මට ඉතාම සමීප ය. මගේ අම්මාගේ රුව එතරම් මට් නිච්චි නොවූවත් අම්මාගේ මළගම නම් යාන්තමට මතකය.
එක වරම ඇසට හුරු රුවක් මා පසු කර ගියාක් මෙන් මට දැණුනු නිසාම තිරිංග තද කොට වාහනය නවත්වා ඔහුම දැයි විපරම් කළේ එතරම් කඩවසම් බවක් මම ඔහුගෙන් මීට පෙර දැක නොතිබූ නිසාය.මම නැවතත් පසුපස ජියරයට දමා වාහනය ඔහු අසල නතර කරනවාත් සමගම ඔහු මාව හැඳින්නේ ය.
මම ඔහුත් ඉදිරි අසුනේ ම තබාගෙන මද දුරක් නිහඬවම ආවෙමි.
“පුතා මේ කොහෙ යන ගමන් ද?” මම නිහඬතාවය බින්දෙමි.
“පත්වීම් ලියුම භාර ගන්න කොළඹට යන්න කියලා මාමා..”
“පුතා මගේ එක්ක අමනාපයෙන් ද”
මා එලෙස ඇසුවේ දිනක් අක්කා පුතත් සමඟ අපේ ගෙදරට ගොඩ වන්නටත් පෙර ම දේවිකා ඇනුම්පද කීමෙන් එදායින් පසුව ඔවුන් අපේ ගෙදර පළාතටවත් නාව නිසාය. එදා අක්කා නිසාම දේවිකා බේරුණා ය.
“අනේ නෑ මාමා මොකට අපි මාමලත් එක්ක තරහා වෙනවද …මයෙ අම්මා මට හිතේ තරහ එක්රැස් කරන්න කියලා දීලා නැති විත්තිය මාමා දන්නවා නේ. ඕවා හිතින් අහක් කරලා දාන්න මාමා.” ඔහු තරමක වේගයෙන් මගේ මෝටර් රථයට ඉදිරියෙන් ඇදෙන දරන්නට බැරි සෙනගක් දමාගෙන ඇද වීගෙන යන බසයක් දෙස බලාගෙනම කියා තද හුස්මක් හෙළුවේය.
අක්කාගේ කොල්ලාව කොළඹ බසයකට ගොඩකර මම කාර්යාලයට පැමිණියේ මගේ කොල්ලා දැන් නීතිවේදියෙක් ය යන හැඟීම පෙරදැරි කරගත් මහත් වූ ආඩම්බරයකිනි. නමුත් ඒ සැනසිල්ල බිඳුනේ සැනෙකිනි.යූනියන් එකේ එවුන් මට විරුද්ධව සේවකයින් රැස්කර ඇත.
ෆැක්ටරියට අලුතෙන් වැඩට ගත් තරුණ ගෑණු ළමයෙකුට අඩත්තේට්ටම් කරන්නට ගියා කියන චෝදනාවට සේවයෙන් පරිණත වූ ප්රියලාල්ව මා විසින් සේවයෙන් ඉවත් කිරීම එයට හේතුවයි. එය ඔප්පු කිරීමට සාක්ෂි විරහිත වූ බැවින් එකම සාක්ෂිය ඒ කෙල්ල පමණක් වූ නිසාම ප්රියලාල් එය එම තරුණියගේ මුසාවක් බවත් ඇය මට කුළුපග වැඩි ය යන මතය සියලුම සේවකයන් අතර පැතුරවා තිබිණ. මගේ ඇයට ඇති කුළුපඟයක් නැත. යුනියන් එකත් නොමග යෑම මට සිත් වේදනා දෙන කරුණක් විය. ඇත්තෙන්ම ගැහැනියකට සමාජයේ ඇති සාධාරණය කුමක්ද ?
දුරකතනය නාද විය. “අක්කා” හිතට දැණුනේ සහනයකි.
“මල්ලි ඔයා ඔෆිස් එකේ ද? මම පහුගිය දවස් දෙකේ කතා කෙරේ නැත්තෙ ඔයා ගෙදර නිසා..” ඒක ඇත්තකි. අක්කා කතා කරා නම් දේවිකාගේ දේවාලයේ පූජාව අලුත් වනු ඇත. මම අක්කා සමඟ බොහෝ දේ කතා කලෙමි.
“දේවිකාට දොස් කියන්න එපා මල්ලි. කොල්ලට රස්සාව තියෙන නිසා දැන් මම නිදහස්. දැන් මගේ හිත නිදහස් මල්ලි.. ඔයාලා දෙන්නා තමයි මගේ ජීවිතේ වුණේ. පරිස්සමෙන් මල්ලි.බුදු සරණයි!” දුරකථනය විසන්ධි විය.මොහොතකට මගේ ඇස් වීදුරු කවුළුවෙන් එහා පෙනෙන සුන්දර හන්තාන කඳුවැටිය දෙසට යොමු වුවද එහි මට මූසල ගතියක් දැනිණි.
“ආ..අර අවජාතක කොල්ලාව වාහනේ දාගෙන ගියාලු නේද… ලැජ්ජ නැද්ද මනුස්සයෝ” මම කම්මලේ බල්ලා වී හමාරය. මට ඉබේටම බැලුණේ පොඩි උන් දෙදෙනා දිහාය.
“පුතේ යන්න කාමරේට ” මම කීවේ එපමණකි.
“ඇයි දේවිකා ඒ මගේ අක්කගේ පුතානේ.ඔයා ගුරුවරියක්.හැමදේම තේරුම් ගන්න පුලුවන් කෙනෙක්”
“ඔව්.. දැන් සිල් රෙදි පොරවාගෙන හිටියට ඔයාලගේ තාත්තම මැරෙන්න කලින් රටටම කියලා තියෙන්නේ දුවගේ කැරැට්ටුව…තාත්තා කෙනෙක් කවදාවත් තමන්ගෙ දුවෙකුට ඒ වගේ දෙස් තියනවද..” මගේ දෙපතුළේ සිට ඉස්පොල්ල දක්වා රත්වීය.
“මනුස්සයා මැරිල කිව්වා නේද…මැරිල ද එහෙමත් නැත්තන් කවුද කියලා හොයාගන්න බැරිද දන්නේ නෑ…”මට ඇසුනේ පමණකි.
මගේ අත මටත් කලියෙන් දේවිකාගේ කම්මුල හරහා වැදිණි.මගේ ජීවිතේ ගැහැනියකට අතක් එසවූ පළමු වතාව එය විය. මගේ දෑතම ගෙන බිත්තිය දෙදරන්නට තැලුවේ ඒ වේදනාව දරන්නට බැරි වූ නිසාමය.
“ඒ කාලකණ්ණියා මැරුණා තමයි යකෝ…ඌ මැරුණා” මගේ වියරුව දේවිකාත් දරුවන් දෙදෙනාත් මීට පෙර නම් දැක තිබුණේ නැත.
දේවිකා සිත් වේදනාවෙන් ඇඳුම් මලු කිහිපයත් ලෑස්ති කරගෙන දරුවන් දෙදෙනාත් ඉදිරියට තල්ලු කරගනිමින් බිම වීසි වී තිබුණ වාහනයේ යතුරද රැගෙන යන්නට සැරසුනාය.
“මම ඔහේගේ මහා ලොකු අක්කටත් කියල දුන්නා අද…දැන් ඉන්න එකයි තියෙන්නේ අක්කත් එක්කම”
දුරකථනය නොනවත්වාම නාද විය. මම ඒ දෙස නොබලාම සිටි නිසා දේවිකා දුරකථනය වෙතට ගියේ ඇගේ තාත්තා යැයි සිතාය.
“සුදත්” ඇය කනේ තබා ගත් රිසිවරය අතින් ගිලිහිණ. ඇස්ගෙඩි දෙක ම ලොකු කරගෙන මා දෙස බලන්නට විය.
අසල තිබූ පුටුවට දේවිකා කඩා වැටෙත්ම මම දිව ගොස් අතට ගත්තේ දුරකථනයයි. කටහඬ අක්කගේ පුතාගේ යි.
අක්කාගේ අවසන් කටයුතු සියල්ල හමාර වී මම පුතාත් සමඟ මහ ගෙදරට ආවේ දේවිකාගේ මූහුණවත් නොබලාම ය. ඇය තැවුණා විය යුතුය. ” මම දැන් නිදහස් මල්ලි” කියා අක්කා මට අවසාන වශයෙන් දුන් පණිවිඩය මේ දැයි සිතමින් මම අක්කාත් මමත් සිටින මගේ උපාධි ඡායාරූපය දෙසට ගොස් එය අතට ගන්නට සැරසෙත්ම එහි යටින් හතරට නැවූ කොල කෑල්ලක් දුටුවෙන් එය අතට ගත්තේ කුහුලෙනි. සීරුවට නැවූ කොලය දිගහරින විට අක්කාගෙ පැහැදිලි අකුරින් ” මගේ මල්ලීට ” යනුවෙන් ලියා තිබුණා ය.
එක වරක් කියවූ විට පැහැදිළි නොවූ නිසාම මම දෙතුන් වරක් කියවීමි. මගේ සියල් ශරීරයම ගිනිගන්නවා මෙන් මට දැනිණි.මම ඉක්මනින් කොලය ගුලිකර ලිප මුල්ලේ තබා ගිනිබත් කළෙමි.
“මගේ මල්ලිට,
මල්ලියේ උඹේ අම්මයි මගේ අම්මයි එක්කෙනෙක් වුණාට උඹේ තාත්තා මගේ තාත්තා නෙවෙයි. ඒත් උඹේ තාත්තා මගේ කුසින් උපන්න මගේ කොල්ලගෙත් තාත්තා මල්ලී…”
මීට,
අක්කා.”
~~~නිමයි~~~
  උපුටා ගැනීම:     -ශශී විජේරත්න-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!