මේ කතාව මං හා හා පුරා කියල නැවට යන අතරමග ෆ්ලයිට් එකේදි වෙච්ච දෙයක්.
මං මුලින්ම නැවට ගියෙ එන්ජින් කැඩෙට් කියන නිලයට. සාමාන්යයෙන් නැවකට ඉන්නෙ එන්ජින් කැඩෙට්ලා එකයි, උපරිම දෙන්නයි තුන්දෙනයි උනාට මං ගියපු සමාගමේ එක නැවකට එන්ජින් කැඩෙට්ලා දහදෙනෙකුට විතර වේකන්සි තියෙනවා. ඒකට හේතුව ඒ නැව සාමාන්ය වෙළඳ අරමුණු වගේම, ශ්රී ලංකාවේ වෙළෙඳ නාවික කැඩෙට් නිලධාරින් පුහුණු කිරීමේ අරමුණත් හිතේ තියාගෙනම හදපු නැවක් නිසා. ඒ නිසා මාත් එක්ක මේ ගමනට මගේ බැඡ් එකේ කොල්ලො කීපදෙනෙකුත්, ආදරණීය සින්නෙක් වෙච්ච පැන්ඩා අයියත් ආවා.
පැන්ඩා අයියා රත්නපුරේ කොල්ලෙක්. පතල් කාරයෙක්. අපිව කැම්පස් වාත කාලේ ‘ආදරයෙන්’ බලාගත්ත සින්නෙක්. හරි විනෝදකාමී චරිතයක්.
නැවට නගින්න තිබ්බෙ පකිස්තාන් වලින්. ඒකත් මුලින් ඕමාන් වලට ගිහින් පැය හතරක විතර ට්රාන්සිට් එකකට පස්සෙ තව ෆ්ලයිට් එකක පකිස්තාන් යන්න ඕනෙ. සෙට් එකෙන්ම මම විතරයි මීට කලින් ප්ලේන් එකක ගිහින් තිබ්බෙ. ඒකත් ගියෙ ඉන්දියාවෙ චෙන්නයි වලට. චෙන්නයි ගිහින් තියෙන අය දන්නවා කොළඹින් ප්ලේන් එක උස්සන්නෙ අනිත් පැත්තට බාන්න බලාගෙන. විනාඩි 40ක්වත් දුර නැති ගමනාන්තයක්. කොටින්ම කිව්වොත් අපිව ගුවන්තොටුපලට බස්සන්න ආපු මිනිස්සු ගෙදර යන්න කලින් අපි චෙන්නයි ගුවන්තොටුපලට බැහැල ඉවරයි. ඒ නිසා මගේ ගුවන් යානා අත්දැකීමත් අවමයි.
පැය හතරක් ට්රාන්සිට් එකේ වාත වෙන්න වෙන නිසා මම හැමෝටම කිව්ව ප්ලේන් එකේ දෙන කෑම බීම ඔක්කොම, බඩගිනි තිබ්බත් නොතිබ්බත් අනිවාරෙන් අරං කන්න කියලා. අපි ගියපු ඕමාන් එයාර් සමාගමත් සාමාන්ය මට්ටමෙන් කෑම බීම දෙන සමාගමක් වුනා.
කිව්වත් වගේ අපේ සෙට් එක ඉතින් හැම එකම අතනෑර ගත්තා. මොන මගුලක්ද නිකං දෙන එකනෙ. ප්රශ්නෙකට කියල වුනු එකම දේ, අපේ හොඳට අං පිටින් මස් ගිලින දෙතුන්දෙනෙක්ම ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් අක්කලගෙ ලස්සනට වශීවෙලා, අවසිහියෙන්, “වෙජ් ඔර් නන්-වෙජ්” කියල අක්කලා අහන ප්රශ්නෙට, සිරික්කිය දාගෙන “වෙජ්!” කියල ඊට පස්සෙ හම්බෙච්ච වෙජිටේරියන් රයිස් එක පිදුරු ගිලිනව වගේ මූණ ඇඹුල් කරන් ගිලින්න වෙච්ච එක. හැමෝම වගේ එක ලග හිටපු හින්ද කට්ටිය කෑම බෙදාගත්ත.
“ටී ඔර් කොෆී?”
ටික වෙලාවකට පස්සෙ කැබින් කෲ එකේ අයියා කෙනෙක් ඉස්සරහා ඉදන් හැමෝගෙන්ම අහ අහ කට්ටිය ඉල්ලන තේ හරි කෝපි හරි දිදී එනවා. පැන්ඩා අයියා දුර තියලම කිව්වා අම්මෝ කෝපි එකක් ගහන්නම ඕනෙ ආහ් කියල. ඔන්න දැන් කැබින් කෲ අයියා ලඟටම ඇවිත්. කරුමෙට සීට් පේලියක් විතර තියලා මේ යකාගේ තේ කෝපි දෙකම ඉවර උනා. මේ යකා වටේ හිටිය හැමෝටම දත් තිස්දෙක පෙන්නල හිනාවෙලා ආය තේ පෝච්චියෙන් වක්කරන් එන්නද කොහෙද අපිවත් පහුකරල ගියා. දැන් හිටපන්කො උඩ බලන් ආය තේ අරන් එනකන්.
ඔන්න ඒපාර ඉස්සරහ ඉදන් අක්ක කෙනෙක් එනවා වතුර බෝතල් වගයක් අරගෙන. අනේ සීදේවි පෙනුම! කිරි සුදු පාට මූන! වහ දුන්නත් ආසාවෙන් බොන්න හිතෙනවා. අපිත් පැන්ඩ අයියව උස්සල තිබ්බ අක්කගෙන් කොෆී ඉල්ලන්න කියල. කතා කලත් මදැයි!
“එක්ස්කිවුස් මී.. අ කප් ඔෆ් කොෆී ප්ලීස්..”
පැන්ඩා අයියා අර අක්කව නවත්තගෙන දැම්ම කඩුවක් අපි කොර වෙලා ගියා.
දෙවියනේ! කැබින් අක්කා හිනාවෙලා පැන්ඩා අයියා දිහාවට, මොකක් හරි රහසක් කියන්න වගේ පහත් වෙන්න ගත්තා. මං පැන්ඩා අයියටයි කැබින් අක්කටයි මැදිවෙලා වගේ හිටියේ. පුදුම ලස්සනක්! මගෙ හුස්ම හිරවෙන්න ගත්තා.
රහස කියන්න හොඳටම ලං වුනාට පස්සෙ එක තත්පරයෙන් අක්කට සොහොන් කාලි වැහුනා! මෙන්න මේ ගෑනි පැන්ඩා අයියගෙ බෙල්ල කඩන් කන්න වගේ රවනවා! නාස් කුහර දෙකෙන්ම ගිනි පිඹිනවා!
“ඇයි අර කලින් ගියපු එක්කෙනාගෙන් ඉල්ලන්න බැරි උනාද ආහ්?!”
මේ ටික අහල එක තප්පරෙන් අර කලින් තිබ්බ සීදේවි මූන වැහිලා, අනේ අහින්සක අපිට හිනාවෙලා අපිව පහු කරන් ගියා.
“හම්මට.. ඒකි සිංහල යකෝ!”
පැන්ඩා අයියා හිනාවෙවී මගෙ කනට මුමුණනවා මට ලාවට ඇහුනා.
හදවතින්ම ශ්රී ලාංකිකයි!
(ඡායාරූපය අන්තර්ජාලයෙන්)
උපුටා ගැනීම: Thusara Anjana Perera