මේ වනාහි මාගේ ඥාති සොහොයුරෙකුට වූ හරි අපූරු සිදුවීමකි.. හැබැයි මන් මේක ලියන්නෙ උන්දැගෙන් අවසර අරන් හෙම නෙමේ ඕං..
ඕං ඉතින් මේක මේ කොලු ගැටයා තුනේ කැලෑසියේ වගේ ඉන්න කාලෙක වෙච්ච ඇබැද්දියක්ලු මේක.. මේ පුන්චි ඈයන්ගෙ ඔලුවවල උකුණු වාසස්ථාන පිහිටන එක අරුමයක් නෙවෙයිනේ.. ඒකට විටෙක ගෑනු පිරිමි බේදෙකුත් නෑ ඕං.. ඉතින් මේන් මේ කොලු ගැටයගෙ අහින්සක ඔලුවටත් උකුණෙක් දෙන්නෙක් ගොඩ වුණාලු.. දවසින් දවස තමන්ගෙ ඔලුව උඩ තප්පලං ගහගත්තු උකුණන් ගැන මේ පුන්චි ඈයට වගක් තිබ්බෙත් නෑ ලු..
ඕං ඉතින් එක දොහක් මේ කොලු ගැටයා ඉස්කෝලෙ ගිහින් ටීචර් උගන්න උගන්න ඉන්න අල්ලපනල්ලෙ හීන් සැරේ ඔලුව කැහුවෙ උකුනන්ගෙ දැගලිල්ල දාරගන්නම බැරි තැනලු.. කහපු කැහිල්ලට මුන්දගෙ අතට අහු වෙලා තියෙන්නෙ හොඳ විසේ තියෙන උකුණු පැන්චෙක්.. බිම දැම්මොත් හෙම කාගෙහරි සපත්තුවකට පෑගිල පරලොව යයි සිතා කණගාටුවට පත් වූ මේ කොලු පැන්චා උකුණාවේ දාගත්තේ කමිස සාක්කුවටලු.. ගිලිහී ගිය අවධානය ගොඩ නගාගෙන පාඩමට ආයෙ වංගියක් හිස යොමු කරගෙන විනාඩි පහක් දහයක් ඉන්න අල්ලපනල්ලේ සක්කුවෙන් ලහි ලහියේ උඩට එන උකුණු පුන්චව මුන්දැ දැකපි.. මෙකට තියෙන විසයක් යැයි සිතූ ඔහු උකුණාව නැවත සක්කුවට දමා ගත්තේලු.. හිස කසමින් පාඩමට සවන් දෙන අතරෙ ආයෙ පාරක් උකුණු හාමි එළියට එනකොටම මුන්දැගෙ අතට අහු වෙච්චි.. දෙවන වතාවටත් අනුකම්පා කරල උකුණව සාක්කුවෙ දාගත්ත මුන්දැ ආයෙ ටික වෙලාවකින් දැක්කේ ඒ අසමජ්ජාති උකුණා ආයෙ උඩට නැගගෙන එන හැටිලු.. කොහොමින් කොහොම හරි කීප විඩක්ම මේ පොඩි එකා උකුණුහාමිව සක්කුවට දමාගත්තේ පන්තිය අවසානයේ ඌට නිවහනක් සොයා දෙන පරම පවිත්ර චේතනාවෙනි.. පන්තිය ඉවර වෙනකල් ඉන්නට වගේ වගක් නැති මේ උකුණා දිගින් දිගටම කමිස සාක්කුවෙන් උඩට මතු වූ හෙයින් අනේ අම්මපා මේ අවලං උකුණාගේ විසේ යැයි සිතමින් මේ පොඩි ඈයා උකුණාව ගෙන නැවත තමන්ගේ හිසටම දාගත්තේ බිමට දාන්නට තරම් අකාරුණික හදවතක් නොතිබූ බැවින්ලු..
උපුටා ගැනීම: Pamudi Madhubhashinie