“අද ගිහාන්ගෙ උපන්දිනේ”අපේ අම්මා හැම අවුරුද්දෙම අප්‍රේල් පලවෙනිදාට මතක් කරනවා.”හිටියා නම් කොල්ලාට දැන් අවුරුදු 27කටත් වැඩී නේද? “මේ පාරත් අම්මා මතක් කලා.
ගිහාන් හිටියෙ අපේ ගෙදරට අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර.ඒ කිව්වෙ අපේ ගෙදරට තාප්පෙන් එහා අල්ලපු ගෙදරම වත්තේ අයිනේ පර්චර්ස් 2ක විතර කෑල්ලක ඉස්සරෝම ටකරං වහපු ඉටිරෙදි ඇදපු පොඩි කෑල්ලක.ඒ කෑල්ලෙ ගිහාන්ගේ අම්මායි තාත්තායි ගිහානුයි හිටියා.ගිහාන් ඉස්සෙල්ලාම අපෙ ගෙදර ආවේ එයාගෙ අම්මාගෙ පස්සෙන් වැටි වැටි ඇවිදපු කාලේ.එතකොට අපේ නංගිත් වැටි වැටි ඇවිදනවා.ගිහාන්ගේ අම්මා අවුරුදු 12 දි විතර ගමේ ගෙදරක වැඩ කරන්න ඇවිත් ගමේ කොල්ලෙක් වුණ ගිහාන්ගෙ තාත්තා එක්ක අවුරුදු 16/17ක් වෙනකොට පැනිලා ඇවිල්ලා.ගිහාන්ගේ අම්මාට එයාගේ අම්මා තාත්තා ගැන මතකයක් තිබුණෙ නෑ.අනාථ නිවාසෙක හිටියා කියලා තමයි එයාට යන්තම් මතක.
ගිහාන්ගෙ තාත්තාගෙ පර්චර්ස් 10ක කෑල්ලේ මහ ගෙදරම වත්තෙ ටකරං වලින් කෑල්ලක් අටවගෙන ගිහාන්ගෙ අම්මායි තාත්තායි ගිහාන්වත් මේ ලෝකේට ගෙනත් තිබුණා.
කවදාවත් ඉස්කෝලේකට නොගියපු ගිහාන්ගේ අම්මායි තාත්තායි දැනගෙන හිටියෙ කුලී වැඩ කරන්න විතරයි.අම්මා පොඩි කාලේ වගේම දිගටම ගමේ ගෙවල්වල වැඩ කරා.තාත්තා එක එක කුලි වැඩ කලා.ගිහාන්ගෙ අම්මා අපේ ගෙදර වැඩ කරන්න මුලින්ම ආපු හැටි මට හරියටම මතක නෑ.අපේ අම්මා පස්සෙ කාලේක කිව්වෙ අම්මා අපි තුන්දෙනා එක්ක තනියම වැඩ කරගන්න බැරුව ගේට්ටුවෙන් එළියට වෙලා අඩ අඩ ඉන්නකොට ගිහාන්ගේ අම්මා පාරේ යනකොට දැකලා නෝනා මම එන්නද අහලා ආවා කියලා.
අප්පච්චිගෙ මහගේ තිබුණෙ අපේ ගෙදරට මීටර් 500ක් විතර දුරින්.ඒ ගෙදර ගොඩක් නෑයෝ හිටියාට ඒ අය ඒ කාලේ අම්මාත් එක්ක තරහාවෙලා ඉදලා තියෙන්නෙ.ඉතින් අම්මාට උදව්වට කවුරුත් ඒ කාලේ ඉදලා නෑ.කොහොම හරි එදා ඉදම් හැමදාම උදේට ගිහාන්ගෙ අම්මා ආවා.අම්මා පස්සෙ ගිහානුත් ආවා.තාප්ප ගහලා වටකරලා තිබුණ මිදුල අස්සෙ හිරවෙලා හිටපු අපිට හොද යාලුවෙක් හම්බුණා.උදේ ඉදම් රෑ වෙනකම් ගිහාන් අපිත් එක්ක සෙල්ලම් කලා.පස්සෙ කාලේක අපි ඉස්කෝලෙ ගියා .ගිහාන් මොන්ටිසෝරි ගියා.නිවාඩු දවසටත් ගිහාන් කබ කඩ කඩ ආවේ අපෙ ගෙදරට.අපේ ගෙදර ආවොත් ගිහාන්ට තුන්වේල හොදට කන්න හම්බෙනවා.තේ හම්බෙනවා.ලිදට ගිහින් වතුර ඇදලා නාන්න ඕනිත් නෑ.ගිහාන්ගෙ අම්මාටයි ගිහාන්ටයි හැමදාම අපෙ ගෙදරින් නාගන්න අම්මා ඉඩ දුන්නා.
මාසේකට සැරයක්වත් ගිහාන්ගෙ අම්මා ගමේ කාත් එකක් හරි රණ්ඩුවෙනවා.ගොඩක්ම රංඩු වෙන්නෙ කාගෙ හරි වත්තකින් කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් පොල් ගෙඩියක් කඩලා කියලා.අක්කර ගණන් වතු තිබ්බ මිනිස්සු ගිහාන්ගෙ අම්මා එක්ක කොස් ගෙඩියට පොල් ගෙඩියට රංඩු වුණා.පර්චර් එකේ දෙකේ පොඩි කෑල්ලෙ ගිහාන්ගේ අම්ම්මා කිරි හරක් දෙන්නෙක් හැදුවා.කුකුලු 5-6ක් හැදුවාකොහේ හරි දාලා ගියපු බලු පැටව් පූස් පැටව් ගෙනත් හැදුවා .ගමේ මිනිස්සු ගිහාන්ගේ අම්මා එක්ක එයලගෙ වත්තේ හරක් බැන්දා කියලා රංඩු වුණා.හරක් පාර්වෙ ගොම දාලා කියල රංඩුවුනා.කුක්කුල්ලු වැට හාරලා කියලා රංඩු වුණා.බල්ලෝ පාරේ ජරා කරලා කියලා රංඩු වුන.ගෙදර කුක්කුලු හරක් හදපු නිසා ගිහාන් කෑවේ මාලු කරෝල හාල්මැස්සො විතරයි.
ගමෙ ඉස්කෝලේට ගිය අපි එක්කම උදේට ගිහානුත් ඉස්කෝලේ ගියා ,අපේ අම්මා ගිහන්ගෙ බත් පෙට්ටියටත් බත් බෙදුවා..ඉස්කෝලේ ඇරුණාම අම්මා ඉස්කෝලේ පිට්ටනියේ බැදලා ගියපු හරක් දෙන්නත් එක්කන් ගිහාන් අපි එක්කම ගෙදර ආවා.ඔන්න ඉතින් ඒ කාලේ ගමේ මිනිස්සු අපේ අම්මාට කිව්ව ගිහාන් එක්ක අපිට සෙල්ලම් කරන්න දෙන්න එපා කියලා,ගෙදරට ගෙන්න ගන්නත් එපා කිව්වා.අපි නරක් වෙයි කිව්වා.ඉස්කෝලේ ඇරිලා හෝම්වර්ක් ටික කරගන්න ගිහාන් පොත් ටිකත් අරන් ආවෙ අපේ ගෙදර.ටික කාලෙකින් ගිහාන්ගෙ අම්මා නංගියෙකුත් ගෙනාවා.පස්සෙ කාලේක ගිහාන් අපේ ගෙදර ආවෙ නංගිත් එක්කන්.නංගී ආපු නැති දවසට අපේ ගෙදරදි කන්න දෙයක් දුන්නොත් ගිහාන් සාක්කුවේ දාගෙන ඒක නංගිට අරන් ගියා.
ඔහොම ඉන්නකොට ගිහාන් පහේ පංතියෙන් 6 ට ගියා.අපි නුවර ඉස්කෝලේට ගියා.ගිහාන් කොල්ලෝ එක්ක රැලට වැටුණා.ගිහාන්ව ගෙට ගන්න එපා කියපු මිනිස්සු උන්ගේ ගෙවල්වල බිත්ති නග්ග ගන්න අත් උදව්වට ගිහාන්ව ගෙන්න ගත්තා .ගිහාන් උන්ගෙ ගෙවල්වල වැලි හැලුවා.බදාම ඇනුවා.අපේ අම්මා ගිහින් ගිහාන්ගෙ අම්මාට කොල්ලාව ඔය ගෙවල්වල වැඩට යවන්න එපා කිව්වාම ගිහාන්ගෙ අම්ම කිව්වෙ සතියක් දෙකක් පවුලටම ඒ ගෙවල්වලින් කන්න හම්බෙනවා කියලා .අපේ අම්මා ආයේ මුකුත් කියන්න නොගියේ වේලක් කන එකත් ගිහාන්ලගෙ පවුලට ලොකු යුද්ධයක් වුණ හින්දා.ගමේ සමහර උන් උන්ගේ ළමයි පංති යද්දි බඩු ගෙන්න ගන්න ගිහාන්ව කඩේ යැව්වා.උන්ගෙ ළමයි පාඩම් කරද්දි ගිහාන්ට කියලා වත්ත සුද්ද කරගත්තා.
ගමේ ගෙදරක මලගෙයක් දාන ගෙයක් මගුල් ගෙයක් කොටහළු ගෙයක් තිබුනොත් ගිහාන්ගෙ අම්මා සතියම ඒ ගෙදර වැඩ.මුලු සතියම ගිහාන්ලගෙ ගෙදර උයන්නෙ නෑ.කන්න වේලක් දෙකක් දීලා ගමේ මිනිස්සු ගිහාන්ගෙ අම්මාගෙන් දහ පහලොස්දාහක වැඩ ගත්තා.ගිහාන්ගෙ නංගී තමයි අපි තුන්දෙනාම මල්වා නැකතට නානකම් තනි රැක්කෙ.ටික කාලෙකින් ගිහාන්ගේ අම්මා තව මල්ලී කෙනෙකුත් ගෙනාවා.
සා.පේ ලියලා වැඩ 10ම ෆේල් වුණාට පස්සෙ ගිහාන් ගිහින් හෝටලේක වැඩ කලා.ඒකෙන් මාසේකට පහලොස් දාහක් හම්බෙනවා කියලා ගිහාන්ගෙ අම්මා ඇවිත් දවසක් කිව්වා.ඒ වෙනකොට ගිහාන්ගෙ තාත්තායි අම්මායි අවුරුදු ගාණක් තිස්සෙ හදලා හදලා කාමර දෙකක් එක්ක සාලයයි කුස්සියක් එක්ක සීට් වහලා ගෙයක් හදාගෙන .ගිහනගෙ පඩියෙන් ගෙවන්න පුටු සෙට් එකක්,ෆ්‍රිජ් එකක් ටීවී එකක් එහෙම අරගෙන.
2011 අවුරුද්දෙ පෙබරවාරි මාසේ දවසක හවස් වරුවේ ගිහාන්ගෙ අම්මා කෑගහගෙන අඩාගෙන අපේ ගෙදර දුවගෙන ආවා.ඒ වෙනකොට නෝනා කියලපටන් ගත්ත අපේ අම්මා ගිහාන්ගෙ අම්මාට අක්කා වෙලා තිබුණෙ.අනේ අක්කා මගේ කොල්ලා ගගේ ගිහින් කියාගෙන කෑගහගෙන ගිහාන්ගේ අම්මා දුවගෙන ආවා.
උදේ යාලුවොත් එක්ක ගමනක් යනවා කියලා ගෙදරින් ගියපු ගිහාන් ගැන ගෙදරට ආරංචිය ආවේ එහෙම.පේරාදෙනිය පැත්තෙ මහවැලි ගගේ ගිහානුයි ඒ වෙනකම් ගිහාන් එක්ක එකට කාපු බීපු එකට ගම පුරා කරක් ගහපු යාලුවෝ දෙන්නත් ගගේ ගිහින්.ගමේ ගෙවල් තුනක කොල්ලො තුන්දෙනෙක්ම එදා එකවර ගගේ ගිහින්.
ගිහාන්ගේ මිනිය හොයාගත්තේ දවස් 4කට පස්සෙ ,මිනිය ගෙදර ගෙනාවේ පෙට්ටිය සීල් කරලා.පැය 12න් වලලන්න නියෝග කරලා තිබුණා.රෑ 8 ස්වර්ණවාහිනියේ නිව්ස් වලට හරේන්ද්‍ර ජයලාල් එ දවස් 3-4ම ගිහානුයි යාලුවෝ දෙන්නයි ගගේ ගියපු හැටි ඔලුව හොල්ල හොල්ල රඟපපා කිව්වා.කෙට්ටු හීන්දෑරී ගිහාන්ගේ මිනිය කලු මහතට ඉදිමිලා පාවෙවී තියෙනවා අපි දැක්කෙත් ස්වර්ණවාහිනියේ නිව්ස් වලට.
ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් ගන්න සල්ලි නොදුන්න මිනිස්සු සල්ලි එකතු කරලා ගිහාන්ට මිනී පෙට්ටියක් අරන් දුන්නා.ගිහාන්ගෙ මල්ලී ගෙයි මැද සාලේ මිනිපෙට්ටිය යට බලු පැටියෙක් එක්ක සෙල්ලම් කර කර හිටියා.ගිහාන්ගෙ අම්මා තාත්තායි නංගී එක්ක මුල්ලකට වෙලා අඩ අඩ හිටියා.කවදාවත් ගිහාන්ලගෙ ගෙදරට අඩිය නොතියපු මිනිස්සු ,ගිහාන්ලගෙ ගෙදරින් වතුර උගුරක් නොබීපු මිනිස්සු,ගිහාන්ව ගෙට නොගත්ත මිනිස්සු ,ගිහාන්ගේ මල ගෙදර ඇවිත් හිටියා.ගිහාන්ට බත්කටක් නොදුන්න මිනිස්සු ගිහාන්ගේ මලගෙදර බත් උයාගෙනත් ඇවිත් හිටියා.ගිහාන්ගෙ අම්මා ලගට ගිහින් කෑවද ඇහුවාම කන්න දෙයක් නෑ ලොකු දුව ආපු අයට කන්න දුන්නා කිව්වා.අනිත් පැත්ත හැරිලා ගෙදර දුවන් ගිහින් බත් පාර්සල් 4ක් ඔතාගෙන ඇවිත් ලොකු දුව කොල්ලගෙ මිනිය තිබුණ වෙලේ මට කන්න දුන්නා ,ලොකු දුවට වරදින්නෙ නැ කියලා ගිහාන්ගෙ අම්මා පස්සෙ කාලේක මම කන්න බැරුව වමනේ දානකොට අපේ අම්මා එක්ක කියලා තිබුණා.
උපුටා ගැනීම: Miyura Dimuni