අබයා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අබයාගේ සෑබෑ නම අබේසිංහයි. කාර්යාලයේ මා සමඟම සේවය කරන පුද්ගලයෙකු වූ ඔහු අඩි පහයි අගල් අටක් පමණ උස අයෙකු වූ අතර ඔහුගේ පළල ද වෙනස් වන්⁣නේ ඊට වඩා සුළු ප්රමාණයකිනි. කාල වර්ණයෙන් යුතු උවත් අබයාගේ පෙනුම ප්රියමනාපය. කළු උවද දැකුම්කළුය. කලිසමේ ඉන පටිය යට කරගෙන ඉදිරියට නෙරා ඇති බඩ ගෙඩිය යට වැස්සකට නම් මා වැනි ස්ලිම් ෆිට් කෝටුකිතයියන් දෙදෙනෙකුට උවද කිසිදු අපහසුවකින් තොරව නොතෙමී ලැගුම්ගත හැක.
අබයා මේ වන විට හතලිස් ඇඳිරියට ආසන්න වෙමින් සිටින තරුණ මැදිවියේ මිනිසෙකි. රටේ ඇති හැම කෙරුම්කාරකමක්ම කර ඇති බවට බොරු පුරසාරම් දොඩන්නෙකු උවත් අබයා කිසි දිනක කාන්තාවක් සම්බන්ධයෙන් කිසිඳු හැඟුම් බරිත ප්රකාශයක් කර නැත. මනාලියන් කිහිප දෙනෙක්ම බැලීමට ගිය බව ප්රකාශ කලත් එහි ප්රගතිය සම්බන්ධයෙන් අබයා නිහඬය. වෙන ඕනෑම මාතෘකාවකදී කතා නායක වන අබයා කාන්තාවක් සම්බන්ධයෙන් කතාවක් ඉස්මතු වූ කල ගොළු බෙල්ලෙකු මෙන් කටුව තුලට රිංගා ගනියි.
අප සිතා සිටියේ අබයා “ගෑණුෆෝබියාව” නම් රෝගී තත්වයෙන් පෙලෙන්නකු යැයි කියාය. එවැනි රෝගයක් වෛද්ය විද්යාවේ නැති උවද කාන්තාවන් ඇලජික් වූ එම රෝගයට අප නම් තැබුවේ එලෙසය.
නමුත් අපට වැරදී තිබුනි. පිටකොටුවේ සිට නාරාහේන්පිට ට බසයෙන් යමින් සිටි ගාමිණි, දරුවකු ද කැටුව යන කාන්තාවක් සමඟ අබයා ද එක පවුලක් මෙන් ගමන් කරනු දැක තිබුනි. ඊට සති කීපයකට පසු අතපත්තු ද එම කාන්තාවම සමඟ අබයා ගමන් කරනු දැක තිබීමෙන් සැකය තහවුරු විය.
දිනක් උසෑසනම කාර්යාලයට පැමිණි අබයා “අද කුඹුර හාන්න තියෙනවා මචං. පොරක් උදේ එනවා කිව්වා වැඩේට. මම නිවාඩුක් දාල දැන් යන්න ඕන” යැයි කීවේය. හොඳාකාරවම මේ යන්නේ වෙන මඟුලක බව දන්නවා උවද අප කිසිවෙක් කිසිත් කීවේ නැත. අබයා නිවාඩුව ද අනුමත කරගෙන කුඹුර හෑමට ගියේය. ඒ හාන්ට ගියේ අපිට කියූ කුඹුර නම් නොව වෙනත් කුඹුරක් බව අප සහසුද්දෙන්ම දැන සිටියෙමු.
පනස් විය ඉක්මවා සිටි කුසුමලතා මිස්ට අබයා ගැනත් ඔහුගේ වයසක දෙමව්පියන් ගැනත් අනුකම්පාවක් ඇති විය. පුද්ගලික තොරතුරු ගොණුවෙන් අබයාගේ නිවසේ දුරකථන අංකය ලබාගෙන අබයාගේ මව සමඟ කතා කිරීමට ඇය තීරණය කලේ ඒ අනුවය. අබයාට විවාහයක් කරදීම ගැනත්, ඔහුගේ හැසිරීම ගැනත්, විවාහක කාන්තාවක් සමඟ ඇති සම්බන්ධතාවය ගැනත් කුසුමලතා මිස් අබයාගේ මව සමඟ දීර්ඝ සාඛච්ඡාවක නියැලුනාය. ඇය අබයාගේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් මව ඉදිරියේ තතු හෙලි කලේ එක දශමයක් හෝ නොසඟවාය. අද නම් අබයාගේ අවසානය සනිටුහන් වනු නොඅනුමානය.
පසුදින අබයා කාර්යාලයට පැමිණියේය. ඔහුගේ කළු මුහුණ අමුතු පැහැයකින් දිස් වෙයි. හරියටම කිවහොත් දං ගෙඩියක් වගේ දම් පාටය. ඇස් බිමට බර වෙලාය. “හූස් හූස්” හඬින් හුස්ම පිට කරන ශබ්ධය ද ඇසෙයි. අපට පහර දීමට නොහැකිව අබයා එය අපහසුවෙන් පාලනය කරන බව තේරුම් ගැනීමට මහ වෙලාවක් ගත නොවීය. අබයා කතා කරන්නේ ද නැත. අපට කියන්නට දෙයක් ද නැත. දැන් අබයා තබා අප කිසිවෙක් එකිනෙකා කතා කරන්නේ ද නැත.
තව දුරටත් නිහඬව සිටිය නොහැක. නිහඬව සිටින්නේ අබයා නිසාය. ඔහුගේ මවට පුතාගේ කැරැට්ටුව හෙලි කල නිසාය. අබයාගෙන්ම කතාව පටන් ගැනීමට මම තීරණය කලෙමි.
“මචං අබේ.. කොහොමද ඉතිං, ඊයේ කුඹුර හෑවද” යැයි වෙන ඇසීමට දෙයක් නැති තැන මම ඇසුවෙමි.
“නෑ මචං, මට ගිහින් හාන්න දෙයක් තිබුනේ නෑ, මම ගෙදර යනකොට ඔෆිස් එකේ උන් ටික අපූරුවට හාලා තිබුනා”
පළවෙනි ප්රශ්නේ ඊට වඩා වෙනස් විදියකින් පටන් ගන්න තිබුනා නේද කියා සිතුනේ ඒක කිවාට පසුය. දැන් ප්රමාද වැඩිය. එදා දවසටම අබයා කතා කලේ එපමණය. එපමණ මය.
උපුටා ගැනීම: -හෝම්ස්-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!