තවත් අඳුරු කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් අම්මාගේ එවදන් මගේ කන වැකුනේ ඊයේ උදෑසනය.
“අක්කලගේ ගෙදර ගිහින් අක්කවයි, පුතාවයි එක්කන් එන්න. මේ දවස් වල බස් වල යන්නත් බය නිසා ඔයා බයික් එකෙන් ගිහින් අඬගහන් එන්න”
මාගේ නිදහස හීන වී, පෞර්ෂය බලු වී ගොස් අවුරුදු හතරක ඇට්ටරයෙකුගෙන් බයිට් වීමට දැන් මා සූදානම් විය යුතුය. අක්කාවත් පස්සහින් තියාගෙන, කොල්ලව මැද්දෙන් තියාගෙන මම ගෙදර එන විටත් පොරට බයිසිකලයේදීම නින්ද ගොස්ය. ලෝකේ අල්ලන තරමට පන්ඩිතකම තිබුනත් කිලෝ මීටර් තුනක් බයික් එකෙන් යන්න බැරිය. පොර නිදිය.
අක්කත්, අක්කගේ කොල්ලත් ගෙදර ආ විට අහිමි වන්නේ අප්පච්චිගේ වාසස්ථානයයි. අම්මාත් සමඟ එම කාමරයට අක්කා සංක්රමණය වන විට අප්පච්චි වෙනත් කාමරයකට නොගොස් දර ගෙයි දමා ඇති “බූරු ඇඳ” රැගෙන සාලයට විතැන් වෙයි. අක්කා පැමිණෙන තුරු අප්පච්චි බලා සිටින්නේ තම දරු මුණුපුරන් බැලීමටත් වඩා තම ප්රියතම වාසස්ථානය වන බූැරු ඇඳ ද රැගෙන සාලයට පැමිණීම සඳහාය.
අප්පච්චිටත් වඩා බූරු ඇඳට ඇල්මක් දක්වන්නේ අක්කගේ කොල්ලාය. අප්පච්චි එහි නිදාගන්නා විට පොරටද එයට ගොඩ විය යුතුය. අප්පච්චිගෙන් රටේ නැති බැණුම් ඇසුව ද පොරට එය කණකට ඇසෙන්නේ නැත. අනතුරුව පටන් ගන්නේ ප්රශ්ණ විචාරාත්මක වැඩසටහනයි.
“අම්මා බූරුවා කියන්නේ කාටද”
පොර අහන්නේ අක්කාගෙන් ය.
“උඹලගේ අම්මා බැඳපු එකාට”
කියන්ට හිතුනද ආයාසයෙන් එය වළක්වා ගතිමි.
“අර දූවා වගේ සතෙකුට පුතා” අක්කා කීවාය.
“ඇයි මේකට බූරු ඇඳ කියන්නේ”
අක්කට උත්තර නැත. මට ද කීමට දෙයක් නැත. පොරට මතක් වෙනකන් මට එහෙම දෙයක් සිහියට ඇවිත් තිබුනේද නැත. කෝල් අ ෆ්රෙන්ඩ් අවස්ථාව ගැනීමටද හැකියාවක් නැත. ඕඩියන්ස් එකේ ද අක්කයි මමයි හැර වෙන කිසිවෙක් නැත. ෆිෆ්ටි ෆිෆ්ටි ගැනීමට උත්තර හතරක් තබා මෙතන එක උත්තරයක්වත් නැත. පොරගෙන් කිසි දවසක ප්රශ්ණයක් “ස්විච්” කිරීමට ද නොහැක. කොල්ලා ද බූරු ඇඳේ නිදාගැනීමට මහත් සේ ප්රිය කරන නිසා පොරවත් නෝන්ඩි කිරීමට මෙය අවස්තාවක් කරගනිමින් මම උත්තර දුනිමි.
“බූරු ඇඳ කියන්නේ ළමයෝ ඒකේ නිදාගන්න උන් බූරුවෝ නිසා”
කොල්ලා සිටියේ බූරු ඇඳේ වාඩි වෙලාය. නිදාගෙන සිටියේ අප්පච්චී ය. හීනෙන් බය උනා මෙන් අප්පච්චී එකවරම හිස ඔසවා බැලීය.
“කන්ට මොකුත් නැද්ද දන්නෑ” යි කියමින් ගැරඬියා වගේ ලිස්සා කෑම කාමරයට ගොස් ෆ්රිජ් එකේ දොර ඇරියේ ලීස් ගස්, පොල් බෑ, කරපිංචා අතු, ගොටු කොළ මිටි හැර චොක්ලට්, චීස්, මිදි, ඇපල් එහි නැති බව නොදැන නොවේ. අප්පච්චිට තව සෑහෙන වෙලාවක් යනතුරු මූණ දීමට බැරි නිසා ය.
උපුටා ගැනීම: Sherlock Holms