රශ්මිගේ තාත්තා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මට වරදින්න විදිහක් නෑ. ඒ රශ්මිගේ තාත්තම තමයී.” ඉබේම මට කියවුණා.
අද ඉස්කෝලේ පළමු ශ්රේණියට අලුතින් දරුවන් බාරගන්නවා. ඒ හින්දා ගේට්ටුව ළඟ වෙනදාට නැති තදබදයක්. පොඩි පොඩි ළමයි සුදු පාටට දිලිසෙනවා. අද ඔවුන්ගේ ජීවිත වල වැදගත්ම දවසයි. ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිත වලට සතුටුම දවසයි. අමතක නොවන ම දවසක්.
සමහර දරුවන් බියෙන් මෙන් මව සහ පියා අසලටම වී සිටියි. සමහර දරුවන්ට පාසල් ගේට්ටුවෙන් ඇතුළට යාමට හදිස්සිය. විවිධාකාර හැඟීම් පෙන්වන දරුවන්ගේ දෙමාපියන්ගේ මුහුණු ආඩම්බරයකින් පිරී තිබේ.
ඒ දෙමාපියන් අතර රශ්මිගේ තාත්තා දැකීම පුදුමයට කරුණකි.
මට රශ්මිව අමතක වුණත් කවදාකවත් රශ්මිගේ තාත්තව නම් අමතක වෙන්නේ නෑ. දරුවන්ට අසීමාන්තිකව ආදරය කරන පියවරු මම දැක තිබේ. මගේ ළමා කාලයේදීත්, ඉන්පසුව තරුණ කාලයේදිත් නොයෙකුත් අවස්ථාවල පියවරුන්ගේ ආදරය දැක තිබේ. ගුරුවරියක් වූ දා පටන් පෙරටත් වඩා මම දෙමාපියන්ගේ ආදරය දැක තිබේ. නමුත් ඒ සෑම පියෙක්ට වඩා මට රශ්මිගේ තාත්තා විෂේශයි. මට පොඩිකාලෙ හැමදාම හිතුණා මගේ තාත්තා රශ්මිගේ තාත්තා වගේ වුණානම් කියලා.
අද ඔහුගේ තරුණ පෙනුම නැති වී තිබේ. මුහුණ ඇඳී ගොසින් ය. හිස කෙස් තැනින් තැන සුදු වී ඇති බව ඈතටම පෙනෙයි. ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේ පාසල් නිල ඇඳුමෙන් සැරසුණ කුඩා දියණියකි. එතනම ඔහුගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාවකි.
________________________________________
ඉස්සර මම රශ්මිගේ තාත්තාට හරිම කැමතියි. රශ්මිගේ තාත්තා අනිත් තාත්තලාට වඩා වෙනස්. මායි රශ්මියි හිටියෙ එකම පන්තියේ. අපේ ගෙවල් තිබුණෙ ගොඩක් දුරින්. ඒත් ඉස්කෝලේ ගියේ එකම ස්කූල් වෑන් එකේ. අපි දෙන්නා යාළුවෝ නෙවේ. මට රශ්මි ගැන තිබුණෙ ඊර්ෂ්යාවක්. ඒ ඊර්ෂ්යාවත් එක්කම මට රශ්මි ගැන තිබුණෙ තරහක්. ඊර්ෂ්යාවට හේතු වුණේ රශ්මිගේ තාත්තා.
රශ්මි ස්කූල් වෑන් එකට නගින්නෙ අන්තිමට. ටවුන් එක කිට්ටුවෙන්. අපි වෑන් එකේ එද්දි රශ්මියි රශ්මිගේ තාත්තයි එයාලගෙ ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා. රශ්මි කවදාකවත් වෑන් එකට තනියම නැග්ගේ නෑ. රශ්මිගෙ තාත්තා රශ්මිව උස්සලා වෑන් එක ඇතුළෙන් තියනවා. මම ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙද්දි මගෙ වයසත් අවුරුදු හතක් අටක් වුණත් මට ඒ සිදුවීම හොඳට මතකයි. රශ්මිගේ තාත්තා එයාව උස්සලා වෑන් එකෙන් තියන්න නුහුරු ඉරියව්වකින් කියල හැමවෙලේම මට හිතුණා. හරියට චූටි කුරුලු පැටියෙක් අල්ලනවා වගේ පරිස්සමින්. බයෙන්. ඊටපස්සෙ වෑන් එක නොපෙනී යනකම් බලාගෙන ඉන්නවා.
අපේ අම්මා තමා මාව වෑන් එකට නග්ගවන්නේ. ඒත් එයා කවදාකවත් වෑන් එක නොපෙනී යනකම් ඉන්නෙ නෑ. ඉක්මනට ගේ ඇතුළට යනවා. මගේ තාත්තා කවදාකවත් මම වෑන් එකට නගින වෙලාවට පාරට ආවෙ නෑ. ඒ වෙලාවට තාත්තා වැඩට යන්න ලෑස්ති වෙනවා.
සමහර දවස්වලට අපි වෑන් එකේ යද්දි මම දකිනවා රශ්මිගේ තාත්තා , රශ්මිගේ ඔළුව පීරනවා මිදුලට වෙලා. සමහර දවස්වලට බත් කවනවා. ඒ පරක්කු වෙච්ච දවස්වලට වෙන්න ඇති. රශ්මිගේ තාත්තා හරිම පරිස්සමට හෙමිහිට ඒ දේවල් කරන්නෙ හරියට අපේ අම්මා කේක් එකක් අයිසින් කරද්දි වගේ කියල හැමවෙලේම හිතෙනවා.
ඉස්කෝලෙට දෙමාපියන්ට එන්න කියලා පන්ති රැස්වීමක් තිබුණ දවසක රශ්මිගේ තාත්තාත් ආවා. මගේ අම්මත් ආවා. රශ්මිගේ තාත්තා පන්තියේ අනිත් හැමෝගෙම තාත්තලාට වඩා වෙනස්. රශ්මිගේ තාත්තා උසයි. කෙට්ටුයි. කැරළි ගැහුණ කළු පාට කොණ්ඩයක් තිබුණෙ. රශ්මිගේ තාත්තා හැමවෙලේම හිනාවෙවී හිටියේ. හැම ළමයෙක් එක්කම හිනා වුණා. මටත් හිනා වුණා. අපේ තාත්තලාට වගේ බැරෑරුම් මූණක් තිබුණෙම නෑ. හරියට හුළඟ වගේ.
එදා දෙමාපිය රැස්වීම ඉවර වෙලා එද්දි අපේ අම්මයි තව යාලුවෙකුගෙයි අම්මයි එකට කතා කරද්දි මට තේරුණ දෙයක් තමයි රශ්මිගේ අම්මා නෑ කියලා.
අනිත් අයට තියන දේවල් වලට ඊර්ෂ්යා කරන්න හොඳ නෑ. අපි ඊර්ෂ්යා කරන්නේ ඒ කෙනා ළඟ තියන එකම දේට වෙන්න පුළුවන් කියන පාඩම මම ඉගෙන ගත්තේ එදා.
මට රශ්මි ගැන දුක හිතුණා. මගේ තාත්තා මගෙ ඔළුව පීරුවේ නැති වුණාට, මට උදේට බත් කැව්වෙ නැති වුණා, මාව වෑන් එකට දැම්මේ නැති වුණාට මගෙ අම්මා ඒ සේරම කරා. රශ්මිගේ තාත්තාට හැම වැඩක්ම කරන්න වෙලා. රශ්මිට අම්මෙක් නෑ කියල හිතද්දි ඒක හරිම අමුතුවට මට දැනුණා. රශ්මිට අම්මා කියලා කතා කරන්නවත් කෙනෙක් නෑ.
ඊටපස්සෙ ටික කාලයක් යද්දී මම රශ්මි එක්කන් යාළු වුණා.
හවසට ඉස්කෝලේ ඇරිලා එද්දි එයා වෑන් එකෙන් බහින්නෙ තනියම කියල මම දැක්කෙ අපි යාළු වුණාම. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා තාත්තා එනකම් එයා ගෙදර ඉන්නේ ආච්චි එක්කන් තනියෙම කියල දවසක් රශ්මි මට කීවා. එයාට ඉස්කෝලේ වැඩ කියලා දෙන්න අම්මා කෙනෙක් ඉදලා නෑ.
ඉස්සර මට පෙනුණෙ රශ්මිගේ තාත්තා එයාට ආදරෙන් සලකනවා විතරයි. ඒත් අපි දෙන්නා යාළු වුණාට පස්සෙ එයා ඉන්නෙ කොච්චර තනියමද කියලා හිතුණා. ඒත් එයාගේ තාත්තා ළඟ ඉද්දි නම් පොඩ්ඩක්වත් පාළු දැනුණෙ නෑ කියලා මට හොඳටම විශ්වාසයී.
මගේ තාත්තා මාව වෙන ඉස්කෝලෙකට දැම්මට පස්සෙ රශ්මිවයි , රශ්මිගෙ තාත්තයි දෙන්නම මට මඟ හැරුණා. ඒත් රශ්මිගේ තාත්තා රශ්මිව පුංචි කුරුළු පැටියෙක් වගේ බලාගත්ත හැටි මට කවමදාකවත් අමතක වුණේ නෑ.
_______________________________________
“මේ රශ්මිගේ තාත්තා නේද?”
දෙපාරක් හිතන්නෙ නැතිවම රශ්මිගේ තාත්තා ළඟට ගිහින් මම ඇහුවා. මම දිහා උවමනාවෙන් බලලා හිනාවෙන ගමන් ඔව් කීවා.
“දුව ව භාරදෙන්න ආවා ඉස්කෝලෙට”
ඔහු නැවතත් කීවා.
මම බලෙන් ඇඳගත්ත හිනාවක් පෙන්නලා ඉක්මනට ඉස්කෝලේ ඇතුළට ආවා.
ඔහු ගැන මගේ හිතේ යම් පිළිකුල් හැඟීමක් ඇතිවුණා. විවාහයක් කරගැනීමට තිබුණ වයසෙ එසේ නොකර විවාහ වන වයසෙ දුවක් සිටිද්දිත් ඔහු නැවත විවාහ වීම ගැන. ඔහුගේ දරුවන් දෙදෙනා අතර වයස පරතරය අවුරුදු විස්සක් පමණය.
ජීවිතේ විවිධ කාල වලට මිනිස්සු විවිධ විදිහට වෙනස් වෙනවා. නමුත් මා කවමදාකවත් රශ්මිගේ තාත්තා ගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු වූයේ නැත. ඔහු මගේ ලෝකේ වීරයෙක්. අම්මත් නැතිව දුවක් තනියම උස්මහත් කළ වීරයෙක්. මම මගේ පියාට තරම්ම ඔහුට ආදරය කරා. මෙය ඉතාම සාධාරණ දෙයක්යැයි කෙනෙක්ට කියන්න පුළුවන් වුණත් ඔහු ගැන මගේ හිතේ ගොඩනැගුණෙ අප්රසාදයක්.
ඊටපස්සෙ නිතරම පාසලේදී මම රශ්මිගේ නංගිව දැක්කා. රශ්මිගෙ තාත්තා ත් දැක්කා. ඒත් කතා කරන්න ගියේ නෑ. එක දවසක් ඉස්කෝලේ ඇරෙන වෙලාවක ගේට්ටුව ළඟ රශ්මි හිටියා. රශ්මිගේ අත අල්ලගෙන එයාගෙ නංගිත් හිටියා. තාත්තාගේ මේ විවාහය ගැන රශ්මිගේ හිතේ තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා දැනගැනීමේ උවමනාව නිසාම මම රශ්මි එක්කන් කතා කළා.
ඇයගේ සහ මගේ ආගිය තොරතුරු ගැන කතා කර අවසානයේ මම රශ්මිගේ තාත්තා ගැන ඇහුවා.
“දැන් තාත්තට එහෙම කොහොමද? සනීපෙන් ඉන්නවද?”
රශ්මි හිනා වුණා. සමහරවිට රශ්මිට මගෙ මූණේන් මම වක්රව අහපු දේ තේරෙන්න ඇති.
“ඔව්. හොඳින් ඉන්නවා. තාත්තා කීවාට ඉතින් ඒ මගේ මාමා. ඔයාල දන්නෙ නැතුව ඇති. මම පොඩිකාලෙම තාත්තා මාව දාලා ගිහින්. අම්මත් නැති වුණාට පස්සෙ ආච්චි මාව බාරගත්තට මාව බලාගත්තේ මාමා තමයි. මම ඉගෙනගෙන ඉවර වෙනකම් මාමා බැන්දෙත් නෑ. මම කියලා කියලා මගෙ කටේ පොරේට බැන්දේ. දැන් ඉතින් එයාල සතුටින් ඉන්නවා. අද එයාල ගමනක් ගිහින් හින්දා නංගිව ගන්න එන්න විදිහක් නෑ කියලා පුළුවන් නම් මට ගන්න කීවා”
නිමි
උපුටා ගැනීම: Subhashini Rathnayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!