අපේ මනුස්සයා හරියට බහු කාර්ය බුරුසුවක් වගේ. නොකරන දෙයක් කෑ. අයිටී වැඩ, වඩු වැඩ, මිකැනික් වැඩ, ඉලෙකට්රික් වැඩ, කෑම හදන වැඩ, දන්නේ නැති දෙයක් නැති උනාට එකම සහ ලොකුම අවුල තියෙන්නේ වැඩේ වෙලාවට ඉවර කරන්නේ නැති එක.
මනුස්සයා රෑ කෑම හදන්න බාර ගත්ත දවසට දවාලට මම වැඩි පුර බත් උයනවා බඩගිනි වෙනකොට කන්න. හවසට සමපෝෂ හදලා දෙනවා සහේන්ලට. මොකද අපිට එදාට රෑ කෑම ලැබෙන්නේ 10.30ට 11 ට විතර නිසා.
ගමනක් යන්න ගියත් දාගත්ත වෙලාවට වඩා අඩුම පැය 2ක්වත් පරක්කු වෙනවා. කාර් එක වැක්යුම් කරලා, හෝදන්නේ හරියට ඇඳේ නිදි කරවන්න වගේ. මිනිහගේ ජංගම ෆාමසියක් තියෙනවා යන යන තැන අරගෙන යන ඒකට බෙහෙත් ජාති දාලා, ඉලෙක්ට්රික් අයිටම්, වයර් කෑලි, චාජර්, හෑන්ඩ්ස් ෆ්රි, හෙඩ් ෆෝන් ලැප්ටොප් සේරම තව බෑග් එකක දාගෙන යන්න ලෑස්ති වෙලා එළියට බස්සගන්න එක මනමාලියෙකුට වඩා අන්තයි. කාර් එකට නැගලා මුලින්ම කියන්නේ,
“මම මේ හොඳින් කියන්නේ, අම්මලා පුතාලට. ආයෙමත් කාර් එකේ කෑම හලලා තිබුනොත්.”
.
ගමන ගියපු වෙලාවේ ඉඳන් මිනිහා වවුලා වගේ දවාලට නිදි. රෑට හෙඩ් ෆෝන් එකත් දාගෙන ටීවී සීරිස් බලනවා. හදිසියකට මදුරුවෙක් එලවන්න කතා කරත් ඇහෙන්නේ නෑ. ඒ මදිවට,
“අනු, මගේ ටවල් එක?”
“අනු, මට ටීෂර්ට් ගත්තද”
“අනු මට සරමක් ගෙනාවද”
මිනිහට නිවාඩුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිවාඩුවක් උනාට මටනම් ඉතින් තව අවුරුදු ගානකට ඒකත් හීනයක්ම තමයි.
මගේ ප්රොග්රෑම්වලට ලස්සනට ප්රසන්ටේෂන් හදලා දෙන්නෙත් මිනිහම තමයි. හැබැයි ඉතිං උදේ වෙනකම්ම හදනවා. එතන තනියට නිදි කිරා වැටී වැටී ඉන්න මාව උදේට යන්න ඕන තැනටත් එක්ක යනවා. මම වැඩේ කරලා එනකම් මිනිහා කාර් එකට වෙලා නිදාගත්තට නිදිමතේ වැඩසටහන කරන මට ඔළුව කැක්කුම ඉවරවෙලා ගෙදර එත්දි.
“අනේ, මේ සැරේවත් වේලාසන හදලා දෙන්නකො.”
“හරි, හරි බය නැතුව ඉන්නකො. මම කවදද නොකර ඉඳලා තියෙන්නේ”
අපි දැන් කසාද බැඳලා අවුරුදු 13ක්. ඒත් ඉතින් වේලාසන? හීනයක් තමයි.
අපේ ගෙදර මොන දේ තිබුනත් බණක්, දානයක්, උපන්දිනයක් කවදාවත් බැරි උනා වේලාසන වැඩ ටික ඉවර කරගෙන නිවිසැනසිල්ලේ ඉන්න. හැමදාම ඉතුරු වෙන්නේ මිනිහගේ වැඩ ටික. ඉතින් ඉබේටම මටත් බැරි වෙනවා මගේ ටික ඉවරකරන්න. එහෙට දුවනවා, මෙහෙට දුවනවා. වැඩේ ඉවරවෙත්දි උණ හැදිලා වගේ. ඔය අතරේ කාටවත් නොදැනෙන්න මම මිනිහා ළඟටම ගිහිල්ලා කුටු කුටු ගාලා බැනලා එන්නත් අමතක කරන්නේ නෑ.
“ඔයා නම් කවදාවත් හැදෙන මිනිහෙක් නෙමෙයි”
වෙසක් එක තමයි හොඳම. මට ඕනේ කඩේ තියෙන හැම පාටකින්ම කූඩු අලවන්න පාට මික්ස් නොකර. හැබැයි මට ඔය වැඩේ පුරුදුත් නෑ. දන්නෙත් නෑ. ගෑණු ළමයි තුන්දෙනෙක් විතරක් හිටපු අපේ ගෙදර හැමදාම පත්තු කරේ බකට් විතරයි. තාත්තා එකම එක අවුරුද්දක අටපට්ටමක් හැදුවා. එච්චර තමයි.
අපරාදේ කියන්න බෑ අපේ මිනිහා 2008 ඉඳන් මේ වෙනකම් මට ඕන විදියට හැම පාටකින්ම පුංචි අටපට්ටම් 15ක් විතර හදලා දෙනවා එයා අකමැති උනත්. ඒත් මදි මට බකටුත් පත්තු කරලා, මැටි පහනුත් තියන්න ඕනේ තාප්පෙ දිගටම.
“මොනාද අනු, හැමදාම එකම විදියෙ අටපට්ටම්. මම කැමති දහ අට පට්ටමට. මේ සැරේ දහ අට පට්ටමක් හදන්නද ටිකක් ලොකුවට. “
“මතකනේ එක සැරයක් වෙච්ච දේ”
මොකද්ද දන්නවද ඒ උනේ. 2011 අවුරුද්දේ අපි හිටියේ පිළියන්දල, වෑවල කියන ගමේ රෙන්ට් එකට ගත්ත ගෙදරක උඩ තට්ටුවක. අයිති අය හිටියේ පහළ. සහේන්ලා හම්බ වෙලත් නෑ එතකොට. මිනිහා හදන්න පටන් ගත්තා දළඳා මාලිගාවක්. ඒක ලොකු නිසා පහළ තියාගෙන තමයි හැදුවෙ. දවස් ගානක් මහන්සි වෙලා, කැටයම් කපලා, හදලා ඉවර කරාට පස්සේ ඒක දැකපු වට පිටෙ ගෙවල්වල අය එකතු වෙලා ඒක ගෙනිහින් පාරේ තිබ්බා ඒ ලස්සන හැමෝම දකින්න ඕනේ කියලා. මිනිහා කට වහන් හිටියා. පහුවද අටපට්ටම් දෙකක් අලුතින්ම හදලා එල්ලුවට වෙසක් දවසේ අපේ ගෙදර ඝන අඳුරෙ.
හැම වෙසක් පෝයකටම සතියකට කලින් විතර බටගස් කපාගෙන ලෑස්ති උනත් මිනිහා හරියටම වැඩේට බහින්නේ පෝය දවසේ උදේ. එපා කියත්දි තව කැටයම් වගේකුත් කපනවා. මම ඉතින් සැරින් සැරේට ප්ලේන්ටියක් හදලා දෙනවට අමතරව කරන්නේ වටේ රැළි පටි අලවන එක විතරයි. මොකද මිනිහට අල්ලන්නේ නෑ මගේ වැඩ. නීට් මදිලු. කොහොමත් කූඩු අලවන්න ගන්නකොට දවල් 12වත් වෙනවා. හවස 3.,4 වෙනකොට කූඩු ඇලවිල්ල පැත්තක තියලා පටන් ගන්නවා වයරින් වැඩේ බලබ්, වයර් කෑලි හොයාගෙන. ඕක ඉවර වෙනකොට කළුවර වැටෙන්න පටන් අරන් වටේම ගෙවල් වල කූඩුත් එල්ලනවා.
කූඩු ටිකක් කඩෙන් ගමු කිව්වම කියන්නේ,
“කිසි ගතියක් නෑනේ, ඒ වගේද අපිම හදලා ඇලෙව්වම”
කියලා. අපි රෙන්ට් එකට ගෙවල් 3ක හිටියා. ඒ ගෙවල් තුනේම අයිති අය කූඩු එල්ලලා පන්සල් යනවා.
“ආ. සහේන්ගේ තාත්තා තවම ඉවර නැද්ද? අපි මේ පන්සල් යන්න හදන්නේ”
“සහේන්ගේ අම්මේ එනවද යන්න? හන්දියේ දන්සැලක්”
“අනේ ඔයාලා යන්න. අපි තාම වැඩේ ඉවර නෑනේ.”
කිව්වට විශ්වාස කරයිද මන්දා, දන්නෝනම් දනිති රෑ 10වත් වෙනවා කූඩු 12ක් විතර හදලා ඉවර කරලා එල්ලද්දි. මිනිහට උදව් කරන්න ගිහින් රෑට හරියකට උයලත් නෑ. හැමතැනම බට පතුරු, සව් කොළ කෑලි ගේ නිකං පිස්සිගේ පළා මල්ල වගේ.
පහුවදාට තමයි කූඩු 15 ම එල්ලන්නේ. හීන මවාගෙන හිටියට හවස 6 වෙනකොට කූඩු ටික එල්ලලා, දන්සැලකටත් ගිහින්, පන්සලටත් ගිහින් වට පිටාවේ වෙසක් සිරියත් බලලා එන්න පළවෙනි දවසෙනම් කවදාවත් බැරි උනා ඒ හීනේ හැබෑ කරගන්න. මට ඉතින් දැනෙන බුද්ධාලම්භන ප්රීතිය ගැන කියන්න වචන නෑ.
ප.ලි.
දන්සැලකින් මම කන්න ආසම සීනි සම්බල් පාන්. ඒක පුදුම රසක්. කාලක් කාලානම් හොඳටම මදි. දුක හිතෙනවා මතක් වෙත්දි මිනිස්සු කොයිතරම් සතුටින් හිටියද කියලා කොරෝනා එන්න කලින්.
උපුටා ගැනීම: Anu Jayawardane