ඉස්කෝල යන කාලෙදි මං හොඳ ශිෂ්‍යයාවක් වෙලා හිටිය කිව්වොත් හරිද නම් මන්ද. කොහොම හරි මැහුම් සබ්ජෙක්ට් එකේදී නම් මට උනේ මෙහෙමයි.
මැහුම් ප්‍රැක්ටිකල් වලදි අපි කොයිතරම් ලස්සනට මැහුවත් කීප දෙනෙක්ගෙ මැහුම් විතරයි මැහුම් මිස් අතට අරන් බලල හොඳ නරක අඩුපාඩු කතා කලේ. ඒ කීප දෙනාට අයිති නැති අපි දිහා මිස් බැලුවෙත් කණ්නාඩි කුට්ටමට යටින් හොරෙන් වගේ පොඩි රැවුම් බැල්මකිනුයි. හැබැයි මැහුම් පාඩම මම හොඳට අල්ලගෙන ටර්ම් ටෙස්ට් වලදි හොඳට ලකුණුත් ගත්ත නිසා මිස් හිනා නොවුන එක අවුලක් උනේ නෑ.
ඔහොම ගිහින් ගිහින් නවය වසරෙදි ප්‍රැක්ටිකල් වලට සුදු ගවුමක් මහන්න තිබුණා. ඒක සුළු පටු වැඩක් හෙම නෙමෙයි. මුලින්ම මිමි ගන්න ඕනේ. ඒවා පොතක ලියන්න ඕනේ. මුලින්ම මට තිබුණ අවුල ඇඟේ එක එක තැන් වල මිමි වලට අමුතු අමුතු නම් ටිකක් කිව්ව එක. සාමාන්‍යයෙන් එක පාරින් ඕන දෙයක් මතක හිටින මට ඒ වචන නම් ග්‍රීක් වගේ උනා.
ඊළඟ අවුල එහෙම අමාරුවෙන් ගත්ත මිමි වලට තව දිගක් එකතු කරලා එක්කො අඩු කරලා, ඒත් නැත්නම් වැඩිකරල බෙදල ගත්ත ගාන තව මොහොකින් හරි වැඩි කරලා ජර මර ගොඩක් කරල අවසානෙට එන ඉලක්කම තමා හරි මිම්ම. මේ මිමි වලට කීව නම් ඒ කාලෙත් මතක නැති එකේ අද කොහොම ලියන්නද. මේ වැඩේ මට වහකදුරු වගේ. මෙලෝම දෙයක් තේරුනේ නෑ. පන්තියෙ ළමයිටත් අමාරු ගණන් ලේසි කරලා කියල දුන්න මට මේ එකතු කිරිලි බෙදිලි වැඩිකිරිලි තේරුනේම නැත්තෙ ඇයි කියල ඒ කාලෙ මට හරි පුදුමයි. ඇයි අනේ සුදු ගවුමක් මහන්න මෙච්චර නහින්නෙ. මට හිතුනෙම එහෙමයි.
—————————————————–
මගෙ ඇඳුම් මහන්නෙ අපේ ගමේ සුනිල නැන්ද. ඉස්කෝලෙ නිවාඩු කාලෙට සුදුගවුම් වගේම පාට ගවුම් මස්සව ගන්නත් මම සුනිල නැන්දලගෙ ගෙදර යනව.
පාට ගවුම් මහනකොට නම් මට ඕන මෝස්තරේ අහල නැන්දගෙ අදහසුත් එකතු කරල තමයි ෆයිනල් ඩිසිෂන් එහෙකට එන්නෙ. ඊළගට මං එහෙ බලල මෙහෙ බලද්දි නැන්ද සුටුස් සුටුස් ගාල මගෙ මිනුම් අරන් ඉවරයි.
ඊට පස්සෙ මහත කූරක් තියෙන පැන්සලකින් ගවුම් රෙද්දෙ පුංචි සලකුණු ටිකක් තියාගෙන තියාගෙන යනව. ඊළඟ කොටස තමයි මම ආසම. නැන්ද ඊළඟට අර ලකුණු කරපු තැන් යාකරල හරි ලස්සනට රවුම් කර කර කතුරෙන් කපාගෙන කපාගෙන යනව. ඒ කැපිල්ල මාර ස්පීඩ් වගේම මාර කලාත්මකයි. මම නැන්ද වටේ කැරකි කැරකි කපන විදිහ බලා ඉන්නව. මට වෙලාවකට බයත් හිතුන නැන්ද කපන වේගෙට මගෙ ලස්සන ගවුම් රෙද්ද වැරදියට කැපුනොත් හෙම කියල. ඒත් කවදාවත් එහෙම වෙලා නම් නෑ.
අන්තිමට එක එක හැඩේ රෙදි කෑලි නැන්ද අල්පෙනෙති ගහල මගෙ නම ලියපු කවරෙකට දානව. වැඩිපුර තිබුණ රෙදි නැන්ද මට ගෙදර ගෙනියන්න දෙනව බෝනික්කන්ට ඇඳුම් මහන්න කියලා.
ඉතිං ඒ රෙදි කෑලි ගෙදර ගෙනිහින් මාත් බෝනික්කගෙ මිමි අරන් නැන්ද වගේ කැරකි කැරකි කපල ගවුම් මහනව. අනේ ඉතිං මුලදි මහපු ගවුම් එකක්වත්ම බෝනික්කට අන්දවන්න බැරි උනා. උඩහ ගෙදර අක්ක කිව්ව ඒව මීයෙකුට වගේ නම් ඇන්දුවහැකි කියල. මට හරි දුක හිතුන ලස්සන ගවුම් රෙදි වල ඉතුරු රෙදි කෑලි උනත් අහක යද්දි.
කොහොම කොහොම හරි හැම ඉඩ ලැබුන ඉස්කෝල නිවාඩුවෙම ගවුම් රෙද්දක් තිබුණොත් සුනිල නැන්දලගෙ ගෙදර ගිහින් එයා මිමි ගන්න හැටියි ඇදුම් කපන හැටියි මහන හැටියි බලාගෙන ඉඳල මම අන්තිමට ලස්සන ගවුමක් මහල බෝනික්කට ඇන්දුව. එතකොට මම හත වසරෙ හරි අට වසරෙ හරි විතර. හැමෝම ඒක ලස්සනයි කිව්වෙ ඇත්තටද බොරුවටද කියල නම් කියපු අයම තමයි දන්නෙ.
——————————————————-
ඉතිං මේ නවය වසරනෙ. අර සුදු ගවුම් බ්ලොක් හැදිල්ල මට එපාම වෙලා මැහුම් ඇලජික් උනාට පස්සෙ මියුසික් ප්‍රැක්ටිස් කියල මැහුම් පීරියඩ් කට් කරල මියුසික් රූම් එකේ තමා මම වැඩිපුර කල් ගෙව්ව. මගෙ හොඳම යාළුවත් මියුසික් කරපු මැහුම් නොකරපු කෙනෙක් නිසා එයා මට ලස්සනට වැඩේ සෙට් කලා. අපේ මියුසික් මිස් තමා ඒ කාලෙ අපේ ගැලවුම්කාර දේවතාවිය. හැබැයි බොරුවට නෙමෙයි ඇත්තටමත් ගියෙ ප්‍රැක්ටිස් වලට නිසා කාටවත් මුකුත් කියන්න බැරි උනා.
අනේ ඉතිං අන්තිමට ටර්ම් ටෙස්ට් එකේ මැහුම් ප්‍රැක්ටිකල් වලට ලකුණු 60 ක්ම දෙනව කිව්වම තමයි ඔන්න මාව දාල පිච්චිලා ගියෙ. බ්ලොක් එකට 30 යි ගවුමට 30 යි. දැන් මොන දෙයියට කියන්නද ? මේ ලකුණු 60 න් භාගයක් වත් නොලැබුණොත් මං 20 වෙනියගෙන් මෙහා නවතින එකක් නෑ. විලි ලැජ්ජාවෙ බෑ. දැන් මෙහෙම හිටියට මොකද ඒ කාලෙ මං ඉස්කෝලෙ පොඩීයට හරි නමක් හදාගෙන හිටපු ශිෂ්‍යාවක්. මගෙ නම්බුකාරකම සුදු ගවුමෙන් දෝරෙ ගලයි වගේ ඉතිං.
තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් මම නම දන්න හැම දෙයියන්ටම ඉතිං රික්වෙස්ට් කලා වැඩිය ලකුණු ඕන්නෑ මගේ ආත්ම ගරුත්වෙ විතරක්වත් රැකල දෙන්න කියල.
මේකෙ තව ඉන්ඩිරෙක්ට් අලාභෙකටත් මට ඉන්තේරුවෙන්ම ෆේස් කරන්න වෙනව. ඒකත් සුළුපටු එකක් නෙමෙයි. ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ගිහින් රිපෝට් කාඩ් එක පෙන්නල බාප්පලගෙන් ආච්චි අම්මගෙන් මංකොල්ල කන ගවුම් රෙදි, කොණ්ඩ කටු, කතන්දර පොත්.. මගෙ ධනවත්කමේ හැටියට මේව මට ඉතිං හතර මහ නිධාන වගේ. අපොයි ඉතිං මේ ඔක්කොම නැති වෙනව මට. දහ අතේ කල්පනා කරල මොලයක් පාදගෙන, ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියල ගැහුව ඕන් අන්තිම තුරුම්පුව.
——————————————————
සුනිල නැන්ද මහපු හැම ගවුමක්ම හැඩයි ලස්සනයි කියල හැමෝම කියනවනෙ.
” ඔයාගෙ සුදු ගවුම් හරි නීට් “
කියල නොකියපු කෙනෙක් නැති තරම්.
ඉතිං මම සුනිල නැන්ද ඒ වගේ නීට් එකට මහපු සුදු ගවුමක් හෙමීට මැහුම් පාරවල් ඔක්කොම ගැලෙව්ව. ඊට පස්සෙ කෑල්ලෙන් කෑල්ල සුදු කඩදාසියක් උඩින් තියල යටින් කාබන් කොලයක් තියල අර ලෙහාපු මැහුම් පාරවල් දිගේ වීල් එකෙන් ලකුණු කරල අන්තිමේ බ්ලොක් එක කපා ගත්ත.
ඔන්න ඉතිං දෙවියන්ට හෙම පඬුරුත් ගැටගහල බ්ලොක් වලට ලකුණු දෙන දවසට ඒ ටික අරන් ගියා. මැහුම් මිස් ඒ ටික අරන් මගෙ ඔලුවෙ ඉඳන් සපත්තු දෙකේ කෙලවරම වෙනකල් ඇඟ සීතල කරල ආයෙම දාඩියකුත් දාල කකුල් සට සට ගාවන බැල්මක් හෙලුව. තව ටිකක් වෙලා මිස් ඒ බැල්මෙන් හිටියනමි මට සිද්ද වෙන්නෙ වතුර බෝතලේ බිමට පෙරලල බිම තියෙන්නෙ වෙන මුකුත් නෙමෙයි වතුර කියන්නයි. අනේ පවු ඉතිං අන්තිමට ලකුණු 5/30 යි. ඔන්න මගෙ ආත්ම ගවුරවේ ජීවිතේ පලමු වතාවට බිංදුවට බැස්සෙ එදයි.
මොනා කරන්නද සුදු ගවුමෙ ලකුණු 30 න් වත් උපරිමයක් කොහොම හරි ගන්න ඕනෙනෙ. හදාගත්තු බ්ලොක් එකට ගවුමෙ කොටස් කපාගෙන දැන් මම දිගටම මැහුම් පීරියඩ් එකට යනව.
අන්තිමට ගවුම මහල ඉවර කරල ලකුණු දෙන දවස ආවා. දේව කන්නලව් අනම් මනම් ඔක්කොම කරල මම ගියා ඉතිං. එදත් මිස් බ්ලොක් එක පෙන්නපු දවසෙ බැල්මම තමා දැම්මෙ. ඉන් ඇඩිෂන් ඈතටත් ගිහින් සැරින් සැරේ රව රව හිටිය විදිහට මේ දැන් මගෙ නම කියල කෑ ගහයි කියල තමා මං හිතුවෙම. ඒ වෙලාවෙ සහලවල උන එන්න වගේ මාව වෙව්ලන එක නවත්ත ගන්න කට තද කරන් හිටපු පාරට මගෙ හකු රිදෙන්න ගත්ත කම්මුල් ගාය හැදුන වගේ. අනේ පව් කියන්න ඒකටත් 5/30 යි. තියරි වලට හොඳට ලකුණු තිබුණට ගැප් එක අල්ලන්න බෑ. පන්තියෙ 19 වෙනිය වෙලා මගෙ ආත්ම ගවුරවේ සුදුගවුමෙ හේදිලා මැකිල ගියේ අන්න එහෙමයි.
හොඳ වෙලාවට දහය වසරෙදි තාක්ෂණ හරි සෞන්දර්ය හරි එක සබ්ජෙක්ට් එකක් ඔන්නම් අතාරින්න පුළුවන්. ඉතිං මං එක පයින්ම මැහුම් අතෑරල ආයෙමත් මගෙ තැන හදාගත්ත.
ඉතිං අර ලකුණු ලැබුන්නැති මම මහපු සුදු ගවුම …
මම දහස වසරෙදි ඒ ගවුම ඉස්කෝලෙට ඇන්ද. පුංචි පුංචි අඩුපාඩු තිබුණට ඒව කාටවත් ටච් උනේ නෑ. ගවුම හොඳ බව ප්‍රතිචාර වලින් මම දැනගත්ත. ලොකුවට ලකුණු ලැබුණ හරි තියරියට මහපු ගොඩක් ලමයිගෙ සුදු ගවුම් වල නම් ඉතිං ඉස්කෝලෙට අඳින්න බැරි එක එක ප්‍රශ්ණ තිබුණ.
ඊළඟ නිවාඩු කාලෙ මම සුනිල නැන්දගෙන් ඇඳුම් මහන්න ගියාම සිද්දිය කියල මගෙ සුදු ගවුමෙ අඩුපාඩු එයාගෙන් අහගත්ත. සුනිල නැන්ද එක ගවුමක් මහද්දි මාත් එකක් මැහුව. කාලයක් යද්දි නැන්ද වගේම බ්ලොක් නැතුව රෙද්දෙ පුංචි සලකුණු තියල කතුර කරකව කරකව ගවුම් කපල මැහුව මම. මගෙ මැහුම් සුනිල නැන්දගෙ ඒව තරම්ම ලස්සන වෙලා නීට් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. කසාද බැඳල ගමෙන් එනකල්ම අපේ ගෙදර යන එන දුප්පත් අයගෙ ලමයින්ට මම නොමිලේ ඇඳුම් මහල දුන්න. යාළුවන්ටත් මහල දුන්න. සල්ලි කාරයො නෙමෙයි උනාට සල්ලි වලට නම් මැහුවෙ නෑ ඉතිං.
ඉගෙනගෙන ඉවර වෙලා ජොබ් එකට ගියාම මගේ ක්‍රය ශක්තිය එක පාරට ඉහල ගියා. ඉතිං මං කොළඹ ගියාම හොඳම ඇඳුම් ෂොප් වල ඇවිදල ඇඳුම් අතගාල මෝස්තර බලල එයින් එකම එකක් අරන් ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර එක එක මෝස්තරේ ඇඳුම් මහල අඳින්න පටන් ගත්ත. දකින අය හොඳම ඇඳුම් ෂොප් වල නම කියල එහෙන්ද ගත්තෙ කීයක් උනාද කියලයි ඇහුවෙ.
පස්සෙ පස්සෙ පිරිමි ඇඳුම් ඇර මං නොමහපු දෙයක් නෑ. ඒත් කාලය ගත වෙද්දි ජොබ් එකේ කාර්යබහුල කම නිසා මමයි මැහුමුයි අතර ලව් එක බ්‍රෙක් උනා.
ඒත් ආයෙම මට ඒ ඇඳුම් මහපු අතීතෙට යන්න හිතෙනව. පටන් ගන්නෙ කොහෙන්ද කියල හිත හිතා ඉද්දි හිතිං මම ඈතම ඈතට ගියා. ඉතිං ඒ ආරම්භක කතාව තමා මේ. එදා සුදු ගවුමට ලකුණු ලැබුණ නම් මං තාමත් සුනිල නැන්දගෙන් හරි වෙන කාගෙන් හරි ඇඳුම් මහ මහ ඉන්නව කියල නම් මට ෂුවර්.
උපුටා ගැනීම: Kumari Dayananda