කන්ද උඩරට රාජධානියේ රජකම් කල ශ්‍රේෂ්ඨ නරපතියන් අතර දෙවෙනි රාජසිංහ නිරිදුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ඒ උන්වහන්සේගේ පැවති අපරිමිත කායබල ශක්තියත් නිර්භීතභාවයත් නිසාමය.විවේකයක් ලද විගස අප්‍රසිද්ධ වේෂයෙන් තම රට වැසියාගේ දුක් ගැහැට සොයා බැලීම මෙතුමාගේ සිරිතකි.
එකල කන්ද උඩරට සෙංකඩගල ප්‍රධාන රජ මාලිගයට අමතරව තවත් උප නගරයන්හි රජ මාලිගා පැවතුණි.ඒ හගුරන්කෙත උප නගර මාලිගය(දියතිලක නුවර),නිල්ලඹ උප නගර මාලිගය,මහියංගන අලුත් නුවර මාලිගය හා කැලේගාල නුවර මාලිගය යනාදියයි.එසේ අමතර මාලිගයන් බිහි වීමට හේතු වූයේ කන්ද උඩරට රාජධානියට එල්ල වූ සතුරු උපද්‍රවයන් හා රජුගේ එම පෙදෙස් වලට පැවති ප්‍රියතාවයයි.
නුවරඑළිය අසල කැලේගාල නම් ස්ථානයක් තිබේ.ග්‍රීෂ්ම කාලයේදී රජතුමා කැලේගාල උපනගරයේ වාසය කල බව ජනශ්‍රැතිහි සදහන් වේ.එය රාජසිංහ රජු වරින් වර පැමිණ වාසය කළ උප නගරයකි.වලපනේ යන නම අනුව කැලේගාල යන නම ඇතිවූයේය යි සමහරුන් ගේ මතයකි. වල හෝ වල් යනුවෙන් කැලේට ව්‍යවහාර වේ. පනේ යනු පාෂාණ ශබ්දයෙන් බිඳී එන ගලට වියවහාර වචනයකි.ඒ අනුව වලපනේ යන්නෙන් කැලේ ගල යන වචනය සෑදී උච්චාරණය පහසුව අනුව කැලේගාල යනු වී යයි ඔවුන්ගේ මතය වේ.තවත් සමහරුන්ගේ මතයක් නම් රුපහ ප්‍රදේශයේ ඔයක වලක පිහිටි නීල ගරුඬ පාෂාණය නිසා වළෙහි වූ ගල යන්නෙන් වලපනේ යනු සිද්ධ වූ බවයි.වර්තමානයේදී වුවද වලපනේ රුපහ ප්‍රදේශයට ගමන් කල විට එකී නීල ගරුඬ පාෂාණය නැරඹීමේ අවස්ථාව හිමිවේ.දෙවැනි රාජසිංහ මහ රජතුමා කැලේගාල උප නගරයෙහි වාසය කළ එක්තරා කාලයකදී සිදුවූ ත්‍රාසජනක සිදුවීමක් අප ඔබ වෙත ගෙන එන්නෙමු.
කැලේගාල නුවර වසන එක් දිනක දෙවැනි රාජසිංහ රජතුමා දඩයම් පිණිස අසල වනයකට ගියේය.මුවකු පසුපස එළවා ගිය රජ මහා වනයෙහි මංමුලා විය.බොහෝ වේලාවක් වනයෙහි ඒ මේ අත ඇවිද මහන්සි වූ රජ ක්ශුද්‍රාවෙන්ද පිපාසයෙන් ද පෙළුණේ කරකියාගත හැකි දෙයක් නැතිව ගල්තලාවක ඉඳගෙන ගිමන් හරින්නට විය.
මෙසේ බොහෝ වේලාවක් සා පිපාස දෙකින් පෙළී සිටින විට ඉදිරිපිට කන්දේ යම්කිසිවකු යන බව දැක්කේය.රජතුමා ගල් පොත්තේ උස් තැනකට වී හූ හඩ නැගූ විට එගොඩ කන්දේ ගිය පුරුෂයාට ඒ හඬ ඇසී රජු සොයාගෙන එතැනට පැමිණියේය.එහි පැමිණි පුරුෂයාට මේ හූ හඬ නැඟූ තැනැත්තා නම් රදළ තැනැත්තකු බව වැටහින.රජතුමා ගම්වැසියාට කතා කොට මම මංමුලා වූයෙමි සා පිපාස දෙකින් පෙළෙන්නෙමි.මේ මට වහා වතුර ටිකක් සපයා ගෙනත් දුන්නොත් වටිනා තෑග්ගක් දෙන්නෙමි යයි කීවේය.
ඒ පුරුෂයා ද අසල පිහිටි ගමක ඉතා වැදගත් පරම්පරාවකට අයත් කෙනෙකු විය.අනුරාධපුර විසූ විසු මහසෙන් රජු සංඝමිත්‍ර නම් වෛතුල්‍යවාදී භික්ෂුවකගේ අවවාදය පරිදි විහාර 363 ක් සමතලා කොට එම විහාර භූමි වල උඳු වැපිර වූ බව ඉතිහාසයෙහි සඳහන් වේ.එකල එම රජුගේ පුරෝහිත ඇමතියාගේ සොහොයුරෙක් මහාවිහාරයෙහි මහණ ව සිටියේ ය.මහා විහාර සංඝ ඝාතන අවස්ථාවේදී ගිහි වෙස් ගත් මේ භික්ෂුව අනුරාධපුරයෙන් පිටත් ව මලය රට බලා පැමිණියේ ය.එසේ පැමිණි ඔහු වලපනේ එක් කුල ගෙදරක නැවතී එම ගෙදර වැඩ පොල කරමින් සිටින අතර ගෙහිමියාගේ දියණිය සමඟ මෙම තරුණ පුරුෂයා ප්‍රේම සම්බන්ධයෙන් වෙලී ගියේය.මේ බව දැනගත් ගෙහිමියා මෙම පුරුෂයාගෙන් හෙතෙම කවුරුන්ද යන්න විමසීය.එහිදී තමා ගේ වතගොත පහදා තරුණිය සිය භාර්යාව වශයෙන් තබාගැනීමට සතුටු බවත් කියා සිටියේය.ඒ බව ඇසූ දෙමහල්ලෝ ඉතා ප්‍රීතියට පත්ව තම දියණිය ඔහුට පාවා දුන්හ.ඒ දෙපළ ගෙන් පැවත එන පරම්පරාවෙහි පුරුෂයෙකි ඉහත කී ගම්වැසියා,එම පරම්පරාවෙහි පුරුෂයෝ ඉතා කායබල ඇත්තෝය.එමෙන් ම නිර්භීතයෝය.මෙම පුරුෂයාද කාය බලයෙන් හා නිර්භීත කමින් ද අනූන වූවෙකි.
වහුගල තණ බිමෙහි සිටි තම හරක් පට්ටිය බැලීමට මෙම පුරුෂයා යමින් සිටියේය.ඔහු අත බත්මුලක් ද විය.පසුව මහා කන්දෙන් පහළ බැස දොළ පාරකින් කොළපත් ගොටුවකට වතුර ගෙන රජු සිටි තැනට පැමිණි ඔහු ප්‍රථමයෙන් රජුට වතුර පිළිගැන්වීය.ඊට පසු ආයුබෝවන්ට මම ඉතා උසස් පෙළපතකින් පැවත එන්නෙක් වෙමි ඒ නිසා සැක නැතිව මේ බත්මුල වැළඳුව මැනව යි කියා රජුට බත් පතින් පැවරීය.
සා දුක බලවත් හෙයින් රජු එම බත් මුලෙන් බාගයක් වැළඳුවේ ය.ඉතිරි භාගය එම පුරුෂයා අනුභව කළේය.ඉක්බිති මෙම එම පුරුෂයා කැලේගාල නුවර දෙස වැටී ඇති පාර පෙන්වනු පිණිස රජු කැටුව පිටත් විය. එසේ යන අතර මගදී මඩ කඩිත්තක ලැග සිටි නපුරු කුළු මීමෙක් හමුවිය.කුළුමීමා ඔවුන් දෙසට හඹා ආවේය.රජ කුළුමීමා ට බය බවක් ඇඟවීය.ඒ දුටු පුරුෂයා”නොබව මැනවි ස්වාමීනි”කියා ඉදිරියට පැන කුළා හා සටනට වන්නේය.රජ මේ දෙදෙනාගේ භයානක පොරය දෙස බලා සිටියේය.
ස්වල්ප වේලාවකින් මේ යෝධ පුරුෂයා කුළුමීමාගේ අං දෙකින් අල්ලා බෙල්ල පිට කරට කරකවා බිම පෙරළා අං දෙක කඩා සියතට ගත්තේය.මීමා මර හඬලා එහිම අවසන් හුස්ම හෙළීය.ඒ දුටු රජතුමා එම පුරුෂයාට කතා කොට හෙට දින අංදෙක ගෙන කැලේගාල නුවර මහවාසලට එන ලෙස නියම කළේය.

පසුදින ඔහු අං දෙකද ගෙන කැලේගාල නුවර රජ වාසලට පැමිණියේය.මේ ආශ්චර්යය ක්‍රියාව ගැන ඇසූ එගම් වැසි අනෙක් පිරිස ද ඔහු කැටුව රජවාසල කරා පැමිණියෝය.
නියමිත වේලාවට රජු ඉදිරියෙහි පෙනී සිටි එම පුරුෂයා ද මහ සෙනග ද දුටු රජතුමා තොප කැටුව පැමිණී මේ ගොල්ල (පිරිස) කවුරුන්දැයි විචාළේය.අවසර දේවයන් වහන්ස රාසිං දෙයියන් දැකගැනීම පිණිස පැමිණි මගේ ගමෙහි මගේ නෑ ගොල්ල යයි පැවසීය.”එම්බා පුරුෂය තොප මට ඊයේ දවල් බත් පතින් පැවරූ අවස්ථාවේ දී තොප උසස් කුලයකින් පැවත එන බව පැවසීය. එබැවින් තොපගේ නම්ගොත් පෙළපත දැන ගැනීමට මට අවශ්‍ය වේ” එය කියව යැයි රජු අණ කළේය.
“දේවයන් වහන්ස අපි අනුරාධපුර රජකළ මහසෙන් දෙවි මහරජාණන් ගේ පුරෝහිත අන්දර වැව බාපන් ස්වාමීන්ගේ සොහොයුරාගෙන් පැවතෙන්නෝ වෙමු” යැයි පැවසීය.
එවිට රජ දරුව ඔබ ඊයේ මට කළ උදව් ගැනත් ලක්දිව මා හැර කිසි කෙනෙකුන් නොකළ හපන්කමක් මා ඉදිරියේ පෙන්වීම ගැනත් ඉතා ප්‍රීතියට පත්වීමි.රාසිං මහරජු දැකගැනීමට පැමිණි ගොල්ල වසනා ගමට අද පටන් රාසිං ගොල්ල යන නම වන්නේය යයි පවසා එම වීර පුරුෂයාට එම ගම ඇතුළු ගම් කිහිපයක් නින්දගම් වශයෙන් පවරා දී පළමු තිබුණු නමට මුලින් වීරසිංහ පැරකුම් බණ්ඩාර යන නමද පටබැඳ රාජ සම්මාන පිරිනැමුවේය.
මේ ප්‍රවෘත්තිය මනුරාජාවලිය නම් පරම්පරාගත පුස්කොළපොතක මෙසේ සඳහන් කොට තිබේ
ගජතෙකු සමග බණ්ඩාර මැතිදා එදින
සමතෙකු ලෙසින් රාසිං රජු පිළි රැගෙන
විජිතෙකු සමග කුළුමී අං කඩාගෙන
අන්දරවැවේ පැරකුම් බණ්ඩාර එදින
වර්තමානයේදී ද මෙකී පෙළපත් නාමය සහිත වීරසිංහ පරම්පරාවෙන් පැවතෙන්නන් වලපනේ රාසිංගොල්ල ගම්මානය හා නිල්දන්ඩාහින්න නගරය ආශ්‍රිතව ජීවත් වනු ලබන අතර ඔවුන් තම මුත්තණුවන්ගේ අපරිමිත කායබල ශක්තියත් නිර්භීතභාවයත් පිළිබඳව කතා කරනුයේ මහත් වූ අභිමානයෙනි.


විශේෂ ස්තූතිය – රාසිංගොල්ලේ වීරසිංහ මුදියන්සේලාගේ පුංචි බණ්ඩා වීරසිංහ මහතා ඇතුළු පවුලේ සැමට.
ඩී.පී.වික්‍රමසිංහ මහතාගේ මග දිගට ජනකතා පොත ඇසුරෙන් උපුටා ගැනීමකි.
ගත් සයුර
උපුටාගැනීමකි