බැඳපු අලුත නිර්මලා මගේ තෙරක් නැති ට්රිප් කතා අහ අහ සන්තෝස වෙන්න පුරුදු වෙලා හිටියා. ඒගොල්ලන් වැඩිය ට්රිප් ගිය පවුලක් නෙවෙයි. අපි ඒකෙ අනිත් පැත්ත! මගේ අප්පච්චිටත් තිබ්බෙ ‘ට්රිප් ගාය’. අම්මත් එහෙම තමා. ඒ මදිවට ඉතින් අපි කොල්ලො සෙට් එකත් නහුතයක් ට්රිප් ගියානේ ඔලුව හැරුනු හැරුනු අතේ!
ඕවයින් වැඩි හරිය කැලෑ ට්රිප්. ඒව ඉතින් මහා වීරකම් නෙවෙයි. ටෙන්ට් ඇතුව සහ නැතුව කැලෑවල නිදපුවා. නමුත් ට්රිප් වැඩිය ගිහින් තිබුන් නැති නිර්මලාට මාව පොඩි ‘ඇඩ්වෙන්චරස් බගර්’ කෙනෙක් වගේ පේන්න ඇති. ඒ හින්ඳා අහන් ඉන්නවා කටත් අයන් හිනා වෙවී.
උඹල දන්නවනේ ට්රිප් යනකොට ගෑනුන්ට තියන ලොකුම ප්රශ්නේ. ‘ටොයිලට් හොඳට තියනවද?’ කියන ප්රශ්නේ. ඕක ඉතින් මගේ නෝනටත් පොදුයි. ඒකනේ නිර්මලත් එක්ක මලාට කෑම්පින්ග් ට්රිප් යන්න බැරි.
ඕන් ඉතින් මම අර කතා කියනකොට අහන් ඉන්න නිර්මලාට දවසක් ටක් ගාලා මතක් වෙලා ඇහුවා ‘ඕගොල්ලන් ඉතින් ඔය කැලේ ඉන්නකොට ටොයිලට් කොහෙද තියෙන්නේ?’ කියල!
කැලෑවේ ට්රිප් එකක් යනකොට කොල්ලො විදියට අපිට තිබ්බ සරලම ප්රශ්නෙත් ඒක! කවදාවත් හිතුවෙ නැති ප්රශ්නෙත් ඒක! ඉතින් මම කටත් අයන් කල්පනා කරා දැන් මේකට දෙන උත්තරේ. මම හිතල හිතල මෙහෙම කිව්වා.. ‘අපි අන්තිමට රෑ නිදුවෙ අම්මා යාල ලඟ හේනක. ඒකෙ ටොයිලට් එක හෙක්ටයාර් අනූ හත්දාස් අටසිය අසූවක්.. ඊට කලින් ට්රිප් එක ගියේ ගල්-ඔය. නිදුවේ ලඟ තිබ්බ පැලක. ඒකෙ ටොයිලට් එක හෙක්ටයාර් විසිපන්දාස් නමසීයක්.. ඊට කලින් ට්රි..’ නිර්මලා මගේ කට අතින් වහලා හිනා වෙන්න ගත්තා…
ඇයි වදේ කැලෑවල තියනවද ලැවැන්ඩර් සුවඳ හමන ටොයිලට් මන් අහන්නේ?…
උපුටා ගැනීම: Susantha Pethiyagoda