කථා තුනක් ! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
චතුරිකා
චතුරිකාගේ ගෙදර තිබුනේ පාර අයිනේ. ටිකක් මහත මූණ පුරාවටම හිනාවක් තියෙන චතුරිකා අපි ඉස්කෝලේ යනවා බලාන ඉන්නවා. පිච්ච මල් හිනාව ! අඟ හිඟ කම් මැද වුනත් මලක් වගේ හැදුන එකම ළමයගේ ජිවිතේ මැළවුනේ දවසක් උදේ පාන්දර අම්මා වමනේ දාලා පපුව අල්ලගෙන වැටුන දවසේ ඉඳන්. චතුරිකා පොඩි වුනාට තාත්තා ටිකක් වයසයි. එයත් කෙල්ලට යන්තම් අවුරුදු දාහත දහඅට වෙන කොට නැති වුනා. ටික දවසක් තනියම ගෙදර හිටපු ඈ රස්සාවට මැද පෙරදිග ගියා. එහෙදි වෙච්ච අනතුරකින් අතක් කපන්න වෙලා, ආපහු ලංකාවට ආවා, කිසිම වන්දියක් නැතුව.
ඊට පස්සේ ජීවත් වෙන්න ලොකු නගරෙක ලෝකේ පරණම රස්සාව කරනවා කියල ගම්මු කිව්වා. චතුරිකා ආයේ කවදාවත් ගෙදර ආවේ නෑ. පාර අයිනේ ගෙදර වල් බිහි වෙලා ගරා වැටුනා.
චතුරිකා ජීවත් වෙනවද, මැරුණද, වැළලුවද, පිච්චුවද කවුරුවත් දන්නේ නෑ.ජීවිතේ පුරාවටම තනි කමින් පිච්චුන ඈට ඒක අදාළ නැතුව ඇති. ටෙලි නාට්යයේ චාතුර්යාට වගේ සුන්දර ආදරයක් ඈ කවදාවත් විඳින්න නැතුව ඇති.
හැමෝටම අමතක වෙච්ච චතුරිකාව මට ඉඳ හිට මතක් වෙනවා, පිච්චමලක සුවඳ එක්ක!!
මර්ලිනා
යමක් කමක් ඇති පවුලක ඉපදුන මර්ලිනා අපිට වඩා අවුරුදු පහක් විතර වැඩිමල්. අපි ගියේ එක ඉස්කෝලෙට, එකම පාරේ. ඇත් දළ පාට, මර්ලිනාගෙ අක් බඹරු කෙස් කළඹ, තද කළු පාට ඇස් , ලස්සනම ලස්සනයි. සිත්තර පත්තරේ දේදුනුටත් වඩා ලස්සනයි.
සා. පෙළෙන් පස්සේ ඉස්කෝලේ නොගිය ඈව ඉක්මනින්ම ගොඩක් පෝසත් වෙළෙන්දෙක් විවාහ කර ගත්තා. රූප සොබාව හින්දම වෙන්න ඇති. ඈ ඔහුගේ දෙවන බිරිඳ ! ඒ බව මර්ලිනා දැන ගත්තේ පස්සෙ. දැන ගත්තත් කරන්න දේකුත් නෑ. නීතියෙනුත් වලංගුයි.
දරුවා හම්බ වෙන්න මර්ලිනා ගෙදර ආවා. දරුවට දවස් 40ක් වෙනකම් අම්මලාගේ ගෙදර ඉන්න ඕනේ. 41 වෙනි දවසෙ මහ පාන්දර ඈ නාන කාමරේට ගිහින් දොර වහගෙන ගිණි තියා ගත්තා. ශරීරෙන් සීයට 80ක්ම පිච්චෙන කම් ඈ කෙඳිරියක්වත් නැතුව පයිප්ප බටයක් අල්ලගෙන හිටියා. හිතේ ගින්දර ඊට වැඩි නිසා වෙන්න ඇති. ගෙදර අය ඇහැරුනේ ප්ලාස්ටික් වහල පුපුරු ගහන සද්දෙට.
පිච්චුන මර්ලිනාට නිල් පාට සායක් අන්දල රෝස පාට සාළුවකින් වහල වාහනේකට නැග්ගුවා. ඈ රෝස පාට සාලුව මෑත් කරල ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් සද්දෙට පාර අය්නට දුවගෙන ආපු අපි දිහා බැලුවා.
දවස් දෙකකට පස්සේ ඈ පොලිතින් උරේකින් ගෙදර ඇවිල්ල ඉක්මනටම සොහොනට ගියා!
සමහරු කිව්වා ඒ වැදූ ගෙයි සන්නියට එහෙම කර ගත් බව. සමහරු කිව්වා මහත්තයගේ වෙනස් කම් ළපටි හිතට උහුල ගන්න බැරුව කියල.
කොහොම වෙතත් ඉතා මූලික ප්රශ්නයකටවත් මානසික උපදෙස් ගන්න අවස්ථාව නැති වුන, වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැති විවාහයක හිර වුන පණ පිටින් පිච්චුන මර්ලිනාට මළා ට පස්සෙ වළලනවද පුච්චනවද කියල ප්රශ්නයක් නැති වෙන්නැති .
ඉතින් පොඩි උන් “ පින්ක් ඇන්ඩ් බ්ලූ , අයි ලව් යු “ කියල සෙල්ලම් කරන කොට මට මතක් වෙන්නෙ මර්ලිනාව !
වසන්තිණි
කීදා අක්කගේ ලොකු දුව වසන්තිණි හුරුබුහුටි, කඩිසර , ඉස්කෝලේ වැඩට දක්ෂ කෙල්ල. ඈ නිතර අඳින දේදුණු පාට සාය ඇඳලා ඒක විසිරෙන්න මිදුලෙ කැරකෙනව අපේ ගෙදරට පේනවා.
තාත්තගේ රස්සාව කඩේක අත් උදව් දෙන එක. ළමයි හතර පහ වෙන කොට ආදායම මදි නිසා කීදා අක්කා මැද පෙරදිග ගියා. ගෙදරට සල්ලි එනකොට මනුස්සය රස්සාව අතෑරියා. වසන්තිණි ඉස්කෝලේ ගමන අත්හැරිය, නංගිලා මල්ලිලට , තාත්තට උයන්න පිහන්න, ගෙදර වැඩ වලට.
කීදා අක්කා තුන් පාරක් රට ගිහින් හම්බ කර ගත්තු සල්ලි වලින් ඉඩමක් අරං බ්ලොක් ගල් වලින් පොඩි ගෙයක් හැදුවා. කීදා අක්කට දැන් වයස නිසා ඊ ළඟ පාර මැද පෙරදිග ගියේ වසන්තිණි.
පොඩි කාලේ ඉඳන් අම්මගේ තාත්තගේ වැඩි හුරතලයක් නොවිඳපු කෙල්ල මැද පෙරදිගදි ලංකාවෙන්ම ගිය තවත් විවාහක රියදුරෙක්ගේ ආදරේ උණුහුම හෙව්වා. ඊට පස්සේ යන්තම් බඩ පේන්න ගත්තාම පඩිත් නැතුව ලංකාවට ආවා.
කීදා අක්කා ළමයට දොස් කිව්වේ නෑ. ළමයයි , ළමයගේ ළමයයි දෙන්නවම බාර ගත්තා. කන්න බොන්න හොයන්න වසන්තිණි අහළ පහළ ගෙවල් වල බැලමෙහෙවර කම් කරන්න ගත්තා.
ජිවිත කාලෙම අනුන්ගේ ගෙවල් වල ලිප ගිනි මොලවන ඔවුන්ට ගින්දර සැර දැනෙන්නේ නැතුව ඇති.
ඉතින් ඉඳ හිටලා දේදුන්නක් පායල තියෙනව දැක්කම මට වසන්තිණි දේදුණු පාට සාය ඇඳලා මිදුලෙ කැරකෙනව මතක් වෙනවා.
මේ හැබෑ කතා අමතක වෙන්න මම මාලිගාවල ජීවත් වෙන රාජ කුමාරයන්ගේ කුමාරිකාවන්ගේ කතා බලනවා. දිව්ය ලෝකේ ඉන්න සුරංගනාවියන් ගේ කතා කියවනවා !!
උපුටා ගැනීම: Razana Gaffoor

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!