අසේල දැන්නම් අවුරුදු 20 පමණ හිරිමල් තරුණයෙකි .ජීවිකාව සඳහා හේ කුමක් හෝ රැකියාවක් කරනු ඇතැයි මා සිතුවද ඇත්තටම ඔහු දැන් කුමක් කරනවා දැයි මම නොදනිමි. ඔහු මට මුලින්ම මුණ ගැහෙන්නේ 2012 දිය.ඒ මා උපාධි ගුරු පත්වීමක් ලබා මුලින්ම සේවයට ගිය පාසැලේ දී ය. එකල අසේල ඉගෙනුම ලැබුවේ හයවන ශ්‍රේණියේ ය.නමුත් ඔහු හයවන ශ්‍රේණියේ දරුවෙකුට වඩා අවුරුදු තුනක් පමණ වයසින් වැඩි අයකු බව මට මතකය .
ඔහු අඩදබර නොකරන නමුත් දඟ කම් වලින් නම් අඩුවක් තිබුනෙ නැත.ඒ දඟකම් අතින් පයින් නොව කටින්ය.පාසැල් වියේදී වැරදිලාවත් කිසිදු ක්‍රීඩාවකට සහභාගී නොවූ මට පත්වීම ලබා පැමිණි පසු මුලින්ම ඉගැන්වීමට ලැබුණේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයයි.පැමිණි මුල් දිනම අසේලගේ පන්තියට එම විෂය ඉගැන්වීමට සිදුවිණි . එදිනට නියමිතව තිබුණේ ආහාර හා පෝෂණය පාඩම බැවින් එහි සටහනක් දීමට සිදුවිණි .එම සටහන කියවන විට පන්තියේ හතළිහෙන් තිහක් පමණ ම සිටියේ කිසිවක් නො ලියා උඩබලාගෙනය. ඔවුන් කිව්වේ
“ටීචර් බෝඩ් එකේ දාන්න”
උපාධි පත්වීමක් ලබා සති දෙකක පමණ මුලික දේශන පුහුණුවකින් පසු කෙළින්ම පන්තියට පැමිණි ගුරුවරයෙකු වු මට එයින් කියැවුණු දේ තේරුම් ගැනීමට විනාඩි කිහිපයක් ගත විය. ඒසේ කියු ළමුන් අතරින් එක් අයකු වන්නේ අසේල යි. පන්තියේ බොහෝ ළමුන්ට මෙන්ම ඔහුට ද 6 වන ශ්‍රේණියට පැමිණියත් “අම්මා” වැනි අකුරු තුනෙහි වචන මිස ඊට වැඩි යමක් ලිවීමට නොහැකිය.ඔහුගේ හැකියාව ඇත්තේ චිත්‍ර ඇඳීමට ය. එය වැටහුනේ මා දෙවන දින පන්තියට යන විට ය. එදින මා පංතියට යනවිට කළුලෑල්ලේ පාට හුණුවලින් සාරියක් ඇදි කාන්තාවකගේ රුවක් ඇදි ඇත.ගෙල වටා පාට පාටින් ඇඳි මුතු පොටකි. ළමුන් සියලු දෙනා සීරුවෙන් ය. මා කළු ලැල්ල දෙස බැලූ විට පොඩි කසුකුසුව කි .
“මේ කවුද ?” මම ළමුන්ගෙන් විමසුවෙමි. “ටීචර් ඔය ඔයා ..”
“හ්ම්” කියා පිළිතුරු දුන් මම
“කවුද දැන් මේක ඇන්දේ?”යැයි ඇසුවෙමි .
මුළු පන්තියේම එකම හිනා හඬකි.
ඒ අතරින් එක් ගැහැනු දරුවෙකු කෑගසා “ටීචර් ඔය අසේලගේ වැඩ..”
ආයෙත් ඊට වඩා හිනා හඩකි. මා ගුරු මේසය උඩ තිබූ වේවැලෙන් මේසයට තට්ටු කළේ ඔවුන්ගේ සිනහා හඬින් අනිත් පන්ති වලට ඇතිවන බාධාව වැළැක්වීමටය.
“අසේල ඉස්සරහට එන්න ” ඒ මාගේ අණය.
වටපිට බලා ඩෙස්ක් එක යටින් රිංගා ඔහු ඉදිරියට ආවේය.
“මේ කාවද ඇඳලා තියෙන්නෙ?” මම ඔහුගෙන් ඇසුවෙමි.
“ටීචර් අපේ පන්තියට අලුත් නේ ,පිලිගැනීමේ ගීතයක් කියන්න බැරි නිසා චිත්‍රයක් ඇන්දේ ..”
“දැන් හරිනෙ … මම ඉද ගන්නම් ටීචර් “
“පිළිගැනීමක් කරාමත් ගහන්ඩ වගෙනේ බලන්නේ..” ඔහු එසේ කියා මාගේ අවසරයක් නැතිව නැවත අසුන කරා ගමන් ඇරඹීය .
“අපරාදේ බං ඇන්ඳේ මහන්සි වෙලා ..
දන්නවනං නිකං ඉන්නවා” ඔහු යාලුවන්ට කියයි.
ඒ අවස්ථාවේ මා ඔහු අගය කොට කතා කොට අවවාදයක් දුන්නා මතකයි.
තව දිනක් සෞඛ්‍ය විෂයට අදාළව මම අභ්‍යාසයක් කරගෙන එන ලෙස අසේලගේ පන්තියේ ළමුන් දැනුවත් කළෙමි.
එසැනින් නැගී සිටී අසේල,
“ටීචර් කියවන්න තේරෙන්නෑ …අකුරු බෑ කියලා ටීච දන්නවනේ…තිළි, කාති අපි සෙට් එකටම බෑ.. ඒක නිසා අපි කට්ටියව මේකෙන් නිදහස් කරන්න “
“අකුරු බැරි අයට මම කියලා තියෙනවා නේ.. පොතේ ඒක ඡේදයක් දවසකට ලියාගෙන එන්න කියලා.. එතකොට අකුරු පුරුදු වෙනවා.. ගෙදර ඉන්න කාගෙන්හරි අහගන්න.. හයියෙන් කියවන ගමන් ලියන්න” මා පිළිතුරු දුනි.
ඔහු කතාවක් නැතුවම ඉඳගත්තේය. ඊට පසු දින මා පන්තියට ගොස් ගෙදරින් ලියාගෙන ආ ඡේදය පිළිබඳ විමසූ විට, ඔහුගේ ප්‍රතිචාරය මා විමතියට පත් කළේය.
“මං අකුරු දෙක තුනක් ලිවුවා ටීචර්.. අයියෝ කම්මැලියි පොඩ්ඩක් හිතන්න.. අපි ගැනත් ..
මේ! මම ටීචර්ව ඇන්දා..බනින්න එපා මොකක් හරි වැඩක් කලානේ..අර මොකුත්ම කරලා නැති එක්කෙනෙක් අල්ලගන්ඩ” කියා ඔහු ඇදි චිත්‍රය මට දික් කළේය. සටහන් පොතේ ඇඳ ඇත්තේ සාරියක් ඇදි කාන්තාවකි. ඔහු කියන පරිදි ඒ මම ය. පොත් මිටියක් අතේය.චිත්රයෙ පසකින් රෝස මලකි.
මේ 6 ශ්‍රේණියේ දරුවාගේ පොත පිටිපස හරවා බැලීමි.
පිටුපස කොළ පුරා ඇත්තේ හදවත් පසාරු කරගෙන යන ඊතල, රෝස මල් ආදියයි. ඒ නාගරික දරිද්‍රතාවයෙන් පෙළෙන පරිසරයක් තුළ ජීවත්වන ඔහුට පරිශීලනය කරන්නට ලැබෙන චිත්‍රය ..දරුවා අත වරදක් නැත. ඒ ඔහු ජීවත්වන වටපිටාවයි.
පාසැලට පැමිණ සති දෙක තුනක් ගෙවෙද්දී, නාම ලේඛනය ලකුණු කරන විට මා එක් සුවිශේෂ තාවයක් දුටුවෙමි. අසේල ඇතුළු දරුවන් කීපදෙනෙක් දින දෙකක් පාසලට ආවොත් ඉතිරි දින තුනක් පමණ පාසලට නොපැමිණෙයි. නැවත යාලුවන් අත පණිවිඩ යැවූ විට නැවත පාසලට පැමිණෙති.ඒ සඳහා දරුවන්ගෙන් හේතු විමසූ විට ඔවුනොවුන්ට සුවිශේෂ වූ හේතූන් ඔවුන් ගෙන හැර දැක්වූ යේය.ඒ සඳහා අසේල දැක්වූ හේතුව වූයේ ඒ දින කිහිපයේම ඔහුට කෑමට ලැබුණේ දිනකට එක් වරුවක් නිසා ඇඟට අමාරු බැවින් පාසලට පැමිණීමට නොහැකි බවයි. නමුත් ඔහු පාසැල් පැමිනෙන විට ඉතා පිරිසිඳුව ඇඳ ,බාටා සෙරෙප්පු දෙකක් දමා පැමිණේ . එසේම ඔහු පැමිණෙන්නේ ඇඟළුම් කම්හලක සේවය කරන තම අක්කාගේ සුවඳ විලවුන් ද ඇඟලාගෙන ය. ඒ නිසා පාසලට පැමිණ ඇත්නම් පන්තියට අඩිය තියද්දී ම එය දැනගත හැකිය.
මා පත්වීම ලබා ගියේ ජුනි මාසයේ බැවින් මසක් ගිය ඉක්බිතිව , දෙවන වාර විභාගය ජූලි මාසයේදී ඇරඹිණි.වාර විභාගය අතරතුර ද ඔහුගේ කටකාරකම් නම් අඩුවක් නොවේ. ඔවුන් බොහෝ දෙනෙකුට කියවීමට නොහැකි බැවින් විභාග වේලාවෙන් භාගයකට වඩා ඔවුන් සිටින්නේ පන්තියේ වහලයේ උළු ගණන් කරමිණි. ඒ අතරතුර කඩදාසි රොකට් එකක් දෙකක් හිටි ගමන් ඩෙස්ක් යටින් ගමන් කරන විට ගුරුවරුන්ගේ තරවටු ලැබෙන අවස්ථා ද නැතුවා නොවේ. එවැනි තරවටු ඔවුන්ට හොඳට හුරුය . ඇත්තටම වහලයේ උළු ගනිනවා මිස විභාගයේදී ඔවුන්ට වෙන කිසිවක් කරන්නට නැත. කොච්චර කියවීමට අකුරු ලිවීමට උගැන්වීමට උත්සාහ කර ත් ඔවුන් පවසනුයේ ඔවුන්ට නොහැකි බවයි.ඔවුන්ට ඉගැනීමට අවශ්‍යතාවයක් ද නැත.
රැකියාවක් කිරීමට අකුරු ඉගෙන ගන්න යැයි මා දිනක් පැවසූ විට , අසේල එයට නියම පිළිතුරක් ලබාදුනි.
“ටීචර් මේසන් වැඩට උදව් වෙන්න යන අකුරුඕනා නෑ..මෙච්චර මහන්සි වෙලා අකුරෙ ඉගෙන ගන්ඩ ඕන්නෑ …
දවසට දෙදහයි… ටීචර්
ඇතිනේ …උදේට දවල්ට රෑට කාලා පෝන් කාඩ් එකක් දාගන්න…
අකුරු ඕන්නෑ ටීචර් ..ඔයාගේ වෙලාව අපරාදේ..”
ඒ ඔහුගේ පමණක් නොව ඒ පාසැලේ සමහර දරුවන්ගේ ආකල්පය යි.එම ආකල්පය වෙනස් කිරීමට විදුහල්පතිතුමා ප්රමුඛආචාර්ය මණ්ඩලය ගත් අප්‍රතිහත උත්සාහය මා දෑසින් දුටිමි. එයට කොටස්කාරයෙක් වන්නට මට ද අවස්ථාවක් ටික කලකට හෝ ලැබිම මා ලද භාග්‍යයක් කොට සලකමි .
වාර විභාගය අතරතුර එක් දිනක් අසේල මා ළඟට ප්‍රශ්න පත්‍රය අතරතුර කාලයේ පැමිණ,
“ටීචර් මේකට උත්තරය ටිකක් කියන්නකො” කියා ප්‍රශ්නයක් පෙන්විය.
“දැන් විභාග නේ.. උත්තර කියලා දෙන්න.. පුළුවන් වෙලාවක් නෙමේ.. විභාගයෙන් පස්සේ එන්න . මම උත්තරේ කියලා දෙන්නම්” මම කීවෙමි .
“විභාගයෙන් පස්සේ උත්තර වැඩක් නෑ ටීචර්” ඒ අසේලගේ පිළිතුර යි.
එය නාගරික පරිසරයක් වූ බැවින් සති අන්තයේ සහ පාසල් අවසාන වූ පසු ඉතා ඉහළ දරිද්‍රතාවය කින් යුත් දරුවන් මුහුදු වෙරළට එන සංචාරකයින් සමග කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කොට කෑමට යමක් ඉල්ලාගනියි.පාසැලෙන් සංචාරකයින් සමග මුහුදු වෙරළට යාම අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් ලෙස ඔවුන් දැනුවත් කර ඇති නිසා පන්තියේ එක් අයෙකු හෝ ඒ සිදුකළහොත් අනිත් දරුවන් උදෙන්ම පැමිණ ඒ පිළිබඳව මා දැනුවත් කරයි. එවිට චෝදනාවට ලක් වූ පාර්ශවයද ,එය ගුරුතුමියට කියු දරුවන්ගේ එවැනි වු යාම් ඒම් ගැනද විස්තරයක් සපයන බැවින් සියලු දෙනා පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ගුරුවරියට ලැබේ.
ඒ අතර අසේලගේ මවද විදෙස්ගත වූ බැවින් ඔහුගේ පාසල් ගමන නතර විය. මේ අතර කාලයෙහි මා පාසැල් ඇරි බස් නැවතුමට යන විට විදුලි වේගයෙන් යන මෝටර් සයිකලයක අසේල නැග යනු කීප විටක් දැක ඇත.
එක් දිනක් මා මග බලා හිද සයිකලය නවත්වා අසේල ගෙන් ප්‍රශ්න කෙරු වෙමි. ඉතින් ඇත්තටම ඔහු දවස් දෙකකින් කිසිවක් කා නැත . ගෙවල් ළඟ අයියා කෙනෙක්ගේ තනියට ඔහු බයිසිකලයට නැඟ පැමිණෙයි.ඒ අයියා පාසල ඇරෙන වෙලාවට නංගිලාට වැඩ පෙන්වීමට දඬුමොණරය ක නැඟ එහා මෙහා යන අයෙකි ..එදින මා අසේල නවත්වා ඇසූයේ බෝඩිමකට යාමට ඔහු කැමැති ද යන්නයි.
මා පුදුම කරවමින් ඔහුගේ පිළිතුර වූයේ
” ඔව්” යන්නයි. මා ඔහුට මාගේ දුරකථන අංකය පුංචි කොලයක ලියා දුනිමි.
“අම්මට මේ නම්බරේට වයිබර් කෝල් එකක් ගන්න කියන්න.” මම කීවෙමි . එදිනම
ඔහුගේ අම්මා මට කතා කර පැවසුවේ, ඔහුව කිසියම් හෝ තැනකට ඇතුළත් කර දෙන ලෙසයි. පාසල පිහිටි ප්‍රදේශයේ සිට කිලෝමීටර 20ක පමණ දුරින් මෙවැනි සාක්ෂරතා නොමැති පිරිමි දරුවන්ට විශේෂ ක්‍රමවේදයකට අනුව උගන්වා වයසට සරිලන දැනුම දුන් පසු ඔවුන්ව පාසැල් සඳහා යොමුකරන ආයතනයක් වෙත ඔහු යොමු කිරීමට මා දන්නා යෙහෙළියක මාර්ගයෙන් ඉඩකඩ සලසා ගත්තේමි.ඇයද එහි ගුරුවරියකි. සියල්ල සූදානම් වූ පසු , මා දිනක් පාසලෙන් නිවාඩුදා එම ආයතනය වෙත යාමට ඔහුත් කැටුව බසයකට ගොඩ වීමි. එය ග්‍රාමීය ප්‍රදේශයක් හරහා කොළඹට දිවෙන බස් රථයකි.වෙලාව හරියටම උදෑසන 8:30 යි.මාගේ නැන්දාත් එදින වරු නිවාඩුවක් ගෙන ඇති නිසා රැකියාවට පිටත් වීමට එම බස් රථයට ගොඩවිය.ඇය මා දැක පුදුමයට පත් වී ,
“ඇයි දුව අද ඉස්කෝලේ ගියේ නැද්ද ? මෙහෙ මොකද ?” යැයි විමසීය.
“නෑ ඇන්ටි ඉස්කෝලේ ගියේ නෑ . මේ අසේල ..අපේ ඉස්කෝලෙ ළමයෙක් ..මං මේ බොස්කෝ එකට එක්කන් යනවා “
මගේ නැන්දා කුඩා අසේල දෙස බලා ඉතා සුහදශීලීව ආදරණීය හිනාවක් ඔහුට පුද කළාය. නමුත් අසේල සිනහ නොවී මුහුණෙන් කිසිම හැඟීමක් නොපෙන්වා සිටි නිසා මා ඔහුට කිව්වේ
“අසේල මෙ මගේ නැන්දා ” කියාය.
එවිට අසේලගේ ක්ෂණික පිළිතුර වූයේ
” ඉතිං මට මොකද ? “යනුයි.
ඔහු එසේ කියා , එසැනින් බස් රථයේ ජනේලයෙන් පිටත බලා ගත්තේය.
එකවිටම මාගේ නැන්දාට හයියෙන් සිනහ නැගුණ ද ඇය එය සිරකරගත්තේ බස් රථයේ වන නිසා බව මම දනිමි.
මට දිය හැකි උත්තරයක් නැති බැවින් හෙමිහිට බිම බලා ගත්තද නිරායාසයෙන්ම මට අවට බැලූනේ අප සිටි ආසනය අසල තව කිහිප දෙනෙක් ද අසුන් ගෙන සිටි නිසාය. ඔවුන්ද සිනහව තදකරගෙන බස්රථයෙන් එපිට බලාගෙන සිටිනු මම දුටිමි.
ඔහු එම ආයතනයට බාර දුන් පසු එහි ගුරුවරියක් වන මාගේ යෙහෙලිය ගෙන් දැන ගන්නට ලැබුණේ ඔහු ඉතා කීකරු හා විනීත දරුවෙක් ලෙස අධ්‍යාපන කටයුතු සිදුකරන බවයි. නිවාඩු ලද බොහෝ අවස්ථාවල ඔවුන්ගේ මව විදේශයේ සිට පැමිණෙන තෙක්ම මා ඔහුව බලන්නට ගියෙමි. ඉන් අවුරුද්දකට පමණ පසු අදාල කුසලතා මට්ටමට ළඟා වූ හෙයින් නැවත පාසැලකට ඇසේලව අනුගත කර තිබිණි .
උපුටා ගැනීම: Rasheema Thilini