ඒ කාලේ මගේ ලෝකේ හිටියේ නිම්මි බබා. එයා මං ලඟට එන්නේ බ්රහස්පතින්දට. ඉතින් එක බ්රහස්පතින්දාවක් ගෙවිලා ඊළඟ බ්රහස්පතින්දාව එනකම් මට ඉවසිල්ලක් නෑ . එන හැම දවසකම එයා මට අළුත් කතාවක් කියනවා. ගොතපු කතා නෙමෙයි ඒවා. එයාට ඇත්තටම වුනු දේවල් , එයා කරපු දේවල් තමයි මට කියන්නේ.
දැන් අවුරුදු විසි ගානක් ගෙවුනත් එයා කියපු සමහර දේවල් මට අදටත් මතකයි. ඒ මොකද මං ඒ කියපු සමහර දේවල් ගෙදරදි කරලා තියෙනවා.
දවසක් නිම්මි මට කිව්වා එයා එයාගෙ අම්මා එක්ක පපඩම් බත් කාපු හැටි. සම්පූර්ණ පපඩමක් පිම්බෙන්න බැදලා ඒ පිම්බුන පපඩමේ එක තැනකින් චූටියට හිලක් හදාගෙන ඒක ඇතුලට වෑංජන එක්ක අනපු බත් දාගෙන කන්නයි තියෙන්නේ. හරියට පපඩම් කට්ලට් වගේ.
නිම්මි ඕක කියපු දවසේ ඉඳන් මට ඒ විදියට කනකම් ඉවසිල්ලක් නෑ. ඒත් අපේ ගෙදර අම්මා හැමවෙලේම පපඩම් බදින්නේ හීනියට තීරු කපලා විතරයි. එක දවසක් ආවා , එදා අම්මා ඩියුටි , තාත්තා නිවාඩු . ඉතින් තාත්තාට කාරණාව කියලා තාත්තා එක්කම වැඩේට බැස්සා.
ආසාවෙන් හදන්න පටන් ගත්තට මොකද , නිම්මි කිව්වා වගේ එක පපඩමක්වත් ලස්සනට පිම්බිලා ආවෙ නෑ. මේ වෙද්දී එක පපඩම් පැකට් එකක් ඉවරයි. මට දැන් මාර විදියට අවුල්. අන්තිමට මං තාත්තට කිව්වා දැන් ඇති කියලා. හැබැයි තාත්තානම් වැඩේ අත අරින පාටක් නෑ. ගෙදර තිබ්බ අන්තිම පපඩම් පැකට් එකත් ගත්තා. අවසානෙට ඒකෙන් හිතට හරියන විදියේ පපඩම් තුනක් විතර හදාගන්න පුළුවන් වුනා.
ඊටපස්සේ දෙන්නත් එක්ක නිම්මි කිව්වා වගේ පපඩම් බත් කට්ලට් කාලා ඉතිරි පපඩම් ටිකටත් වැඩේ දුන්නා.
අන්තිමටම තාත්තා , අම්මා ඕෆ් වෙලා එන්න කලින් කඩෙන් පපඩම් පැකට් දෙකකුත් ගෙනත් තියලා මුකුත් නොවුනා වගේ හිටියා.
අදටත් සමහර දවස් වලට මං නිම්මි බබා කියලා දුන්න පපඩම් බත් කට්ලට් එක කනවා අතීත මතක රස විඳිමින්.
පසුවදන – මේක කියවන ඔයාලත් පොඩි කාලෙ නිම්මි බබා එක්ක හිටියනම් කතාවෙ මුල හරියෙදිම දැන ගන්න ඇති කවුද මේ නිම්මි බබා කියලා. බින්දු පත්තරේ නිම්මි බබා, විජය පත්තරේ සුරංගි අක්කා, මල් මාමා කියන්නේ පුංචි කාලේ අපේ ලෝකේ යාළුවෝ. කවුරුහරි ලඟ නිම්මි බබාගේ කතා තිබ්බ පත්තර පිටු තාමත් තියේනම් මටත් එවන්න.
උපුටා ගැනීම: බුද්ධි ජයවීර