මම එංගලන්තයට යන්න වීසා ඉල්ලුම් පත්තරේ දාන්න කලින් මට හෙන ප්රස්නයක් වෙනව. මගේ පාස්පෝට් එකේ නම ඉංග්රීසියෙන් ලියලා තියෙන විදියෙයි, උප්පැන්න සහතිකයෙ සහ අධ්යාපන සහතික වල නම ඉංග්රීසියෙන් ලියවිලා තියන අකුරු එකිනෙකට වෙනස් විදියට. ඒක ලෝක ලෙඩක් නිසා මට ලැබුණ උපදෙස් තමයි බත්තරමුල්ලේ ඉසුරුපායෙන් අධ්යාපන සහතික ටික පාස්පොට් එකේ නමට වෙනස් කරගන්න කියන එක.
උදේම ඉසුරුපායට ගියා. ඒ සර්විස් එක ආයේ සුපිරියි. දවස් තුනක් යද්දි සහතික ටික වෙනස් කරලා අතට ලැබුණා. ඊලඟට විදේශ අමාත්යාංශයේ සීල් එක ගහ්න්න. ඒ කාලේ ඒක තිබ්බේ කොටුවේ කාර්ගිල්ස් බිල්ඩිමට අල්ලපු එකේ. දැන් නම් පිට්ටු බම්බුව ඉස්සරහා සෙලින්කෝ ටවර් එකේ. ඒකත් හරි. දැන් ඒ කතාව ඉවරයි. ඊලඟට ගෙදර ඇවිල්ලා බැලුවම ජලා හුටා මලා කිව්වලු, මගේ උප්පැන්න සහතිකේ වාසගම කෑලී දෙකයි, තාත්තා ගේ එකේ ඒ කෑලි දෙක තුනකට කඩලා ලියලා. පාස්පෝට් එකේ එක කෑලි දෙක හමාරයි. අද්යාපන සහතික වල ඒවත් කෑලි දෙක හමාරයි. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනලා ගොනාගේ අයිතිකාරයා ගේ ගෑණිත් ඇන්න වගේ සීන් එක. කාපන්කො පුස්නාම්බු කිව්වම ඒකට දිවුරුම් ප්රකාශයක් ඉංග්රීසියෙන් හදලා ඉදිරිපත් කරන්නය කියලා උපදෙසත් ලැබුණා.
තාත්තායි මායි උදේට ටවුමට ගිහින් ටවුමේ හිටිය ලොකුම පෙරකදෝරු මහත්තයෙක් ගේ ඔෆීසියට ගොඩ උනා. උන්නැහේ බාගෙට ඔලුව උස්සලා ආයෙමත් ටෙලිපෝන් එකෙන් කතාව.
“බෑ බෑ ඒකට ප්රොක්සියක් දාන්න බෑ ..”. එහෙම කියලා එයා අපි දිහා නොබලාම මේසේ උඩ තිබ්බ පොතට ඔලුව ඔබා ගත්තා. එතනම අල්ලපු මේසෙ ටයිප් ගහන ගෑණු ලමයා අපි දෙන්නා දිහා බලලා ආයෙමත් ලෝයර් මහත්තයා ට කතා කලා.
“සර්…මේ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා “
ඒ පාර එතුමා හරි බරි ගැහිලා කැරකෙන පුටුවේ හාන්සි වෙලා.. එහෙම
” මොකද උදේම ලෙඩක් පටල ගත්තද ?”
“නෑ සර් මේ ළමයගේ දිවුරුම් ප්රකාශයක් අස්සන් කරගන්න “
“ආ…හ්.. මොකක් ගැනද ?”
“සර් මේ උප්පැන්නේ තියන නමයි, පාස්පොට් එකේ තියන නමයි අධ්යාපන සහතික වල තියන නමයි එක්ක් කියලා දිවුරුම් ප්රකාශයක් ගන්න ඕන ඒකට.”
“ආ…පුලුවන්. තවුසන්ඩ් ෆයිව් හන්ඩ්රඩ් චාජ් කරනවා”
” කමක් නෑ සර්.”
අපි සේරම විස්තර ටික ලෝයර් මහත්තයා ට දුන්න. එයා එකින් එක බලලා අපි එක්ක බොහොම සුහඳව කතාව.
“මේකේ මේ ප්රශ්නේ තියෙන්නෙ ඉංග්ලිශ් වලින් ලියද්දි. එහෙම නේද ? ඕක මේ ලංකාවේ ගොඩ දෙනෙක් ට තියන ප්රශ්නයක් “
අපිත් හූ මිටි තියනවා. එතුමා කතා කරනවා.
” තුෂානි අපි අර ගිය සතියේ ඇෆඩිවිට් එකක් කලෙ… අන්න ඒක ඕපන් කරලා මේ ටික දාලා හදලා ගන්න…”
ඊලඟට අපි දිහාවට හැරිලා
” පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න… විනාඩි දහයක් යයි..”
අපි වාඩිවෙන්න යද්දිම එතුම තවත් ප්රශ්නයක් ඇහුවා…
” දැන් මල්ලි කොරියන් එක්සෑම් එක පාස් ද? ට්රේනින් ගියාද?”
ඒ ප්රශ්නෙට උත්තර දුන්නේ තාත්තා
” නෑ සර් පුතා යන්නේ කොරියාවට නෙමෙයි, මාස්ටර් උපාධියකට එංගලන්තයට “
අන්න ඒ වෙලාවේ ඒ ලෝයර් මහත්තයා ගේ වෙස් පෙරලුණා.
” ආ… එහෙමද… බෑ බෑ එහෙම නම් මට කීයටවත් මේ ඇෆඩිවිට් එක සයින් කරන්න බෑ. තමුසෙලා මොකෙක් හරි ලෝක පජාත හොරෙක්ට අහුවෙලා එංගලන්තයේ යන්න කියලා හීනමාළිගා හදාගෙන..මවාගෙන හීන ලෝකවල ජීවත් වෙලා . සල්ලි ටිකකට ඇර ගත්තට පස්සේ ,ඊලඟට තමුසෙලා අපි ලඟටත් එන්නේ රෙද්ද උස්සගෙන , බෑ බෑ කීයටවත්ම කරන්නේ නෑ… තුෂානි ඔය ටික මෙන්න මෙයාලට් දීලා එලියට යවනවා…එංගලන්තේ බම්බුව”
මේ ඒ වචන ටිකම. අවුරුදු ගාණකට පස්සෙත් ඒ විදියටම මතකයි මට.
එතුමා පරල උනා. වහේ කියවගෙන ගියා. අපිට හරි පුදුමයි, කොරියාවට යන්න කියලා හිතාගෙන බොහොම සුහදව කතා කල මනුස්සයා එංගලන්තයට කීවම වෙනස් වෙච්ච හැටි ගැන.
ඒ මහත්තයා ලඟටම යමු කියලා කිව්වෙ තාත්තා. තාත්තා ට එහෙම කියන්න හේතුවක් තිබුණා.
” පොඩි තැනකින් ඉගනගෙන ආපු මනුස්සයෙක් නේ… ඒ නිසා සතුටු වෙලා කරලා දෙයි “
අන්තිමේ අපි ෆයිල් එකත් කිහිල්ලේ ගහන් එලියට බැස්සා. ඊට කඩකාමර තුන හතරකට එහා පැත්තේ තිබුණ තවත් ලෝයර් කෙනෙක්ගේ පුංචි ඔෆිස් එකට අපි ගියා. සැහෙන තරුණ කෙනෙක්.
“මොකද අංකල් ?”
කෙලින්ම තාත්තා ගෙන් එහෙම ඇහුවා. තාත්තා විස්තරේ කිව්වා.
මේ ඒ මනුස්සයගේ කටින් පිටවුණ වචන ටික
” අම්මටසිරි මරුනේ මල්ලි. කෝ ගන්න. බලමු”
ඒ ටික බලන ගමන් ඒ මහත්තයා ප්රශ්න අහනවා
“මල්ලිට ඔෆර් එක ආවද? මොකද්ද ෆීල්ඩ් එක ? ලන්ඩන් ද බහින්නේ ?”
මාත් සේරටම උත්තර දෙනවා. අන්තිමට සේරම හදලා දීලා එතුමා මට සුබ පතනවා.
” ගිහිල්ලා එහේම ඉන්න බලපං මේක අස්සට නං ආයේ එන්න එපා… “
“තව මොනවා හරි ඕන උනොත් මල්ලි ඕන වෙලාවක එන්න. ගෙදරට උනත් කමක් නෑ “
අපි ඔහුට ස්තූතියි කියලා බොහොම බැගෑපත්ව අහනවා
“සර් මේකට ගාස්තුව ?”
” සල්ලි …. පිස්සුද අංකල් …අපි මේවට උදව් කරන්න ඕන … ඔය සල්ලි වලින් මූට තව ඇඳුමක් අරන් දෙන්න “
එදා අපි පුදුම සංතෝසෙන් ආපහු එනවා. නොසෑහෙන ඒ තරුණ නීතිවේදියා ගේ ගුණ වර්ණනා කෙරෙනවා. මං ඊට ටික දවසකට පස්සෙ එංගලන්තයට එනවා. ඒ ඇවිල්ලා අවුරුදු තුනකට පස්සෙ ආපහු පලවෙනි වතාවට මං ලංකාවට එනව.
ඇවිල්ලා දෙවනි දවසේ උදේ මං ඒ ලෝයර් මහත්තයා ගේ ඔෆිස් එකට යනවා. එතන ඒ ඔෆිස් එක වෙනුවට ෆොටෝ කොපි ප්රින්ට් අවුට් ගන්න පුලුවන් පොඩි කොමියුනිකේෂන් එකක් දාල. මං සලකුණු ඔස්සේ මං ගෙදරට හොයාගෙන යනවා.
” මහත්තයා ඉන්නවද ?”
ගෙදර කවුරුත් නැතුව වගේ වහලා දාලා, බලාගන්න ඉන්න මනුස්සයා වෙන්න ඕන මාව දැකලා ගේට්ටුව ලඟට එනවා.
” මහත්තයා දැන් ලංකාවේ නෑනේ “
“ආ.රට ගිහිල්ලද කොහේද ? ලඟදිද ගියේ ?”
පස්සෙ විස්තර හොයලා බැලුවම , ඒ තරුණ නීතිවේදියා ඊට ටික කලකට පෙර යුරෝපීය රටක ලාංකීක තානාපති කාරියාලයක නිලධාරියකු විදියට තමන්ගේ බිරිඳ එක්කම
සේවයට වාර්තා කරලා. මං ඔහුගේ මුහුණු පොතෙන් ඔහුට පණිවුඩයක් තබනවා අතීත කතාව එක්කම.
ඒ මැසෙජ් එක දාලා සෑහෙන කාලෙකට පස්සෙ ඔහුගෙන් පිලිතුරක් එනව.
” මට මීටර් නෑ බං ඒ සීන් එක. මොනවා උනත් උඹ හොඳින් නේ…එහෙනං එච්චරයි….”
අපි සමහර වෙලාවට මිනිස්සු ගැන හිතාගෙන ඉන්න විදිය ඊට හාත්පසින්ම වෙනස් කියලා අපිට පසක් වෙන්නෙ බොහොම සුලු සිදුවීම් වලින්. ඒ වගේම ඉපදිලා මැරිලා යන අවුරුදු පණහට මොකටද ඊරිසියාව කුහක කම ක්රෝධය වෛරය කියලා ඇත්තටම හිතල බැලුවම…
ඒකෙ ඇති බක්කක් නෑ මිත්රවරුනි
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්රේමසිරි