නව වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ විය. මාසයකට කිට්ටු කාලයක් නිවසේ ගතකර පැමිණි අප මුලින්ම සොයනු ලැබුවේ අපගේ අලුත් වාසස්ථානය කොතැනක පිහිටියේද යන්නය.
පුස්තකාලය අසළ වූ විශාල දැන්වීම් පුවරුවේ පංතිය පිහිටි ස්ථානය , පංතියේ නම , පංතිභාර ගුරුතුමිය සහ එම පංතියේ සිසුවියන්ගේ නම් සදහන් කර තිබුණි. නවය බී පංතියෙන් අප මාරුවෙන්නේ දහය බී පංතියට බව දැන සිටියෙමු. නව පංතියටද පැරණි පංතියේ සිසුවියෝම ඇතුළත් වෙති. දහය බී කොහේ දැයි සොයමින් මා දැන්වීම් පුවරුවේ දෑස් එහා මෙහා යවමින් වෙහෙසවද්දී කාගේදෝ සීතල දෑතකින් මගේ දෑස් වැසී ගියේය.
අනිවාර්යයෙන්ම මේ මේකලාය නැත්තම් නයනාවිය. මම වැරදමා දෑත් පහළට කර පිටිපස හැරුනෙමි.
මේකලාත් නයනාවිත් සිනාසෙමින් මාවෙත පැන ගෙල බදාගත්තෝය.
” හැපී නිව් ඉයර් සෞමී”
“,විෂ් යූ ද සේම් “
” ආයිස් අප්පා මෙයා උස ගිහින් කොණ්ඩෙ දික්වෙලා ලස්සන වෙලා”
” ඔයාලා දෙන්නත් එහෙමයි”
” මේ කවුද අපේ ක්ලාස් ටීචර්. පොඩ්ඩක් බැලුවද. “
” බැලුවා එයා නම් හොඳයි. සුජාතා සේනානායක මිස්. ඒත් පොඩි අවුලක් සෙක්ෂනල් හෙඩ් වෙනස් කරලා “
“” කාවද අලුතෙන් දාලා තියෙන්නෙ ” මේකලාත් නයනාවිත් ඇසුවේ එකවරය
” ඔබේත් මගේත් ආදරණීය ප්රියාදර දයාදර , ලයාදර ….” මගේ කතාවෙන් නොඉවසිලිමත් වූ නයනාවි මා පැත්තක ඇද දැමුවාය.
” කෝ බලන්න කවුද කියලා ඔයා පැත්තකට වෙන්න ” කියමින් දැන්වීම් පුවරුවට එබුණාය.
නයනාවි ආපසු අප වෙත නොහැරී දැන්වීම් පුවරුව දෙසම බලා සිටිනු දුටු මේකලා
” නයෝ කවුද හෙඩ්” කියා ඇසුවාය.
” මයි කන්ග්රජුලේෂන්ස් මයි ඩියර් මේකලා ඔයා වෙනුවෙන්මයි මේ අත්හදා බැලීම කරන්න ඇත්තෙ කියලමයි මට හිතෙන්නෙ”
” කියනවකො කවුද?”
” රූපමාලී කවිරත්න”
” විනාසයි. මගේ සාංසාරික කර්මය දහයේ පංතියේදීත් හමුවෙන්න මං කළ පින ” කියමින් මේකලා හිනාවෙද්දී අපිද ඇයට එක් වුනෙමු.
” මේඒඒඒ පංතිය කොයි බිල්ඩින් එකේද”
” සමුද්රදේවි එකේ තුන් වෙනි තට්ටුවෙ”
” නියමයි. කැන්ටිම අත ළඟ, පිට්ටනිය පාළඟ, වැසිකිළිය දොර ළඟ හා හා හා “
“,ඇයි ඔෆිස් එක පාර මාරුවෙන තැන “
“ඉස්සෙල්ල පංතියට යමු. හොඳ පුටුවක් මේසයක් හොයන් තැනක් අල්ලගමු. “
අපි පංතියට ගියෙමු. ඈත තියාම 10 B අපට දර්ශනය විය. එය විශාල කාමරයක් විය. කලින් පංතිවල නොතිබූ අංග දෙකක් මෙහි විය. පංතියට දොරක් සහ බැල්කනියක් විය.
පංතියේ අපේ යෙහෙළියෝ සෑහෙන දෙනෙක් ඒ වනවිටත් පැමිණ සිටියහ.
” අප්පා ඔය ආවෙ තුන්පත් රෑන, රජතුන් කට්ටුව “
” අන්න සඳළුතලේකුත් තියනවා “
” රාජ සභාවට කියාපු තැන නැද්ද ආ”
” මං නම් කැමතිම දොරක් තියන එකට. එතකොට මේක අපේ වගෙ . ආ නැද්ද”
” ඔව් ඔව් එකපාරටම දොර ඇරන් රූපවතී එනකම් ” පංතියම සිනාසෙයි. රූපමාලී ඒ තරමටම අපගේ හදවත් දිනාගත් ගුරුතුමියකි.
සීනුව නාද වෙයි. උදෑසන රැස්වීමට පහළට යායුතුය. අපි දෙපේලියකට සැදී ප්රධාන ශාලාව බලා ගියෙමු. මග දිගට හමුවන අනෙකුත් පංතිවල මිතුරියන් හට කතා කරමින් විසුළු කරමින් ගමන් ගත්තෙමු. නව වසරේ පළමු දින නිසා ගුරුවරු, ශිෂ්ය නායිකාවන් අපගේ ව්නය හදන්නට එතරම් උත්සහ කලේ නැත.
නියෝජ්ය විදුහල්පතිනිය රැස්වීම ආරම්භ කළාය.
” අපගේ නව විදුහල්පතිතුමිය වන ශාන්තා රත්නායක මැතිනිය ඔබ දැන් අමතනවා ඇත”
” ඒයි ප්රින්සිපලුත් ගිහිං නේ.” මේකලා කොඳුරයි
” කෑ නොගහා ඉන්න . ඉස්සෙල්ලම අලුත් කෙනාගෙන් පනිෂ් වෙලා වාර්තා නොතියා “
” ආදර දරුවෙනි, මම මේ ව්ද්යාලයේ රාජකාරි බොහොම සතුටින් බාරගත්තේ “
” ආපු හැමෝම කිව්වෙ ඔහොම තමා , හයිස්කූල් දෙන්නම් කිව්වම පැදුර දන්නෙත් නෑ ගිහින්”
” මේ ඉන්න අනේ මට හිනා ගියොත් දෙන්නම ගුටි කනව පළවෙනි දවසෙම “
” ඔබේ පාසල දීර්ඝ ඉතිහාසයක් තිබෙන කීර්තිමත් පාසලක්. අපි හැමෝම මහන්සි වෙලා වැඩ කලොත් මීට වඩා කීර්තියක් පාසලට ගෙන ආ හැකියි. අධ්යාපනය, ක්රීඩා, සෞන්දර්ය, එකසේ දියුණු කරනවා වගේම මනා විනයක් ඇති දැරියන් මේ විදුහලෙන් බිහිකිරීම මගේ අභිලාෂයයි”
” අපි නැතිවෙන්නයි යන්නේ මනා විනයක් ගේන්න තමා එහෙනම් රූපවතී අපිට එව්වේ. සෞමී මං කලන්තේ දානවා මාව අල්ලගන්න හරිද?”
” පිස්සු අනේ මේකලා එපා .”
මං වැටෙනවා අල්ලා ගනියෝ”
මේකලා ඇද වැටුණාය. මම කෙතරම් බය බිරාන්ත වූයේද යත් මං ඇයව අල්ලා ගත්තේ නැත.දඩාස් ගා ඇය වැටෙද්දී අප වටා සිටි ළමෝ කළබල වූහ. වහාම ශිෂ්ය නායිකාවෝ පැමිණ මේකලා වට කර ගත්හ.
” ඔය දරුවව ඔතනින් ගෙනියන්න ” විදුහල්පතිතුමිය නියෝග කළාය. ශිෂ්ය නායිකාවෝ මේකලා ඔසවාගෙන ශාලාවෙන් පිටතට ගෙන ගියහ. නයනාවි මට කිට්ටු විය.
” ඇත්තට නෙවෙයි නේද?”
මා හිස වැනිය යුත්තේ පහළටද දෙපසටද යන්න සිහියක් නොවීය. මං හැම අතටම හිස වැනුවාය.
” ඔහොම වනන්න එපා ඊ ගාවට ඔයාටත් යන්න වෙයි “
අපි රැස්වීම අවසන්ව පංතියට ගියෙමු. මේකලා රැගෙන ගිය පසු විදුහල්පතිතුමිය කී කිසිවක් අපට නෑසුනි.
පංතියම මේකලාට වූයේ කුමක්දැයි සිතමින් ළතැවූහ. මද වේලාවකින් ශිෂ්යනායිකාවන් දෙදෙනෙකුට මැදිවී මළානික මුහුණින් මේකලා පංතියට පැමිණියාය.
” අමාරු නම් කියන්න නංගී. කොහෙවත් යන්න එපා ඉන්ටවල් එකට එන්නම්” කියමින් ශිෂ්ය නායක අක්කලා දෙදෙනා පිටව ගියහ.
මේකලා හිස ඩෙස්කුවේ රඳවාගෙන සිටියාය. ඇය ඇත්තටම අසනීප වී ඇති බව පෙනේ. මේකලා අසළට වී ඇගේ හිස අතගාමින් සිටි චින්තා එක්වරම පැමිණ දොර වසා දැමුවායා.
” බණිස් ගෙඩියයි කෙසෙල් ගෙඩියයි කිරි තේ එකයි රඟපෑමට. ඉන්ටවල් එකට ඉතුරු ටික ඒවි. “
කියමින් සිටගත් මේකලා දෑත් මදක් ඔසවා ඉදිරියට දිගුකර ඉඟ නළවා පෑ නර්තනය දැක අප සිහිසන් නොවුනා පමණි.දහය වසර නවය වසරට වඩා මාරාන්තික එකක් වනු නොඅනුමානය.
මේකලා වැඩ ඇරඹා ඇත.
උපුටා ගැනීම: Esharma Kariyakarawana