රේල් ගේට්ටුවකින් අවසන් වුනු ප්‍රේම කතාවක්…… (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මා මොනරාගල දුෂ්කර සේවයේ කතා වලින් පිට පැනල කතාවක් ලියන්න හිතුව. වෙනසකටත් එක්ක.
මේ කතාව පෙම් කතාවක්. බොහොම ඉස්සර අපි O/L කරන කාලෙ සිද්ධියක්.
ඒ කාලෙ පෙම් කතා අද ඒව වගේ නෙමෙයි. ප්රේමය කවදත් එක වගේ වුනාට කතා කාලෙන් කාලෙට වෙනස්නෙ. ඒ කාලෙ ජයලත්ල , සපුතන්ත්රීල වගේ අයගෙ යොවුන් පෙම් කතා කියවල කොල්ලො කෙල්ලො ඔලුව විකාර කරන් හිටපු කාලයක්නෙ. ඒ නිසා ඕන කෙනෙක් හිතුවෙ හැමදාටම ඉඟුරු කේක් කන්න හම්බ වෙයි කියල. ඒත් පාන් පෝලිම් වලත් ඉන්න වෙන බව ඒ වයසට දැනෙන්නෙ නැහැ.
මා ගමේ පාසලෙන් නගරෙ පාසලකට ගියා. යන්නෙ මුහුදුබඩ දුම්රියෙන්.
අපි දුම්රියෙන් යන කොට රේල්පාර අයිනෙ දකුණු පැත්තෙ පොල් රුප්පාවක් මැද්දෙ ලොකු වලව් ටයිප් ගෙයක් පේනව. පාසල් යන වයසෙ පියකරු තරුණ ගෑනු ළමයි තුන් දෙනෙක් ඒ නිවසෙ ඉන්නවා. අපි ඔවුන් පේන්න හිටියොත් දුම්රියේ සිට අත් වනනවා. ඔවුනුත් ඊට ප්රතිචාර දක්වනවා.
මේ නිවස අයිති සුප්රකට වාසගමක් තියෙන විදුහල්පති මහත්තයෙකුට. අර කිව්ව ගෑනු ළමයි තුන් දෙනාගෙන් එක් කෙනෙක් නුවර. එයාගෙ පියා එවකට සංගීතයෙන් පරතෙරට ගිය ඒ අංශයේම උසස් රැකියාවක් කළ කෙනෙක්. ඒ ළමය මේ නැවතිල පාසල් යන්නෙ ලොකු තාත්තගෙ ගෙදර ඉඳන්.
නුවරින් ආපු මෙයා නුවර තාලෙටම හරියන පුංචි මැණිකෙ කෙනෙක්. තැඹිලි ගෙඩිය වගේ ලස්සනයි. කොල්ලො පස්සෙන් ලුහුබඳින්නෙ ඇඹලයො ටික වගේ. අපේ පාසලට එහා පාසලේ තමයි මේ සෙට් එක ඉගෙන ගන්නෙ.
මට ඉහල පන්තියෙ යාළුවෙක් හිටිය. එයා ගියෙත් මේ දුම්රියෙන්මයි. ප්රේම තරගෙන් අවසානෙට දිනුවෙ එයා. මිනිහට තිබුනෙ හුරුබුහුටි සිරුරක් හා අහිංසක පෙනුමක්. එතකොට මිනිහ සා.පෙල පන්තියෙ. කෙල්ල ඊට පහල පන්තියක. ඒ වගේ සුකුමාර කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තරම් කොල්ල කොහොම හරි දක්ෂ වුනා.
කාලෙකට පස්සෙ ගෑනු ළමයගෙ ගෙදරට ලියුම් අහුවෙල. කෙල්ල හොඳටම බැනුම් අහල. ලොකු තාත්ත බයේ කෙල්ලව පාසල් යවන්නෙත් නැතිව ඉඳල සතියක්ම. පස්සෙ ආයි කෙල්ල ඉස්කෝලෙ යන්න පටන් ගත්ත. ඒත් ලොකු තාත්ත හිටියෙ මේ ලමය ගැන වග කියන්න වෙයි කියල බයෙන්.
කෙල්ල කොල්ලට කියල තියෙනව කොයි වේලෙ හරි එයාව පාසලෙන් අස් කරල නුවර යවයි කියල. දැන් අපේ මිත්රය අප්සට් ගහල.
ඒත් මිනිහ වෙන අය වගේ ලේසියෙන් අකුල ගන්න කෙනෙක් නෙමෙයි. තනි ඔලුවෙන් වැඩ කරන්නෙ. යාළුවන්ටවත් කිසි දෙයක් කියන ජාතියෙ කෙනෙක් නෙමෙයි . මිනිහ කසාද බඳින්න ප්ලෑනක් ගහල ඒක කෙල්ලට යවල. කෙල්ලත් කැමති වෙල.
සැලැස්මෙ හැටියට කෙල්ල පාසල් යන විදියට බෑගයත් අරන් සුදු ඇඳුමෙන් කළුතර යනව. කොල්ලට ඇඳුමෙ ප්රශ්නයක් නැහැ . ඒ කාලෙ පාට කලිසම් හා සුදු කමිසෙ. පිරිමි අයට යුනිෆෝම් නැහැ.
ඔන්න දෙන්න කළුතර ටවුම දිගේ ඇවිදගෙන ගිහින් රෙදි සාප්පු ගානෙ . කෙල්ලට පාට ඇඳුමක් අරන් දුන්නලු. ෆිටෝන් බලන්න සාප්පුවෙදි ඇඳල එහෙමම සුදු ගවුම බෑග් එකට දාගත්තලු.
දැන් ආයි ටවුමට ඇවිත් ටැක්සි කාරයෙකුට කිව්වලු අපි කසාද බඳින්න යන්නෙ. උදව්වක් විදියට විවාහ ලේකම් කෙනෙක් ලඟට එක්ක යන්න කියල. ටැක්සි කාරයත් පවු කියල හිතිලද කොහෙද මුන් දෙන්නව එක්කන් ගියාලු කටුකුරුන්දෙ අඳුරන රෙජිස්ට්රාර් කෙනෙක් ලඟට.
එතනදි වෙලා තියෙන්නෙ දේවාලෙ ඔලුව උඩට කඩා වැටිල්ලක්. මුන් දෙන්න දිහා හොඳට බලන් හිටපු ලේකම් කෙල්ලගෙන් ඇහුවලු ඔය ළමය දැන් ටිකකට කලින් පාසල් ඇඳුමෙන් කළුතර ටවුමෙ හිටිය නේද කියල. දැන් කට උත්තර නැති වෙච්ච ගොබිලො වගේ වුනා කියහන්කො මුන්දෙන්නා. විවාහ ලේකම් එයාගෙ දුව පාසලට ඇරලල එනවිට කළුතර ටවුමෙ පාසල් යුනිෆෝම් එකෙන් කොල්ලෙක් එක්ක හිටපු මේ කෙල්ලව මීටර් වෙලා හොඳටම.
ඒ පාර මුන් දෙන්නට නීති අනුසාරයෙන් හොඳ දේසනාවක් හෙම තියල පාසල් සිසුන් විවාහ කළොත් එයාටත් මහ උළු ගෙදර තපින්න යන්න වෙන බවත් කිව්වලු. පාසල් ගිහින් ඉවර වුනාම වැඩේ කරල දෙන්නම් එතෙක් දෙයියන්ගෙ පිහිටෙන් මගෙ පුතාල ගෙදර යන්න කියලත් කිව්වලු. මේ දෙන්නව මතක ඇතිව බස් එකට දාල බස් එක පිටත් වෙනකම්ම ඉන්න කියල ටැක්සි කාරයටත් කිව්වලු.
ඔන්න අපේ යාළුව කසාද බැන්ද හැටි අපූරුයිනෙ. අනේ මුන් ආයි අර ශොප් එකටම ගිහින් ඇඳුම් මාරු කරගෙන ටැක්සි කාරයගෙ අධීක්ෂණය යටතෙ බස් එකෙන් දෙයියනේ කියල ගෙදර ආවලු. කිසි කෙනෙක් දන් නැහැ මේගොල්ලන්ට වුන සන්තෑසිය.
හිතන්නෙ කතාව එතනින් ක්ලෝස් කියලද. නැහැ. තාම ඉවර නැහැ. ඊ ලඟ චැප්ටරේ ඊට වඩා රසවත්.
ප්රේම සම්බන්ධය නැවතිල නැහැ කියල දැනගත්තට පස්සෙ දැන් කෙල්ලගෙ ගෙදරින් හොඳටම කචල්. ඊ ලඟ වාරයේ ළමයට නුවර පාසලකට යන්න වෙන බව ෂුවර්. දැන් අපේ ගෑනු ළමය ඉන්නෙ ඇඬූ කඳුලින්. කොල්ලට මොනව හරි කරන්නම වෙනව.
අපේ එඩිතර වීර ප්රේමවන්තයා ආයි ඔලුවෙන්ම ගේමක් ප්ලෑන් කළා. පුන් සඳ බැස යන්න කලින් අහසට හොරෙන් හඳ හොරකම් කරන්න තනියෙන් සැලැස්මක් ගැහුව. ඒක එයාම ක්රියාත්මක කළා.
කෙල්ලට ප්ලෑනෙ විස්තර ගිරවියෙක් අතේ යැව්වා. අඳුනන කාර් කාරයෙක් වැඩේට හවුල් කර ගත්ත. නියමිත දිනයේ නියමිත හෝරාවට වලව්ව ලඟ කාරෙකක් හෝන් එක තුන් පාරක් ගැහුව. කෙල්ලෙක් ගෙදරට ඇඳි ගවුම පිටින් රේල් පාරට උඩින් එක පිම්මේ දුවන් ඇවිත් කාරෙකට කඩා වැදුන. කාරෙක පිටත් වුනා.
මේ කියන තැන සිට මීටර් දෙසීයක්වත් යන්න පෙර රේල් පාරයි මහ පාරයි පැත්ත මාරු කර ගන්නව. ඒ කියන්නෙ ගාලුපාරෙ සුප්රසිද්ධ රේල් ගේට්ටුව.
දැන් කෙල්ල දුවගෙන ගිහින් කාරෙකට නගිනව දැක්ක ගෙදර අය ගමටම කෑ ගහල සේනාවක්ම කාරෙක පස්සෙන් එලවනව.
නොකෙරෙනා මගුල කියන්නෙ අර ඉලව් රේල් ගේට්ටුව ඒ වෙලාවෙම වැහුනනෙ. කාරෙක ගේට්ටුව ලඟ හිර වුනා. දුම්රියක් අධි වේගෙන් කොලඹ යනව. අපේ ජෝඩුවගෙ පපු ගැහෙනව දුම්රියටත් වඩා සද්දෙන්. කොරේ පිටට මරේ කිව්වලුනෙ.
අර හඹාගෙන ආපු ආලවක බලකාය කාරෙකේ දොර ඇරල කෙල්ලව ඇදගෙන ගියා. අපේ යාළුව ගුටි නොකා බේරිල තියෙන්නෙ අඳුනන කීප දෙනෙක් ඒ අතර හිටි නිසා.
කෙල්ල නුවර ගියා. ප්රේමයට අවසානම තිත වැටුනා. කොල්ල දිගටම පාසල් ආව. පස්සෙ මේ අහිංසක , එඩිතර පෙම්වතා උසස් පෙල විභාගෙ ගන්න ඔන්න මෙන්න තියා තරඟ විභාගයක් පාස් වෙල රජයේ රැකියාවකට ගියා. ඉන් පසු මේ අය ගැන ආරංචියක්වත් නැහැ.
…………………….නිමි………………………….
උපුටා ගැනීම: Jayakumara Ranchagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!