කෑමෙ හැටි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම කසාද බඳින්න මනමාලයා බලන්න එන දවසට වඩා කිලෝ විසි පහක් ආරලා තිබ්බා දරුවා ලැබිලා අවුරුද්දක් ගිය තැන. දැන්නම් ඒ පරතරය කිලෝ දහයකට අඩු කරගෙන තියෙන්නෙ. මටත් අනේ දෙයියන්ගේ පිහිටයි ඇස්වහක් කටවහක් නෑ හොඳට කන්න පුලුවන්.
එයයි මායි කැමතියි කියාගත්තට පස්සේ සතියට දෙවතාවක් විතර මුණ ගැහුනා. මුලින් මුලින් හම්බ වෙන්න එන හැමදාටම එයා මට රෝස මල් පොකුරක් අරන් එන්න පුරුද්දක් කරගෙන හිටියා. දවසක් දෙකක් ඕක හරිම රොමෑන්ටික් වුනාට ටික දවසක් යද්දි මට එපා උනා. හැමදාම රතු හරි සුදු රතු මිශ්ර වුන රෝස මල් විතරයි. එක්කෝ වෙන වෙන මල් ජාති දෙන්න ඕනෙ. රොමෑන්ටික් ගතිය වැඩි වෙන්න තමයි එයා රෝසම විතරක් දීලා තියෙන්නෙ. අපරාදෙ සල්ලි. විශේෂ අවස්ථාවකදි නම් කමක් නෑ. ඉතින් එයාගෙ හිත නොරිදෙන්න හීන් සීරුවෙන් මම රෝස මල්වලට යන සල්ලිත් කන්න වියදම් කරන තැනට සීරු මාරු කරගත්තා.
කොහොමත් හවසට වැඩ ඇරුණාම අපි මුණගැහුණේ කන තැනක තමයි. එයාත් තේරුම් ගත්තා මට භෝජන සංග්රහ කලාම තමයි රෝස මල් දුන්නට වඩා සතුටු වෙන්නෙ කියලා. හැබැයි එයා මට වසී වෙලා හිටිය හැටියට එයාගෙ ඔළුවට ගියෙ නෑ කන කෑමෙ හැටියට ළඟදිම ඉඟසුඟ ගතහැක මිටින කියන්න බැරි වෙන බව.
දෙන්නටම කන්න කියලා විසාල පීසා එකක් ගත්තම එයා එක කෑල්ලක් කද්දි මම ඉතුරු හතම කාලා, හානේ ඔයාට නෑ නේද කියලා තව මීඩියම් එකකුත් ගෙන්නගෙන ඒකෙනුත් එක කෑල්ලක් එයාට දීලා ඉතුරු ටික මම කනවා. මගෙ හක්ක තත්පරේට එකසිය ගානට උඩ පහළ යන්නේ කන්නයි කියවන්නයි. ඔය වැඩ දෙකම මට එකවිට සියුම්ව මනබඳිනා සුලු ලෙස කරන්න පුලුවන්. එයා ඔය මුලු වෙලාවෙම අර තනි පීසා කෑල්ල ලොව ලොව වසී වෙලා වගේ මගෙ දිහා හූම් හූම් කිය කිය බලන් ඉන්නෙ පැණි දෝරේ ගලන මූණකුත් දාගෙන. දැන් නම් මට වඩා වේගෙන් බස බස ගාලා සවලට දෙකට ගිලින එයාට ඒ කාලෙ මොනවා උනාද මන්දා.
වත්තල හඩු කඩේ ආප්ප කන්න ගියාමත් එහෙමයි. මගෙ වදේටමයි එයා ඒ සුපිරිසිදු ස්ථානයට කන්න ගියේ. එතනට වැඩි හරියක් ආවේ බස්වල රියැදුරු සහ කොන්දොස්තර මහත්වරු. කෙල්ලෙකුට හිටියේ මම විතරයි. බිත්තර ආප්ප තුනක් එක්ක ප්ලේන් ආප්ප අටක් දහයකුත් කාලා ඉඟුරු ප්ලේන්ටියකුත් බීලා පත්තර කොළ කෑල්ලකින් අත කට පිහදාන මං දිහා එතන ඉන්න අනිත් අය ඇස් ලොකූ කරන් බලන් ඉන්නවා. ඉතින් මට ලැජ්ජද. අනේ නෑ මොකට ලැජ්ජා වෙනවද කන්න බොන්න. මගේ එයාට ලැජ්ජා හිතුනද දන්නෙනෑ. වෙලාවක අහලා බලන්න ඕනෙ.
මාසෙකට සැරයක් දෙසැරයක් කොච්චිකඩේ පල්ලි ගිහින් එළියට එන්නේ සී ස්ට්රීට් එකේ සූර්යාස් එකෙන් පත දාර තෝසෙ කන්න බලාගෙන. එතනටත් දවසේ ආදායම එක වේලකින් හම්බු කරලා දීලා පිනකුත් ඉස්ට කරලා තමයි එළියට බහින්නේ.
මම පෙරේත දිස්ටිය වැටුන එකී වගේ කාගෙන කාගෙන යන හැම වෙලේම එයා හිටියේ කොහේදෝ සුරංගනා ලෝකෙක නිසා මගේ ආහාර අනුභවයේ ආදීනව එයාට දැනුනෙ නෑ. මම හිටපු විදියට කවදාවත් මහත්වෙයි කියලා හිතන්නත් නැතුව ඇති. වෙන ගෑණු ළමයි වෙඩිමට කියලා නොකා නොබී හූල්ල හූල්ල ඉද්දි මම හැසිරුනේ ඔන්න ඔහොමයි. වෙඩින් එක කිට්ටු වෙද්දි හිටියට වඩා කිලෝ පහ හයක් වැඩි වුනත් කැත නැතුව ඉන්න පුලුවන් උනා මම අඩි පහයි අඟල් අටක් උස නිසා.
මගේ මේ ආහාර අනුභවය ගැන එයාගෙ දෑස් විවර වුනේ අපි බැන්දට පස්සෙ මාස කීපෙකින් ගිය පළවෙනි ඔෆිස් ට්රිප් එකේදි. හනිමූන් ගිහින් කාපු එක ගැනවත් එයාට ගාණක් ගිහින් තිබුනෙ නෑ.
අපි ගියේ කණ්ඩලම හෝටලේට. ඒකෙ කෑම මට ඇතිකරපු බලපෑම ගැන කණ්ඩලම ගිය කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ආහාර අනුභවය, ගණුදෙනු කිරීම සහ වැඩ ඇල්ලීමේ නැකතින් දෙයියනේ කියලා මම මගේ වැඩ පටන් ගත්තා.
ඒක වුනේ උදේ කෑමකදී. එයා මොන මොනවදෝ ජාති දෙක තුනක් කාලා, කෝපි එකකුත් බීලා විනාඩි තිහ හතලිහකින් විතර වැඩේ ඉවර කලා. මම පටන් ගත්තා එක කෙළවරකින්. බටහිර, මැද පෙරදිග, ඉන්දියානු, චීන, ශ්රී ලාංකීය ඔය හැම එකෙන්ම කෑවා. කොළ කැඳ එකෙන් පටන් අරන් ටෝස්ට්, වොෆල්ස්, ආප්ප, ඉඳි ආප්ප, තෝසෙ, කිරිබත් පවා කෑවා. ගෙදර හදන කිරිබත් වලට වඩා වෙනස්ද දන්නෙ නෑනෙ. කාලම බලන්න එපැයි. අනික මගේ ඔෆිස් එකෙන් මේවට කී දාහක් ගෙවලා ඇතිද. ඔය ඉස්සර කාලේ රජ ගොල්ලත් කෑවෙ ඔහොමලුනේ. ඉතින් රජා එහෙම කද්දි බිසව නිකන් හිටියා කියලා හිතන්න පුලුවන්ද.
හත් අවුරුද්දක නොනගතයකට කාන්තාරෙක අතරමංවෙලා හිටි සෝමාලියන්කාරියක් වගේ පැය දෙකක් දෙක හමාරක් විතර ගිලලා ඉවර වෙලා එයාගෙ මූණ බලනකොට තමයි මට අවබෝධ වුනේ එයාට පරම සත්යය වැටහිලා තියෙන්නෙ ඒ වෙලාවෙ තමයි කියලා. එයාගෙ මූණෙ භීතිය, ත්රාසය, ප්රචණ්ඩත්ව, අහිංසක-අසරණකම, මේ හැමදෙයක්ම මිශ්රවුන බැල්මක් තමයි තිබ්බේ. අර සුරංගනා ලෝකෙ තිබ්බ පැණි මූණ කොහෙන් ගියාද නෑ.
“ඇයි අනේ ඔයා ඔහොම බලන් ඉන්නේ…”
කවදාවත් දැකපු නැති එයාගෙ මූණෙ ඉරියව්ව දැකලා මම ඇහුවා.
“නෑ මම මේ කල්පනා කලේ බඳින්න කලින් මට මාමණ්ඩිගෙන් කුඹුරු කෑල්ලක්වත් ඉල්ලගන්න බැරි උනානේ කියලා”
ඒක අහළ පහළ කීප දෙනෙකුටත් ඇහුණා. ඒ වුනාට මට ලැජ්ජද. අනේ නෑ. මම මගේ ආහාර අනුභවයේ ශෛලිය වෙනස් කලේ නම් නෑ. එහෙව් උනන්දුවකින් කැපවීමකින් තමයි අද මේ තැනට ආවේ.
 උපුටා ගැනීම:    – නිල්මි ගුණවර්ධන –
සේයාරුව අන්තර්ජාලයෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!