“කොහෙන්ද මේකා…?”
“කවුද ගෙනැල්ලා දාලා..”
“අහිංසක සත්තු ගෙනැල්ලා දාන උන්ට හෙන ගහනවා..”
“අපෝ මළජරාව.. කවුද මේක කරේ.. මේ ගෙදර පුලුවන්ද බළල්ලු හදන්න…”
උදෑසන මා අවදි වන විට කුස්සිය පැත්තේ මහා වචන සංග්රාමයකි.
අම්මා කෑ ගසන්නේ ව්යාඝ්රයෙකු දුටුවා සේය.
මම සිදු වී ඇති දේ ඇස් දෙක වහගෙනම තේරුම් ගත්තෙමි.
බළලා මල්ලෙන් එලියට පැන ඇත.
පාරේ අසරණව සිටි පූසා සියල්ලටම හොරෙන් මං ගෙදරට ගෙනාවේ ඌව දහසක් පොරොන්දු වලට එකග කරගෙනය.
දින 3ක්ම මහත් ආයාසයක් දරා රහසේම කන්න බොන්න දීගෙන දර මඩුවේ පෙට්ටියක සගවා තබාගෙන සිටි මේ නැහැදිච්ච පූසා ඒ සියල්ල අමතක කර දමා මාව සොයාගෙන කුස්සියට පැමිණ ඇත.
මුල්ම දවසේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටි මේ පූසා එන්න එන්නම අමුතු ගති පෙන්වන්න ගත් නිසා මම ඌව බලන්නට දරමඩුවට යන වාර ගණන අඩු කලේය.
ඒනම් මේකා මම දුටු සැනින්ම කෑ ගසන්නටත් පෙට්ටියෙන් එලියට පනින්නටත් වූ නිසාය.
පූසාගේ කෑ ගැසීම ඇසුණා නම් ඒ පූසා අපේ ගෙදර ඉන්න අවසාන දවස වන බව මම නිසැකයෙන්ම දන්නා නිසාය.
එනම් මගේ තාත්තා බළල් විරෝධියෙකි. බල්ලන්ට තරමක් හෝ කැමැත්තක් දැක්වූ තාත්තාට බළලුන්ව පෙනුනේ මහා ජරා සත්තු ජාතියක් වශයෙනි.
මම එහි සම්පූර්ණ අනිත් පැත්තය. මා හා බළලුන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි.
ඉතින් දැන් සියල්ල සිදු වී හමාරය. පූසා කොහේ හෝ ගිහින් දැමීම තාත්තාගේ ඒකායන අරමුණ සහ අදහස විය.
අම්මා ඊට විරුද්ධ නොවූයේ එය තේරුමක් නැති වැඩක් බව ඈ දන්නා නිසා විය යුතුය.
දෙන දෙයක් කාල දරමඩුවට වෙලා ඉන්නේ නැතිව කුස්සියට ආ නිසා මටද පූසා කෙරේ ඇති වූයේ කෝපයකි.
ඒ ටික සිතනවාත් සමග වහාම තාත්තා ක්රියාත්මක විය.
කුස්සියේ දොරකඩ ඉදගෙන මා දිහා අසරණ ලීලාවෙන් බලා සිටි පූසා වෙතට තාත්තා පැන්නේ ඩිස්ප්රින් වේගයෙන් ය.
නමුත් පූසා අණ්ඩපාලයෙකි. තාත්තා පැනපු පැනිල්ලටත් වඩා වේගයෙන් පූසා කුස්සියේ මේසය උඩට පැන්නේය.
එතනින් නොනැවතී මේසය මත තිබූ පැණි බෝතලයද පෙරළාගෙන එයද කුඩුපට්ටම් කරමින් කුස්සියේ පෝරණුව අස්සට රිංගුවේය.
තාත්තා සිතුවේ මූ අල්ලාගැනීමට පහසුම තැන එතැන බවය.
තාත්තා පෝරණුව යටට රිංගා පූසාව දෝත බදා අල්ලාගත්තේය.
පූසා මරහඩ තලමින් තාත්තාගේ අත හැපුවේය. වේදනාවෙන් කෑ ගසමින් පූසා අත හල තාත්තාගේ අතින් ලේ ගලන්නට විය.
වේදනාවත් කෝපයත් දෙකම නිසා තාත්තා වෙව්ලන්නට විය. අම්ම සහ මම බය වුනු තරම මෙහිලා වචනෙයෙක් සදහන් කල නොහැක.
තාත්තා රෝහල් ගත කලයුතු බවටත් පිටගැස්මට සහ ජලභීතිකාවට එන්නත් කල යුතු බවත් අම්මාගේ තීරණය විය.
තාත්තාගේ තුවාලය රෙදි පටියකින් ඔතාගෙන ඇද සිටි සරමට උඩින් කමිසයක් අන්දවාගෙන තාත්තාගේ මෝටර් බයිසිකලයෙන් රෝහලට ගෙන ගියාය.
තුවාලය බැලූ වෛද්යවරයා අම්මා ගත් තීරණයම ගෙන තිබුණේය. පිටගැස්මට සහ ජලභීතිකාවට එන්නත් කර තුවාලයට බෙහෙත් දැමීමට නියම කර ඇත.
තුවාලයට බෙහෙත් දැමීමෙන් පසු බෙහෙත් විදින අවස්ථාවේදී එළියෙ ඇදක එය කරනු දුටු විට තාත්තාට මහ දවල් තරු දහසක් පෙනී ඇත.
ඉන්පසු තාත්තා එතන සිටි ඇටෙන්ඩන්වරයාට තාත්තාගේ ගැටළුව පවසා ඇත.
“හරි මහත්තයා මම ඒක කරන්නම්… මම කතා කරනකන් එළියෙන් වාඩි වෙලා ඉන්න…” යැයි පවසා ඇත.
වැඩි සතුටට තාත්තා ඔහුට යම් උදව්වක්ද කර තිබේ.
එයින් සතුටට පත් වීම නිසාදෝ ඇටෙන්ඩන්වරයා වහාම ඇතුලේ තිබූ ස්ක්රීන් එකක් ඇදගෙනවිත් තාත්තාගේ වාරය පැමිණි විට ඇද වටා ස්ක්රීන් එක දමා ඇද වසා දමා සෙනඟ අතරේ සිටි තාත්තාව හදුනා ගැනීමට නොහැකිව…
“ඔය යට කලිසමක් ඇදලා නැති මහත්තයා එන්න…..” යනුවෙන් මහ හයියෙන් කෑ ගසා තිබේ.
තාත්තාට උන් හිටි තැන් අමතක කල මේ නවනිංගිරාව විද දරාගෙන තාත්තා කිසිවෙකුගේ මුහුණ නොබලාම ඇතුලට ගිය ආකාරයත් බෙහෙත් විඳගෙන බිම බලාගෙනම එලියට ආ ආකාරයත් අපේ අම්මා කියනවා ඇසුනේ තාත්තාගේ අක්කා වන අපේ ලොකු නැන්දා සමගය.
පූසා කල වින්නැහිය කෙතරම්ද යන්න.. ඔබම වටහා ගන්න නමුත් මේ වදකාර පූසා අවසානයේ අපේ ගෙදරටම සින්න වූ අතර මිය යන තුරුම මාගේ රහසිගතම සුරතලා විය නමුත් පූසා මිය යනතුරුම තාත්තා පූසා දිහා බැලුවේ නැත.
ප.ලි: මේ තාත්තා මගේ තාත්තා නොවේය. මෙය මා කුඩා කාලයේ කියවූ සත්ය සිද්ධියක් අලලා ලියූ කතාවක අන්තර්ගතය ඇසුරින් මා විසින් ගොතන ලද කතාවක් බව සලකන්න.
උපුටා ගැනීම: ප්රියංකා ගුණවර්ධන.