බෝගන්විලා පඳුරු වලට හෝස් එකෙන් වතුර විදින කොටම ඉස්සරහ ගෙදර ශේන් පුතා බයිසිකලයෙන් උඩහා පාරෙන් ගියා. හොඳටම විස්වාසයි ඔහුව තෙමුණු බව වතුර පාරට. වටයක් කැරකිලා ආයේමත් ශේන් පුතා තාප්පය හරියට ලන් වෙනකොට තාප්පෙන් ඉස්සිලා මම සමාව ගත්තා එයාව තෙමුව හින්දා.
ඔහුගේ උත්තරය වුනේ ” තෙමුනේ නැහැ ආන්ටී, මම ආසයි එහෙම වෙනවට” යි කියමින් ඔහු බයිසිකලය පැදගෙනම ගියා. ඒ ඔහු මගේ හිත සනසන්න කියූ හැටි තමයි.
වෙළාව හවස දෙක තුන වෙනකොට දොර ජැනෙල් ටික වහන්නේ ඉස්සරහ ගෙදර ශේන් පුතාගේ පාසැල් වෑන් රථය ඇවිත් කබල් නලාව පිඹින සද්දෙට මගේ මාස ගනනක් වියැති දුව හා අවුරුදු දෙකහමාරක් වියැති පුතු දවල් නින්දෙන් ගැස්සිලා නැගිටින නිසා.
කලින් ගමේ ඉස්කෝලෙ ඇරිලා මිනිත්තු පහෙන් ගෙදරට එන ශේන් පුතා දැන් කොළඹ ඉස්කෝලෙකට යනවා. උදේ හයටත් කළින් ගෙදරින් යන පුතා දැන් එන්නේ හවස තුනට. එයාගේ අම්මයි තාත්තයි වැඩට යන නිසා මේ එයා වෙනුවෙන්ම ආරක්ෂාවට පටන් ගත්තු පාසැල් වෑන් රථය.
එයාගෙයි නංගිගෙයි තනියට හිටියේ ඈතින් නෑවෙන නැන්දා කෙනෙක්. හවසට ශේන්, නංගි එක්ක එලියෙ සෙල්ලම් කරන්න එනවා ඇය සමඟ. අවුරුදු එකොලහක් වැනි දඟකාර වයසෙ වුනත් අපේ දෙන්නා එයාලට වඩා ගොඩක් පොඩි වුනත් මෙයාලගේ මට්ටමට ඇවිත් එකට සෙල්ලම් කරනවා.
දිනක් ඔහුගේ අම්මා හවස වැඩ ඇරී ඇවිත් නිළ රථයෙන් බසිනවිට ඔහු පැවසුවා නැන්දා ඔක්කොම වැඩ ඉවර කරාම තමයි අම්මා ගෙදර එන්නේ කියලා. ඒ ඔහු නැන්දාට තියෙන ආදරය පෙන්නූ හැටි.
ඔයවැනි නොපිහිටන සමහර ගතිගුණ නිසා මගේ හිතෙත් ආදරයක් ගොඩනැඟිලා තිබුනා ශේන් පුතා ගැන.
දවසක් ඉස්කෝලේ ඇරිලා වෑන් එකෙන් බහින කොට මම දැක්කා ශේන් පුතාගේ ඇහැ උඩින් පොක්කලමක් වගේ ගෙඩියක්. ” මේ විසප්පුවක් ආන්ටි” ඒ ඔහුගේ උත්තරය.
එදා හවස ඔහු හූ තියමින් අඩන ශබ්දයක් ඇසුනා. හරි පුදුමයි කිසිදිනක හයියෙන්වත් කතාකරන ශබ්දයක් වත් ඇහිලා නැති ගෙදරක ඒ සිදුවීම. ඔවුන්ගේ දෙමව්පියනුත් බොහොම නිශ්ශබ්ධ සාමකාමී ජීවිතයක් ගෙවන දෙපළක්.
හැමදාම වගේ ඊට පසු දින වලත් ඒ කබල් හෝන් හඬ ඇසුනා හවස තුන ලඟා වෙනකොට.
ටික දිනකින් පමණ ආරංචි වුණා ශේන් පුතා අසනීප බවත් පරීක්ෂණ සඳහා මහරගම අපේක්ෂා රෝහලේ නැවැත්වූ බව. සියල්ල සිදුවුනේ මාස දෙකක් ඇතුලත. පුංචි පුතා අවසන් ගමන් ගියා ඉක්මනින්ම අපි හැමෝම අඩවමින්. ඔහුගේ පෙනහළු ලියුකේමියාවක් ආක්රමනය කරලා. අන්තිම අවස්ථාවෙදී තමයි ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ තමයි ඇසට ඉහලින් මතුවූ පොක්කලම.
හැමෝගේම කඳුළු මැද අවසන් කටයුතු සිදුවුණා. පුතුගේ අම්මා දරාගත්තත් තාත්තා හැඩූ කඳුලින්. හත් දවස බණ දින ඇය සමඟ මා සමීපව කථා කළා. ඇය පැවසුවේ ජීවිතේ පළමු වර පුතුට තාත්තා දඩුවම් කළ බව, මාසයකට පෙර දිනක ජනෙල් වීදුරුවක් ගේ තුල බෝල ගසනකොට බින්ද නිසා. එදා ශේන් තාත්තා ගැසූ දුකට කෑ ගසමින් ඇඩූ බව. දිනක් හූ තියමින් ඇඩූ ශබ්ධය ඒ බව මට මතක් වුණා.
අවාසනාවක තරම ඒ සිදුවීමෙන් ටික දිනකදී සිදුවූ පුතුගේ සමුගැනීමත් සමඟ බෝල ගැසීමේදී වීදුරුව බිදුණු නිසා ගැසූ පහරට පුතු හැඩූ විදිය නොමැකෙන ලෙස ඒ තාත්තාගේ සිතේ ඇඳී තිබීම. වීදුරුව පසුදාම පිළිසකර කර තිබුණා කිසිත් නොවුණු ලෙසම.
පහුගිය දිනවල අමතක වී ගිය “මීපුප් ලදිමි පුත් නොලදිමි” කථාව දෙතුන් විටකදී නැවතත් කියවන්න ලැබුණු විට මට මේ පුතුගේ කථාව මතක් වුණා ජනේලයේ කැඩුණු වීදුරුවේ කථාවත් එක්ක.
අද ජීවතුන් අතර සිටියනම් අවුරුදු තිහ ඉක්මවපු කඩවසම් තරුණයෙක් ඔහු.
මගේ දුවයි පුතයි දැන් තරුණ වයසට පැමිණ රැකියාවලත් නියතු අය. දුවගේ සහ පුතාගේ පුංචි කාළේ උපන්දින සාද වල පින්තූර වල ඉන්න ශේන් පුතා දකිනකොට හිත හීල්ලෙනවා.
අදටත් හවස දෙක තුන වෙනකොට අහල පහළින් ඇසෙන පාසල් වෑන් රථ වල නලා හඬ සිත කම්පා කරනවා. ඒ මතකය කවදාවත් අමතක වෙන එකක් නැහැ.
උපුටා ගැනීම: නිලන්ති ජයවර්දන.