මම ජොබ් එකක් ඕන නිසාම ආමි එකට ආවේ අම්මලාගේ කැමත්ත ගැනවත් හිතන්නෙ නැතුව. ඒත් මෙහෙන් ලැබෙන පුහුණුව ඒ මොරාල් එක නිසාම දැන් මේක ජොබ් එකක්ම නෙමෙයි වගකීමක් වෙලා.මගේ රට කියන හැඟීම ශරීරයේ නහරක් නහරක් පාසාම දුවන්න පටන් ගත්තේ පුහුණුවේදී ලොක්කෙක් කරපු පළවෙනි කතාව අහපු වෙලාවෙමයි.
“පුතේ, ලබන මාසේ නිවාඩු කවද්ද කියපන්කො.නන්දෙ මාමගේ කෙළී බලන්න යන්න දිනයක් වෙන් කරගන්න”
ඉස්කෝලේ යන කාලේ තිබ්බ පුංචි පුංචි සම්බන්ධකම් ඔහේ නතර වෙලා ගියේ කාගෙවත් හිත් වලට නොදැනී.ටික ටික දැනුම් තේරුම් වයසට එද්දි ආදරේ කරනවට වඩා මට ඕන උනේ හොඳ ස්ථාවරයක් හදාගන්න.ඉතිං මං අනාගත සහකාරිය තෝරන වැඩෙත් අම්මලාටම භාර දීලා පැත්තකට උනේ ඒකයි.
“ඔයා ඇයි මං කියන දේවල් විතරක්ම අහන් ඉන්නෙ.ඔයාට කියන්න මොකුත් නැද්ද”
අම්මලා තෝරපු මගේ මනාලිට කැමති වෙලා ඊලඟ නිවාඩුවට අපි හම්බුණ පළවෙනි දවස.භාවනා.කෙල්ලගෙ නම.හම්බුණ වෙලාවේ ඉදන් කියවිල්ල.
“ගැහැණු හරි කැමතියි කියවන්න.උන් කැමති උන් කියවන ඒවා අහන් ඉන්න පිරිමින්ට.”
දවසක් තාත්තා මට කිව්වෙ අම්මගෙ පැය ගානක කතාවකට සවන් දීලා ඉවරවෙලා.ඔව් ඉතිං මට ඕන වුනේ සාමකාමී පවුල් පරිසරයක්.ඒකයි මමත් පුරුදු උනේ තාත්තා වගේ ඇහුම්කන් දෙන්න.
“අනේ මට හොදටම උණ බබා. ඔයාට නිවාඩු කවද්ද”
ආදරේදී ගැහැණු හරි බොළඳයි. ඇයටත් ඕනඋනේ මගේ ළඟ දැවටි දැවටී ආදරේ කරන්න.මමත් ඒකට කැමතියි. ඒත් ජොබ් එකේ නාමයෙන් අපිට ගොඩක් දේවල් කැප කරන්න උනා.එයාගේ සමහර වැදගත් අවස්ථා පවා මට මඟ හැරුනා.අනිත් පෙම්වතුන් වගේ හිතෙන හැම මොහොතකම මුණ ගැහෙන්න අපිට වාසනාවක් තිබ්බෙ නෑ.
මාස 6කට පස්සෙ අපි මැරි කලා.එතකොට මට වයස 28යි.ඇය මට වඩා අවුරුදු තුනක් බාලයි.
“අනේ අදත් ඉදලා යන්නකො.මට මෙහෙ හුරුත් නෑනේ”
පළවෙනි වතාවට මට මගේ බිරිඳ ගැන දුක හිතුණා.අවුරුදු ගානක් අම්මා තාත්තගෙ සෙවණෙ හැදිලා වැඩිලා කසාදයක් බැදලා අලුත් ජීවිතයකට හුරු වෙන්න හදන ඇයව අද මේ අලුත් ලෝකයෙ තනි කරලා මට යන්න වෙනවා.
“මගෙ මැණික මම කරන්නෙ උදේ ගිහින් හවස ගෙදර එන ජොබ් එකක් නෙමෙයි.අද යනවා.අය මාසෙකින් එන්නෙ.අපි මේ විදිහට පුරුදු වෙමු රත්තරං “
මං ගේට්ටුවෙන් එළියට එනකමුත් ඇය කඳුළු පිහමින් බලන් හිටියා.මං වෙනුවෙන් මීට කලින් මඟ බලපු එකම ගැහැණිය මගෙ අම්මා.මං හොදාකාරවම දන්නවා ඒ මඟ බලන ඇස් වලින් වැටෙන කදුල පිහදාන්න තාත්තා ඉන්නවා.ඒත් ඇය සනසන්න නැන්දම්මටයි මාමණ්ඩියටයි පුලුවන් වේවීද.
කොහොම හරි සති මාස ගෙවිලා යද්දි අපි ඒකට හුරු උනා.ඩියුටි අස්සෙත් නිදාගන්න වෙලාවෙත් මම ඇය එක්ක කතා කලා.නිවාඩුවට ගෙදර යද්දි ඇය පුංචි එකෙක් වගේ උදේ ඉදන් මඟ බලන් හිටියා.හැම මොහොතකම දකින්න ළඟ නැතුව මැරි කරලත් මෙහෙම දුරස් වෙලා ඉන්න එක ඇත්තටම වේදනාවක්.අපි අපේ හැඟීම් හරි ලස්සනට පරිස්සම් කරගත්තා නැවත හමුවන තුරුම.
“මහත්තයෝ ඊළඟ පාර නිවාඩුවට එනකම් මාත් එක්ක තව එක්කෙනෙක් මඟ බලන් ඉන්නවා ඔන්න”
“ඒ කියන්නෙ මම දැන්..”
“ඔව් ඔව් මහත්තයෝ ඒක තමයි”
අනේ මට ඕන උනා ඇයව තදින් වැළඳගන්න.මේ සතුට ඇය සමඟ බෙදා ගන්න.මට ඕන උනා ඒ ඇස්වලට එබිලා මගේ දරුවව කුස තුළ දරාගන්නවට පිං දෙන්න.ඒත් අපිට ඒ වාසනාව තිබුණේ නෑ.ඉතිං දවස් ගානක් ඉවසුවා.නිවාඩුවට යද්දි ඇය කැමතිම කෑම ජාති ගොඩකුත් උස්සන් ගෙදර ගියෙ රටක් රාජ්යයක් දිනුවා වගේ.
පවුල ඒක තමයි අපිට ජීවිතේ ලැබෙන හොඳම දේ.මමත් ආස කලා හැමදාම පවුලේ අයත් එක්ක ඉන්න.ඒත් මගෙ ජොබ් එක ඒකට හරස් උනා.එහෙමයි කියලා මේ ජොබ් එක ගැන තරහක් නැ.මේ ඇඳුමේ ඉදන් හැමදේකටම මම ආදරෙයි.ගෞරවයක් තියෙන්නෙ ඒ ගැන.
සමහර දවස්වලට ඩියුටි ඉද්දි මම දකිනවා ප්රෙග්නට් අම්මලාව අතින් අල්ලන් යන දයාබර තාත්තලාව.සත්තයි මැණික මට මහ දුකක් දැනෙනවා එතකොට නුඹ ගැන.මං රට රකින්නම්.දෙවියො නුඹව රැකගනිවී.
උඹේ කකුල් ඉදිමෙද්දි ඒවා තවන්න ළඟ ඉන්න මට බැරි වේවී. බණ්ඩියට කන් තියලා හැමදාම දෝණී එක්ක කතා කරන්න මට බැරිවේවී.ඒත් ඉවසපන් මේ පපුව පිරෙන්න මහ ආදරයක් තියෙනවා ඔයාලා වෙනුවෙන්.
“පුතේ, ලස්සන රෝස මලක්.උඹෙ ඇස්දෙකමයි.සෝක් කෙළි පැටික්ක.”
අම්මා කතාකරලා කියද්දි ඉන්නම බැරි තැන මම හදිස්සි නිවාඩුවක් දාලා ඇයව බලන්න ගියා.අනේ මාව දකිද්දි ඒ ඇස්වල තිබ්බ සතුට.
දරුවො ළඟ ඉන්න එක තරම් සැනසීමක් මේ ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති.ඒත් හැමදාම චූටී දෝණී ළඟ ඉදන් එයාව හුරතල් කරන්න වාසනාවක් මට නෑ.දවස් දහයක් පුංචි දෝණී ළඟ ඉදල ගිහින් අය මාසයකින් එද්දී දෝණී මං දිහා බලන්නෙ ආගන්තුකයෙක් දිහා බලනවා වගේ.දවසක් දෙකක් ගිහින් තාත්තා කියලා අඳුරගෙන හොඳටම ලං වෙද්දි නිවාඩුවත් ඉවරයි.
කාලය ඉගිල්ලෙනවා කියලා මට දැනෙන්නෙ හැම නිවාඩුවටම මාසයකට පස්සෙ ගෙදර යද්දී මගෙ පුංචි දෝණී ටික ටික ලොකු වෙලා ඉන්නවා දකිද්දී.හැම රෑකම දෝණීව තුරුලු කරන් ලොකේ ගැන කියලා දෙන්න ලොකු ආසවක් හිතේ තිබ්බත් ඒක හීනයක්ම විතරක් වෙන්නෙ මාසෙකට දවස් 7ක් 8ක් විතරක් පවුල එක්ක ඉන්න සහතිකයක් මට ජොබ් එකේ නාමයෙන් ලැබිලා තියෙන නිසා.ඉතිං ඒ දවස් 8 මට රත්තරං වගේ. අම්මා , තාත්තා, බිරිඳ, දරුවා, යාලුවෝ මේ හැමෝම වෙනුවෙන් මට වියදම් කරන්න තියෙන්නෙ ඒ දවස් අට විතරයි.
අපි හැමදේම දරාගත්තා.හැමෝම එකිනෙකා වෙනුවෙන් ආදරේ රැක ගත්තා.දැන් මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා.දුවලා දෙන්නයි පුතයි.
මහමෙරක් තරම් ආදරේ කරන සැමියෙක් ඉදලත් මගෙ බිරිඳට දුක් විදින්න වෙලා.ජීවිතේ මං ඉන්නම ඕන තැන්වල ඇය තනිවම හැම දුකක්ම විදගත්තා.වෙන අම්මලාට වගේ දරුවා ලැබෙද්දි එයාගේ අතින් අල්ලන් එයාගේ වේදනාව බෙදාගන්න,එයාට ශක්තියක් වෙන්න කිසිම වතාවක මට දෙවියො අවසථාවක් දුන්නෑ.
“මමත් තාත්ති වගේ ලොකු උනාම රට රකින කෙනෙක් වෙනවා.”
චූටී පුතා එහෙම කියද්දී හා කියන්නද එපා කියන්නද කියලා මට අදටවත් හිතාගන්න බෑ.
” සදුනිගේ තාත්තා තමා හැමදාම එයාව ඉස්කෝලේට ගෙනත් දාන්නෙ.තාත්ති ඇයි ඔයාට බැරි හැමදාම ගෙදර ඉන්න”
” ඒ උත්සවේ මගේ නැටුම ලස්සනයි කියලා හැමෝම කිව්වා.තාත්තිටත් එන්න තිබ්බෙ.යාලුවොත් ඇහුවා ඇයි තාත්ති මගෙ නැටුමවත් බලන්න ආවේ නැත්තෙ කියලා”
” තාත්ති හැමදාම යන්නෙ අපිට මේ වගේ කෑම ගොඩාක් අරන් එන්නනේ.අපි මේ ටික පරිස්සම් කරගන්නම් තාත්ති අය යන්න එපා”
“මට සමහර දවස්වලට ළමයි එක්ක ඔට්ටු වෙලා මහන්සියි අනේ.නිදාගන්න යද්දි මට හිතෙනවා ඔයා හැමදාම මගෙ ළඟ හිටියා නම් මාවත් පොඩි එකෙක් වගේ බලාගනියිනේ කියලා”
“හැමෝම හිටියා.පුතා විතරයි අඩු.අපිට සතුටක් නෑ පුතා නැතුව.වෙන ජොබ් එකක් හොයා ගත්තා නම් හැමදාම ගෙදර ඉන්නවනේ”
මේ වගේ කතා හැම නිවාඩුවකදිම මට අහන්න ලැබෙනවා.ඒ හැම වචනයකම තියෙන්නෙ එයාලගෙ හදවතේ මට වෙන් උන ආදරය,සෙනෙහස කියලා මම දන්නවා.ඒ වෙලාවට මම කරන්නෙම හිනාවෙලා නිහඬ වෙන එක.
ජොබ් එකෙන් විශ්රාම ගත්ත දවසට මට පුලුවන් මගේ පවුල එක්ක හැම තත්පරයක්ම ගත කරන්න.
ඒත්,
එ් වෙද්දි මගෙ අම්මා, තාත්තා ගොඩාක් වයසට ගිහින් ඉදිවී.ඉස්සර වගේ මගේ ඔළුව අත ගගා එයාලගේ කතා කියන්න හයියක් එයාලට නැතිවේවී.
මගේ බිරිඳට මගේ ළඟට වෙලා හුරතල් වෙවී ඉන්න බැරි වේවී.දරුවෝ වෙනුවෙන් ඇය හැම මොහොතකම කාර්යබහුල වේවී.
මගේ දරුවෝ එයාලගේම ලෝකයක් වෙනුවෙන් වැඩ කරාවී.
බාලම පුතත්,
“තාත්ති මාව කරේ තියන් රවුමක් යන්කෝ”
කියන අන්තිම දවසත් ගෙවිලා තියේවී.
කාලය නතර කරන්න බෑ.කාලය එක්ක වෙනස් වන හැඟීම් නවත්තන්නත් බෑ.යුද්ධ කරන්න තියෙන්න ඕනේ ශක්තිමත් සිරුරක්.ශක්තිමත් හදවතක්.ඒත් මට විශ්වාසයි හැම යුද්ධයකටම වඩා ප්රේමය දරාගන්න තියෙන්න ඕනේ විශාල හදවතක්.ශක්තිමත් හදවතක්.
නිමි.
උපුටා ගැනීම: Hirusha Wijerathna