මා 5 ශ්රේණිය් ඉගෙනුම ලබන විට මාගේ සොයුරා උසස් පෙළ හදාරමින් සිටියේය. ඔහු ඉතා කඩවසම් තරුණයෙකි .
දිනක් මව පැවසූ නිසා මටත් අක්කාටත් රාත්රී 8ට පමණ නිවස අසළ කඩයට යෑමට සිදු විය. කුඩා කළ සිට මා හට තිබූ නරක පුරුද්දක් විය. එනම් අතට හසුවෙන් ඕනෑම දෙයක් කටේ දමා හප හප සිටීමයි. මකන කැබලි සහ පැන්සල් වැනි දෑ කටට යන්නෙ නිරායාසයෙනි.
එදිනත් කඩේ යෑමට අක්කත් සමඟ එළියට බහිද්දිම වාගේ ජනෙල් පට්ටම උඩ තිබූ කොටු හැඩැති යමක් කටේ දමාගත් බව මට තවමත් මතකය. නමුත් එය කුමක්ද යන්න හිතීම මට වැදගත් නොවුනි. අම්මා පැවසූ පරිදි අල සහ ලූණුත් රැගෙන එන මගදි මාගෙ දිව පුපුරු ගසන්නට විය.අක්කාට කියූ විට ඇය එතරම් ගණකට ගත්තේ නැත.ඉතින් මටත් එතරම් ගණනක් නොවුනි.
ලෝක විනාසය පටන් ගත්තේ නිවසට ගොඩ වු පසුවයි. අයියා මහසෝනා වැනිය.නිවසේ හතර අතේ පෙරළ පෙරළා යමක් සොයමින් සිටී. විටෙක ජනෙල් පට්ටම අතගාමින් ඒ අවට බිම බලයි.අක්කා ඇසූ විට දැන ගැනීමට ලැබුණේ, සොයුරාගෙ සිම්පත ජනෙල් පට්ටම උඩ තැබූ බවත් දැන් එය එතන නොමැති බවත්ය. එය ඇසූ විගසම අක්කා බැලුවේ මා දෙසයි.
තත්ත්වය ඉතා සෝචනීය විය. මා එක අතකින් උස්සා ඇද උඩට දැමූ ඔහු, අප ගෙනා අල සහ ලූණු වලින් දමා ගසන්නට විය. අම්මාට වත් ඔහුව වළක්ගැනීමට නොහැකි විය.
එවකට ප්රේමවන්තයෙකු වූ මාගේ සොයුරාගේ හැඟීම දැන් මට වැටහෙනු ඇත. ඉදින් ඔහුට නැවත සිම්පතක් ගැනීමට මුදල්ද නැතිවන්නට ඇත. ඉන්පසුව ඔහුගේ පෙම්වතියට පණිවිඩ යවන්නටද නොහැකිවන්නට ඇත.ඉතින් මා වැනි නැගෙණියක් ලැබීම ඔහු පෙර කල පවක් මෙන් දැනෙන්නට ඇති බව දැන් මට වැටහේ.
මෙලෙස කරදර කළද ඔහුගේ පෙම් හුටපට වලට උදව්කල අවස්තාද නැතුවාම නොවේ.එකළ අප නිවසේ තිබුණේ ස්ථාවර දුරකථනයකි.පියාගේ පහසුවට එය මිලදීගත්තද එය වැඩිපුරම උපකාරී වූයේ මාගේ සොයුරාටයි.දවල් කාලයේ එය තිබිය යුතු තැන තිබුණද රාත්රියට එය අන්තරස්දාන වේ.
ටික කලක් යන විට එහි දුරකතන බිල සීඝ්රයෙන් වැඩි වන්නට විය.පියාට මෙය ප්රෙහේළිකාවක් වුනද මට නම් එය ප්රසිද්ධ රහසකි. කිරීමට යමක් නොමැති විට පියා රිසීවරය පමණක් ගැනීමට හැකිවන ලෙස දුරකථනය වැසීමට ලී පෙට්ටියක් සෑදුවේය. රාත්රියේදි එය අගුල්දා වසා තැබුවේය.
ඉදින් සොයුරාට රාත්රියේදී ඇමතුම් ගැනීමට මාගේ උපකාරය අත්යවශ්යමය. මා කුඩා නිසා ලී පෙට්ටියේ පියන යටින් අංක අතර මාගේ අත හැසිරවිය හැක. ඉදින් සෑම රාත්රියකම අයියා කියන අංක එකින් එක ඔබා ඔහුට ඇමතුම් අරන් දෙන්නේ මමයි. එයත් රහසක් හැටියට තබා ගැනීමට සන්තෝසමක් හැටියට අයියා මා හට ඔහුගේ පෙම්වතිය සමඟ සුළු වේලාවක් කතා කිරීමට ඉඩ දේ. ඉතින් මා ඒ අක්කා සමඟ කතා කිරීමට බෙහෙවින් ප්රියකළෙමි. එවකට මට හැගුනේ ඇය තරම් මා හට මාගේ සොයුරියවත් ආදරේ නැති බවක්ය.
ගත වූයේ මාස කිහිපයකි. අපගේ ආර්ථිකයට දරාගැනීමට නොහැකි තරමේ දුරකථන බිලක් ආවේය.ඉදින් හදිසි අවස්ථාවකදී හෝ ඇමතුමක් ලබා ගැනීමට තිබූ එකම දුරකතනය අහිමි වීමට වගකිව යුත්තේ මමම පමණක් බව මා හොදින් දනිමි.
උපුටා ගැනීම: Pabasara K Hewa Arachchige