ශ්රී ලංකාවේ පූජනීය අනුරාධපුර නගරය, හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සහ වෙනත් ලෝකවල ක්රියාකාරකම් හා සම්බන්ධ අත්භූත කතාන්දර සමග පැටලීමට නොහැකි ස්ථානයකි.
අනුරාධපුරය පිහිටා තිබෙන්නේ ශ්රී ලංකාව තුළ ‘රජරට’ (Land of Kings) යනුවෙන් හඳුන්වනු ලබන භූමියෙහිය. එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අරමුදල විසින් ලෝක උරුමයක් ලෙස ප්රකාශයට පත්කරනු ලැබ ඇති අනුරාධපුරය දිවයිනේ පළමු රාජධානිය වූ අතර, එය පිහිටුවනු ලැබ තිබෙන්නේ ක්රිස්තු පූර්ව 377 දීය. ශ්රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ හදවත බඳු කලාපයක එම පෞරාණික රාජධානිය පිහිටුවනු ලැබ තිබුණි.
වර්තමානයෙහි, අනුරාධපුරය දිවයින්වාසීන් වැඩියෙන්ම සංචාරය කරනු ලබන කලාපවලින් එකකි. එම පූජනීය නගරයේ පිහිටි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සහ ගෝලාකාර මහා දාගැබ් වන්දනාමාන කිරීම සඳහා රටපුරා වන්දනාකරුවෝ අනුරාධපුරයට ඇදී එති.
එහෙත් මෙම ශුද්ධ පුරවරය කුතුහලයෙන් ඔබ්බට ගිය වටිනාකමක් දරයි. අක්කර හතළිහක පමණ බිම්කඩක් ආවරණය කෙරෙන ”රන්මසු උයන” නම් පෞරාණික නාගරික උද්යානය එහි පිහිටා ඇත. බෞද්ධ විහාර තුනකින් වටවී ඇති ”රන්මසු උයන” විශ්වයේ රහස් හෙළිකරනු ලබන්නේ යයි පැවසෙන සිතියමක සටහනක් ලෙස සැලකෙයි.
රන්මසු උයනේ සංරක්ෂණය කරනු ලැබ තිබෙන පුරාවිද්යාත්මක වටිනාකමක් සහිත වස්තූන් අතර ගල් පුවරුවක නොගැඹුරු ලෙස කැටයම් කරනු ලැබ ඇති විෂ්කම්භය මීටර් 1.8 ක් පමණ වන ”සක්වල චක්රය” එසේත් නැත්නම් “විශ්ව චක්රය” දක්නට ලැබෙයි.
එම පුවරුවේ ඉදිරිපස මුහුණත නැරඹිය හැක්කේ බිම්මට්ටමේ සිට පමණි. කදිම නැරඹුම් කලාපයක් සම්පාදනය කෙරෙමින් ඉහත කී ගල් පුවරුව ඉදිරිපිට නිමවන ලද පාෂාණමය ආසන හතරක් ද දක්නට ලැබෙයි. එකී සිතියම සහ ආසන යන අංග දෙක ඉතිහාසඥයන්, පුරාවිද්යාඥයන් සහ විද්වතුන් සියවසකට අධික කාලයක් බලවත් ගැටලුවකට පත්කරනු ලැබීමට හේතුවී ඇත.
රන්මසු උයන ශ්රී ලංකාවේ ඉතිහාසයේ ඉතා දීර්ඝ අවධියක් පරිහරණය කරන ලද භූමියක් යයි කැලණිය විශ්ව විද්යාලයේ පුරාවිද්යා අංශයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
”මෙහි දෙවැනි සංවර්ධන අදියර ක්රිස්තු වර්ෂ හත්වෙනි සියවසේ දී ආරම්භ කරන ලද බවක් පෙනෙනවා. එම අදාළ කාලවකවානුව තුළ තවත් ඉදිකිරීම් කීපයක් උයනේ සැලැස්මට එකතුකරලා තියෙනව. සක්වල චක්රය ඒ කාලයේ එකතුවූ නිර්මාණයක් වෙන්න පුළුවන්. නමුත් එම නිර්මාණයේ පැවැත්ම, ක්රියාකාරිත්වය හෝ ඊට අදාළ වෙනත් යමක් භික්ෂූන් විසින් ඉතා සූක්ෂමව වාර්තාකරනු ලැබ තිබෙන ඓතිහාසික වාර්තාවල සඳහන් කරනු ලැබ නැති නිසා ඒ ගැන දැනගැනීමට නොහැකි තත්ත්වයක් පවතිනවා” මාහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
සක්වල චක්රය සහ එහි අරමුණ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති නමුත් එම නිරූපණ කලාව ක්රිස්තු වර්ෂ තුන්වෙනි සහ දහවෙනි සියවස්වලට අයත් අනුරාධපුර යුගයේ වෙනත් කැටයම්වලට වෙනස් මුහුණුවරක් ගන්නා බව පෙනී යයි. සක්වල චක්රයේ මධ්ය කේන්ද්රය සමාන්තර සිරස් සහ තිරස් රේඛා මගින් බෙදුන සමකේන්ද්රීය කව හතකින් සමන්විත වෙයි. සෘජුකෝණාශ්රාකාර කුටි හරස් කවයන්ගෙන් යුක්තය.එහි අන්තර්ගතය තේරුම්ගත නොහැකි පුද්ගලයකුගේ ඇසට සක්වල චක්රයේ ඇතුළත් කුඩ හෝ දුනු සහ ඊතල, සරුංගලයක් රළ හැඩයේ රේඛාවන් සහ සිලින්ඩරාකාර හැඩතල ගොචරවනු ඇත. චක්රයේ අවසන් වළල්ලේ මුහුදු ජීවීන්, මත්ස්යයන්, ඉබ්බන් සහ මුහුදු අසුන් කැටයම් කරනු ලැබ ඇත.
එකී අනුරපුර යුගයටම අයත් සඳකඩ පහන වැනි වෙනත් නිර්මාණයක අන්තර්ගත කැටයම් සමඟ සසඳන විට එකී කැටයම් අතර වෙනසක් ඇත. සඳකඩ පහනේ දක්නට ලැබෙන්නේ ලියවැල්, හංසයන් සහ නෙළුම්මල් ආදියයි. ඒවා සියල්ල බෞද්ධ නිරූපන කලාවේ සංකේතයන්ය. එහෙත් සක්වල චක්රයේ අන්තර්ගත සංකේත ආගමික මුහුණුවරක් නොගනී. එවැනි සංකේත තෝරාගන්නා ලද්දේ කුමක් නිසාද? යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොකෙරෙයි.
එවැනි පරිසරයක අන්තර්ජාල උපකල්පනයන්ට පුළුල් ඉඩ පරාසයක් ඉතිරි කරයි. අන්තර්ජාලයේ උදාවට පෙර මෙම සක්වල චක්රය පැවතුනේ ශ්රී ලාංකික සමාජයේ අවධානයකින් තොරවය. අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව විශාල ගල්පව්වක කෙළවරක සක්වල චක්රය නොනැසී සැඟව පවතින්නට ඇතැයි අදහස් කෙරෙයි. අවට හාත්පස පිහිටි අපූරු දර්ශනය පිරික්සන විට පොකුණු දෙකක් සහ ඊට අනුබද්ධ ස්නාන වේදිකා දක්නට ලැබෙයි. ඒවා අනුරපුර රජුන් විසින් ඔවුන්ගේ පැන් පහසුවට පාවිච්චිකරන්න්ට ඇතැයි සැලකෙයි. යම්හෙයකින් පිටසක්වලවාසීන් මෙම රමණීය බිම්කඩින් පෘථිවියට ළඟාවීනම්, ඔවුන්ට මීට වඩා අපූරු ස්ථානයක් සොයාගැනීමට නොහැකිවනු ඇත. ඝර්ම කලාපීය ඝන වනාන්තරයෙන් වැසීගිය මෙම ආරාම පුදබිම වැඩිවශයෙන් ජානාවාසවීමකින් තොරව පැවැති අතර බලධාරීන්ගේ රැකවරණය යටතේ පැවතුණි.
සක්වල චක්රය
සක්වල චක්රයෙහි පුරාවිද්යාත්මක වැදගත්භාවය සම්බන්ධයෙන් පළමු විද්වත් සටහනක් තබනු ලැබ තිබෙන්නේ එවක බ්රිතාන්ය ලංකාවේ (Ceylon) සිවිල් සේවකයකු සහ පළමු පුරාවිද්යා කොමසාරිස්වරයා වූ H C P බෙල් (H C P Bell)විසිනි. H C P බෙල් 1911 වසරේ එවක සිටි ආණ්ඩුකරුට යොමුකරන ලද වාර්තාවක මෙවැනි සටහනක් තබනු ලැබ ඇත.
”ඇතැම්විට දැනට සොයාගනු ලැබ ඇති පැරණිතම නිර්මාණය වියහැකි මෙම පෞරාණික ”ලෝක සිතියම”(‘map of the world’)පැහැදිලි ලෙසම අපූරු නිර්මාණයකි. ලංකාවේ ඇතැම් බෞද්ධ ආශ්රමයන්හි තවමත් අනුගමනය කෙරෙන තාරකා විද්යාත්මක දැනුමෙහි පුරාතන පැවැත්ම සඳහා මෙය සාක්ෂියකි”
සක්වල චක්රය ගැන HCP බෙල් සිය විස්තර විභාගයෙහි මෙසේ සඳහන් කරයි.
”නූතන අර්ථයෙන් නවීන සිතියමක් නොවන නමුත්, මෙම පෞරාණික විශ්වීය චිත්රය විශ්වය පිළිබඳ බෞද්ධ ආකල්පයේ චාම් අව්යාජත්වය පිළිබිඹු කරයි”චක්රයෙහි අන්තර්ගත සංකේත සහ මුහුදු ජීවීන් බුදුදහම පිළිබඳ දැනුම මත පදනම්ව මහපොළොව,මුහුදු ,අභ්යවකාශය සහ විශ්වය ලෙස ඔහු අර්ථකථනය කළේය.
ස්ථානීය වශයෙන් පවතින ඓතිහාසිකත්වය අනුව වසර ගණනාවක් ප්රධාන වශයෙන් විද්වතුන් අතර සාකච්ඡා මට්ටමේ පවතින අතරවාරයේ පසුගිය වසර කීපය ඇතුළත සමාජ මාධ්ය ජාලයේ හුවමාරු වෙන්නට පටන්ගත් පිංතූරත් සමඟ එම ගුප්ත නිර්මාණය කෙරෙහි ලෝකයේ ඇස යොමුවන්නට විය. උකුසු ඇසින් නිර්මාණයන් ගවේෂණය කරන සංචාරකයෝ අනුරාධපුරයෙහි පිහිටි මෙම ඓතිහාසික විශ්ව චක්රය ලෝකයේ ඊට සමාන්තර ස්ථානයන්හි දක්නට ලැබෙන මිනිසාට විශ්වයට පිවිසිය හැකියයි විශ්වාස කෙරුණ පෞරාණික දොරටු ලෙස සලකුණු තාරකා ද්වාර (stargates) සමඟ සමකොට සටහන් කරනු ලැබූහ. මෙම ප්රස්ථාරය විවෘතකළ හැකි ”රහස් කේතයක් විශ්ව චක්රයෙහි ඇත” යන අදහස සමඟ ඔවුන්ගේ න්යාය ගමන්ගනී.
රන්මසු උයන
මෙහි වඩාත්ම කැපී පෙනෙන සමානත්වය වන්නේ අනුමාන වශයෙන් ශ්රී ලංකාවේ තාරකා දොරටුව උපරිමය ජලයට සම්බන්ධ බවක් පෙන්නුම් කිරීමය. ක්රිස්තු පූර්ව 300 දී ඉදිකරන ලද තිසාවැව ආසන්නයේ පිහිටි ‘සක්වල චක්රය’ මෙන්ම ඊජිප්තුවේ අබු ඝුරාබ්(Abu Ghurab) සහ පීරු දේශයේ ‘La Puerta de Hayu Marka’ ආදියත් ජලාශ ආශ්රයෙහි ඉදිකරන ලද නිර්මාණ වෙති. තාරකා දොරටු න්යාය අනුව මිහිකත ජලයෙන් රන්රුවන් ලබාගැනීමට පෘථිවියට අයත් නොවන ජීවීන්ට අවසර ලැබෙයි
මෙම පිටස්තරයන්ට අදාළ න්යාය කුල්මත් කරන තවත් සාක්ෂියක් ඇත. එම සාක්ෂි ලැබෙන්නේ දානිගල කන්දෙනි. පොලොන්නරුව ශුද්ධ නගරය ආසන්නයේ පිහිටි දානිගල කන්ද ‘පිටසක්වල ජීවීන්ගේ කන්ද’ (Alien Mountain) ලෙසත් හඳුන්වනු ලැබෙයි. ඝන වනාන්තරය මැද පිහිටි සුවිශේෂී රවුම් හැඩයක් සහිත මුදුනත පැතැලි දානිගල කන්ද කඳුනගින්නන් අතර බෙහෙවින් ජනප්රිය ස්ථානයකි. ඉහත කී ස්වාභාවික හැඩය සහ පිහිටීම ”එම ස්ථානය එක්තරා අවධියක පිටසක්වල ජීවීන් පෘථිවිය මත ගොඩබැසීමට උපයෝගීකර ගන්නට ඇතැයි” නිගමනය කිරීම සඳහා අන්තර්ජාල නිරීක්ෂකයෝ හේතුවක් කර ගත්හ. දානිගල ප්රදේශයේ සංචාරක මගපෙන්වන්නකු වන ශ්රී අබේවික්රම පවසන පරිදි ”පිටසක්වල කන්දට බොහෝ තරු කඩා වැටෙන අතර,වෙනත් ස්ථානවලට වඩා අකුණු සහ හෙණ ගැසීම් එල්ලවෙන බව අවට ගම්වාසීහු විශ්වාස කරති”
කෙසේවෙතත් මහාචාර්ය රාජ් සෝමදේවට අනුව සක්වල චක්රය අභ්යවකාශයට පිවිසෙන තරු දොරටුවක් යයි පැවසීමට ප්රමාණවත් පුරාවිද්යාත්මක සාක්ෂි නැත. එම උපකල්පනය වෙනුවට මහාචාර්ය සෝමදේව වඩාත් සංවේදී නිගමනයකට එළඹෙයි. ඔහු පවසන්නේ මෙම සිතියම ලෝකයේ මුල් සිතියමක් වියහැකි බවය. H C P බෙල් අදහස් කළ ආකාරයට එම පැහැදිලි කිරීම සඳහා කාලය සහ ස්ථානය අනුව, ආගමික හා විශ්වීය සන්දර්භයක් උපයෝගී කරගනු ලැබීම තාර්කික ස්වරූපයක් ගන්නා බව මහාචාර්යවරයාගේ අදහස වෙයි.
මහාචාර්ය සෝමදේව පවසන ආකාරයට,”අඩු තරමින් ක්රිස්තු පූර්ව දෙවැනි ශතවර්ෂයේ පටන් ශ්රී ලාංකිකයන්ට අප ජීවත්වෙන පෘථිවියෙන් පරිබාහිර අවකාශය සහ අභ්යවකාශ ද්රව්ය ගැන පැහැදිලි අදහසක් තිබුණි. ශ්රී ලංකාවෙන් හමුවූ මුල්යුගයට අයත් බ්රාහ්මී සෙල්ලිපිවල සුවිශේෂී තාරකා ගැන සඳහන් වෙන අතර තාරකා ශාස්ත්රයට අදාළ සංකල්ප අන්තර්ගත වෙයි. දිවයිනේ දකුණු වෙරල තීරයේ පිහිටි ඓතිහාසික ස්ථානයක් වන කිරින්දෙන් හමුවූ එක් සෙල්ලිපියක ”අපරිමිත ලෝක දාතුයා” යන වචන කියැවීමට ලැබුණි. එම වචනවලින් අදහස් කෙරෙන්නේ ”අනන්ත විශ්වය” යන්නයි. එකී වචනවලින් පිළිබිඹු කෙරෙන්නේ කුමක්ද?එම ලේඛනය සිදුකරන ලද පුද්ගලයාට ඔවුන් ජීවත්වූ විශ්වයේ ස්වරූපය ගැන හොඳ වැටහීමක් තිබුණ බවය”
මේ අතර මොරටුව විශ්ව විද්යාලයේ භූමි දර්ශන පිළිබඳ කථිකාචාර්ය ෂෙරීන් අල්මේන්ද්ර වඩාත් අන්යොන්ය සම්බන්ධතාවක් සහිත වෙනත් භෞමික දර්ශන පථයක් කරා අප කැටුව යයි.
”මම හිතන විධියට සක්වල චක්රය ඒ යුගයේ ඉදිකෙරුණ මහා දාගැබ් ආදියට සමාන තවත් සංකීර්ණ ව්යාපෘතියක සැලැස්මක්. මම එය කෙරෙහි යොමුවෙන්නේ සීගිරිය සඳහා සැකසෙමින් තිබුණ පිඹුරුපතක් හැටියටයි” කථිකාචාර්ය ෂෙරීන් අල්මේන්ද්ර සඳහන් කළාය.
පස්වෙනි සියවසට අයත් සීගිරි පාෂාණමය බලකොටුව ශ්රී ලංකාවේ මහත් පිළිගැනීමකට ලක්වන ඓතිහාසික නිර්මාණයකි. සීගිරිය ජලතටාක සහ දියමල්, මැනැවින් සලසුම්කළ උද්යාන සහ ලැගුම් කුටි රැසෙකින් සැදුම්ලත් අපූරු නිර්මාණයකි. සීගිරිය ‘සංස්කෘතික ත්රිකෝණය’ යනුවෙන් නම්කරන ලද කලාපයට අයත් වෙයි. එම සංස්කෘතික ත්රිකෝණය මගින් අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර යන ඉතා වැදගත් ඓතිහාසික නගර තුනක් ආවරණය කෙරෙයි.
”සක්වල චක්රය ඉදිරිපිට නෙලා ඇති පාෂාණමය ආසන මඳක් එකිනෙකට මුහුණලා හිඳගත හැකි මට්ටමින් සකස්කරනු ලැබ ඇති ආකාරයක් පෙනීයන නිසා එය සාකච්ඡා සඳහා පිළියෙළ කරන ලද තැනක් හැටියටයි මම දකින්නේ” ෂෙරීන් අල්මේන්ද්ර පවසන්නීය.
”එය පෞරාණික පුරාවිද්යාඥයන්ගේ සාකච්ඡා මණ්ඩපයක් වෙන්න පුළුවනි. එම අසුන් ආගමික උවමනා අනුව භාවනා කිරීමට සකස්කළා නම්, ඒවා එක පේලියක් හැඩයෙන් නිමවන්න ඉඩකඩ තිබුණා”
මහාචාර්ය රාජ් සෝමදේව පවසන අන්දමට,සක්වල චක්රය සිතියමේ ක්රියාකාරිත්වය හඳුනා ගැනීම සඳහා පවතින ලොකුම අභියෝගය එය අයත් කාලවකවානුව නිවැරදිව හඳුනාගැනීම සඳහා සාක්ෂි නොමැතිවීමයි. රන්මසු උයන සහ අනුරාධපුරයේ පිහිටි සෙසු උද්යාන හා දාගැබ් පිළිබඳව ක්රි.පූ. 250 තරම් ඈත අතීතයකට අයත් වංශකථාවන්හි සහ සෙල්ලිපිවල සඳහන් කර ඇති නමුත් සක්වල චක්රය සම්බන්ධයෙන් එවැනි කිසිදු ඓතිහාසික ලේඛනයක සඳහන් නොවෙයි.
“සක්වල චක්රය රූප සටහන නියත ලෙසම එදා ප්රායෝගික භාවිතයට ගත් නිර්මාණයක් වෙන්න පුළුවන්. නමුත් එය අයත් අවධිය ගැන නිවැරැදි කාල නිර්ණයක් සිදුකළ නොහැකි නිසා එය කුමක්වීද යන්න නිශ්චය කිරීම විශාල අභියෝගයක්” මහාචාර්ය සෝමදේව පවසයි.
එහි තේරුම ශ්රී ලංකාවේ ගුප්ත ‘තරු දොරටුව’ යයි කියනු ලබන ‘සක්වල චක්රය’ තවමත් අභිරහසක් බවය. එය නිමවීමේ අරමුණ සහ එහි අර්ථය තවදුරටත් කාලයේ වැලිතලාවෙන් වැසී තිබෙනු ඇත. කෙසේවුවද, මෑත පටන් සමාජ අවධානයට ලක්වෙමින් පවතින ‘සක්වල චක්රය’ ඒ ගැන උනන්දුවක් දක්වන්නන්ගේ සහ සමාජ මාධ්ය ජාලයේ සාකච්ඡාවට ලක්වීමත් සමඟ අනුරාධපුරයේ මහා නිර්මාණ අතර සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇත ..
…………….උපුටාගැණීම BBC ඇසුරෙනි…………….
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න