ෂොපිං ගිය වෙලාවට නිම්මි එයාගේ ඇඳුම් ගන්න කඩවල්වලට ගියාම, එයා ඇඳුම් තෝරන තුරු එතන පුටුවක වාඩිවෙලා ෆේස්බුක් එකේ ඇහැ අලෝගෙන ඉන්න එක තමයි සාමාන්යයෙන් මම කරන්නේ. අද හිතුන එතන වාඩිවෙලා ඉන්නෙ නැතුව පිරිමි අයගේ ඇඳුම් කඩවලට ගිහිල්ලා බලන්න. එහෙම ගන්න දෙයක් හිතාගෙන ආවේ නෑ, ඒත් හිතට අල්ලන දෙයක් තිබුනොත් ගන්න තමයි හිතුවේ.
එක කඩයක හිටපු තරුණ ලස්සන සේල්ස් කෙල්ලක් මම ගිය ගමන් කටපුරා හිනාවෙලා හලෝ කියලා, ඕනවට වඩා මිත්රශීලි වෙලා, එක එක ජාතියේ ඇඳුම් මම මගේ ඇඟට තියලා
‘ඒ පාට ඔයාට ලස්සනයි. ස්මෝල් තමයි ඔයාට හරියන්නේ’
කියලා අන්තිමට ලස්සන ෂර්ට් එකක් දුන්නම, මම ඒකට කැමති වෙලා, ඒකත් අරගෙන ගියා ඇඳුම් මාරු කරන කාමරේට. එයා ඒ කාමරේ දොර ලඟ හිටගෙන
‘සයිස් එක හරි ද?’ කියල ඇහුවම
‘නැ මේ සයිස් එක ටිකක් ලොකුයි’ කිව්වා.
‘හරි එක්ස්ට්රා ස්මෝල් ගෙනල්ල දෙන්නම්’ කියලා ඒක අරං ඇවිල්ලා දොර උඩින් දීලා,
‘ඇඳල එලියට එන්නකෝ බලන්න’
කිව්වා. මම ඉතින් ඒක ඇඳලා ආවම ෂර්ට් එකේ රැලි ඇරලා, උඩ බොත්තමත් දාලා
‘නියම ෆිටිං’ කිව්වම
‘ඔව් මට ඒක හිතට ඇල්ලුවා. ඒක මම ගන්නවා’
කියලා, සල්ලි ගෙවන්න ගියාම මගේ ෆෝන් නොම්මරේ ඉල්ලුවා කියමුකෝ. එහෙම ෆෝන් නම්බර් එක දෙන්න බැහැ නේ ඒත් හිත රිදෙයි කියලා දුක හිතිලා දීලා සල්ලි ගෙවලා, ෂර්ට් එක දාපු බෑග් එකත් අරන් එලියට යන්න කලින්
‘බොහොම ස්තුතියි මට කරපු සර්විස් එකට’ කියල කිව්වම
‘දේව්, කොහොමද ඩැනී (මගේ දුව). තවම මෙල්බර්න් ද?’
‘නෑ එයා එංගලන්තෙ ඉන්නේ. ඔයා ඩැනී දන්නව ද?’
‘ඔයා මාව හඳුනගත්තෙ නැද්ද? මම සේරා, ඩැනීගෙ පන්තියේ හිටියේ, ඔයාලගෙ ගෙදර නිතරම ආවේ. මතක නැද්ද?’
‘ඒක තමයි, මට දැකල පුරුදු මූනක්. අවුරුදු දාසයේ විතර දැක්කට පස්සෙනේ දැක්කේ’
කියල ලැජ්ජාවෙන් බේරුනා කියල හිතුවා.
‘මම ඔයාගේ මෝබයිල් එකට ඉන්වොයිස් එක එව්වා’
‘ආහ් ඒකට නේ මේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන තියෙන්නේ’
කියල හිතලා බායි කියල එලියට එන ගමන් තරයේම හිතාගත්තා තමාගේ වයස ගැන නිතරම සිහියේ තබා ගන්න. හැමදාම ඔහොම හිතුවට මේ වයසෙදි ඔය වගේ අමතක වීම් වෙනවනේ. මොනව කරන්නද ඉතින්.
උපුටා ගැනීම: Devapriya Siriwardena