ලැන්ටි කියන්නේ මීට කලකට ඉහත අපේ ගමේ ජීවත් වුණු උමතු මහල්ලෙකුට. බැලූ බැල්මට බියකරු පෙනුමක් තිබුණත්, ලැන්ටි අහිංසකයි කියලයි කවුරුත් කියන්නේ. ලැන්ටි බුද්ධ පූජාව කාපු හැටි ගැන නොදන්න කෙනෙක් අදටත් අපේ ගමේ නැතුව ඇති. ඒ කතාව මෙහෙමයි.
ඔන්න දවසක් දවල් දානය වළඳලා ඉවර වුණාට පස්සේ පොඩි හාමුදුරුවෝ බුදු ගෙය පැත්තට වැඩම කලේ බුද්ධ පූජාව ඉවත් කරන්න හිතා ගෙන.
ඒ යන කොට බුදු ගෙය ඇතුලේ කවුදෝ හෙමි හෙමින් මොන මොනවාද මුමුණන හඬ හාමුදුරුවන්ට ඇහුණා.
අවේලාවේ බුදු ගේ තුල කවුරුන් වෙන්න ඇද්ද?
හිතේ හටගත් කුහුල නිසාම පොඩි හාමුදුරුවෝ සද්ද නැතිව ඒ පැත්තට ගිහින් අඩවන් කර තිබූ ලොකු දොර පළුව අතරින් බුදු ගෙය තුලට කර පොවා බැලුවා.
බුදු ගෙය ඇතුලේ පොඩි හාමුදුරුවන්ට පිටුපාලා හිට ගෙන හිටියේ ලැන්ටි.
ලැන්ටි කියන්නේ අපේ ගමේ ජීවත් වුණු උමතු මහල්ලෙකුට.
ලැන්ටි කීප දවසක්ම අවේලාවේ පන්සල පැත්තේ කැරකෙනවා පොඩි හාමුදුරුවෝ දැකලා තියෙනවා.
ඒත් මොනවද මේ මනුස්සයා තනියම මේ දොඩවන්නේ?
පොඩි හාමුදුරුවෝ ටිකක් ඇහුම්කන් දුන්නා.
“ලැන්ටි, උඹට බඩගිනිද?”
ලැන්ටිම අහනවා.
“අනේ ඔව් බුදු හාමුදුරුවනේ.”
පිළිතුරත් ඔහුගෙන්මයි.
“එහෙනම් ඔය බුද්ධ පූජාවෙන් ටිකක් ලැන්ටිත් කන්න. කමක් නෑ.”
නැවත ඔහු කියනවා.
“අනේ එපා බුදු හාමුදුරුවනේ. මට පව් පිරෙයි.”
ලැන්ටි අසරණ ස්වරයෙන් මුමුණනවා.
“කමක් නැහැ ලැන්ටි. මමනෙ කියන්නේ. ලැන්ටි කන්න.”
මේ කතාව අහගෙන ඉන්න පොඩි හාමුදුරුවන්ට තනියම හිනා.
“”බුදු හාමුදුරුවෝ මට බල කරන නිසාම ඔන්න එහෙනම් මං කනවා. නැත් නම් හොඳ නැහැ නොවැ.
එහෙම කියලා අන්තිමට කොහොම හරි බුද්ධ පූජා පාත්රය අතට අරන් ලැන්ටි බුදු ගෙය තුලින් එළියට එන්න හදන කොටම පොඩි හාමුදුරුවෝ ඒ ක්රියාව
නොදැක්ක ගාණට දොර ළඟින් ඉවත් වෙලා බෝ මළුව පැත්තට වැඩම කලා.
උපුටා ගැනීම: Asanthi Ruwanmani