අප්පච්චි උදැහැනැක්කෙම ටවුමෙ යන්නට හදද්දි මම දැක්කා අම්මා ගුලි කරපු කරදහියක් අප්පච්චිගෙ මිට මොලවනවා…අම්මගෙ ඇහේ කඳුළු පිරිලා තිබුණේ දිලිහෙන ජිල් බෝල දෙකක් වගේ…
මතක් කරලා කොල්ලට කන්ට බිත්තර දෙකක් ගේන්න ඕං…මේ දවස් ටිකට කොල්ලා ඇදිලා ගිහිල්ලා.කොස් කාලා කාලා ඊයෙත් බඩ පුරෝ දාලා හිටියෙ…
කාඩ් එකකුත් ගේන්න.අල්ලපු ගෙදර මැණිකෙගෙ දුවගෙ පෝන් එකට.ඊයෙත් කොල්ලට ඔල්ලයින් පන්තියට ඉන්න බැරි උනානෙ.ඒ කෙලීගෙ පෝන් එකේ සල්ලි නැතිලු…
අප්පච්චි ගෙයින් පිට උනේ ඔළුව බිමට නවාගෙන සතුටකින් නම් නෙමෙයි කියලමයි මට හිතුනෙ…රට වහපු දවසෙ ඉඳලා අප්පච්චි පොලේ යන්නෙත් නැහැනෙ.කාලෙකින් තමයි අප්පච්චි ෂර්ට් එකක් ඇඳගෙන පාරට බැස්සෙ…
පොලේ ගිය දවසට නම් අප්පච්චි අනිවාර්යයෙන් ටොපියක් හරි ගේනවා.අදත් ටවුමෙ යන නිසා මට හරි සතුටුයි…
හවස් ජාම වෙනකල් අප්පච්චි ආවෙ නැති නිසා අම්මා විස්සෝප වෙලා වගේ උන්නෙ.අප්පච්චි ගියපු වෙලේ ඉඳලා මම නම් මඟ බලාගෙන හිටියෙ අප්පච්චි ටොපියක් හරි ගෙනෙයිනේ… කියලා.ඉර හැරෙනකල් අප්පච්චි ආවෙ නැතිකොට තමයි අම්මත් මගෙ එක්ක හවුලට වගේ මොනවද මුමුණ මුමුනා මග බලන්න උනේ.
අද අම්මගෙ මූනෙ මොකක්ම හරි අඩුවක් මට පේනවා…හොඳට බැලුවා ආයෙම මූන දිහාවෙ.”අම්මගෙ කරාඹුවක් වැටිලා”මම කෑ ගහපු සද්දෙටද මන්දා අම්මා ගැස්සිලා ගියා…ඈ කන අතගාලා බැලුවා.අමුතු තාලෙකට “හැබෑමයි කරාඹු දෙකම නැහැ නොවැ”කියලා කන අතගෑවා.
ඒත් කරාඹු දෙක හොයන්න අම්මට වගක්වත් නැති හැටි.ළිඳ ළඟ වැටිලද?අල්ලපු ගෙදරට ගියපු වෙලාවෙ වැටිලද?දර පලපු වෙලාවෙ වැටිලද?
මම කොච්චර කල්පනා කළත් අම්මා අහක බලාගෙන හූල්ලනවා විතරයි…
ඇඳිරි වැටීගෙන එද්දි අප්පච්චි ගෙට ගොඩ උනේ ගෙදරින් එලි බහිද්දි තිබුනටත් වඩා මූන පුලුටු කරගෙන.මහන්සියටද මන්දා.
අද නම් ටොපි ගෙනැල්ලා නැහැ වගෙයි.සමහරවිට ටොපි කඩ තාම වහලද කවුද දන්නෙ…
අප්පච්චි පුංචි සිලි සිලි බෑග් එක අම්මා අතට දෙන ගමන් ලොකු හුස්මක් හෙලුවා.දෙකම තියලත් රු.1500ක් වත් ගන්න පුළුවන් උනේ බොහොම අමාරුවෙන්.ඒ මදිවට අද සෑහෙන පෝලිමක් මැණිකේ…හාල් කිලෝ පහක් ගත්තම,බිත්තර ගන්න සල්ලි මදි වෙයි කියලා හිතුනා.පෝන් කාර්ඩ් එකනම් ගෙනාවා.නැත්නම් කොලුවට හෙටත් පංති යන්න බැරි වෙනවනෙ…මට දුක මැණිකෙගෙ අම්මගෙ කනේ තිබුණු දෙක නිසා මැණිකේ…කියලා තාත්තා මූන අහකට හරවා ගත්තෙ ඇස් වල පිරුණු කඳුළු මම දකියි කියලා මට හිතුනා…
උපුටා ගැනීම: -චින්තක ප්රසාද්-