එතකොට මං පහ වසරෙ වගේ වෙන්න ඕනි. ඉස්කෝලේ ඉන්ටවල් එකේදි කන්න මාළු පාන්, බිත්තර බනිස්, පේස්ට්‍රි තමයි මං අරන් යන්න කැමතිම. ඒත් ඉතින් අම්මා උදේම බත්, එළවළු දාපු කෑම පෙට්ටිය මගෙ බෑග් එකට දාන්නේ මගේ සියළුම ආසාවන් සුනු විසුණු කරමිනුයි.
ඒ උනාට ඉතින් ඉඳලා හිටලා අම්මට වැඩ වැඩි වුනු දවසක , ගෙදරින් ගෙනියන බත් එක වෙනුවට බනිස් ගෙඩියක්, පේස්ට්‍රියක් එහෙම ලැබෙනවා.
ඔන්න ඉතින් ඔය වගේ දවසක, ඉස්කෝලේ ළඟ තිබ්බ බේකරියකින් අම්මා මට මාළු පාන් එකකුයි , තව මොකක් හරි එහෙකුයි අරන් ඒවා මගේ කෑම පෙට්ටියට දාලා දුන්නා.
උදේ එකොලහට හම්බෙන ඉන්ටවල් එකේදි මං හරිම ආසාවෙන් මගෙ කෑම එක කන්න ලෑස්ති උනේ. මාළු පාන් එක පුළුන් වගේ හරිම සොෆ්ට්. මාළු කිව්වට ඉතින් ඒක ඇතුලෙ තිබ්බෙම තම්බපු අලයි , ලීක්සුයි විතරයි. ඔහොම මාළු පාන් එකේ පිටි ගුලියයි, අල ටිකයි කාගෙන කාගෙන යනකොට හැපෙනවා ටිකක් ඝනකම් කෑල්ලක්. මං හිතන්නේ මාළු කෑල්ලක් කියලා. ම්ම්ම්හ්ම් හැබැයි කිසිම රසයක් දැනෙන්නෙත් නෑ. මොකක්ද මේ කියලා හිත හිතා දිගටම හපලා බැරිම තැන එළියට අරන් බැලුවා. ඒක හරියට පුංචි කෝටු කෑල්ලක් වගේ . ඉතින් මට හිතුනේ උම්බලකඩ කෑල්ලක් කියලයි. මොකක් උනත් ගෙදර ගිහින් පෙන්නන්න ඕනි කියලා හිතාගෙන මං ඒක මගේ කෑම පෙට්ටියට දාගෙන ගෙදර අරන් ගියා.
හවස අම්මා වැඩ ඇරිලා ආපුවම,
” අම්මේ අද මාළු පාන් එකේ උම්බලකඩ කෑල්ලක් තිබ්බා. කෝට්ටක් වගේ. හරියට හැපෙන්නෙත් නෑ “
” මොකක් කෝට්ටක් වගේ ? “
” ඔව්, ඔන්න තාමත් කෑම පෙට්ටියේ තියෙනවා බලන්නකෝ “
කෑම පෙට්ටිය ඇරපු අම්මා ,
” ඔයා මේක හැපුවද ? “
” ඔව්, ඒත් කිසිම රසක් නෑ , අමුතු උම්බලකඩයක් “
බෙරි කරගත්ත මූණෙන් අපෙ අම්මා ,
” මේ උම්බලකඩ නෙමෙයි “
” එහෙනම් ?”
” බීඩි කොටයක් “
උපුටා ගැනීම: බුද්ධි ජයවීර