අන්දරේට මර බිය ගෙන දුන් අන්දරේගේ බිරිඳ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රජ කාලේ කාන්තාවන් ගැන කතා කරන කොට අපට නිරන්තරයෙන් සිහියට එන චරිතයක් තමයි අන්දරේ කියන්නෙ. අන්දරේ රජවාසලේ හිටිය විකටයා විදියට තමයි ඔහුගේ අවසන් කාලය වනතුරුම ජීවත් වුනේ. අන්දරේ කියන නම ඇසුන ගමන් ඕනෑම බාල මහලු තරුණ කාට උනත් සිහියට එන්නේ රජවාසලේ දී ඔහු කරපු අපූරූ දේවල්. ඒවා හාස්‍ය වගේම උපහාසය උපදවන තරමේ ඒවා. අන්දරේ කවටයෙකු වගේම ඉතා දක්ෂ හිටිවන කවියෙකි. අද නම් මෙම හිටිවන කවියක් බෙහෙතකටවත් ඇසෙන්නේ නැති තරම්. ඒත් රජකාලේ නම් මෙම කවිකාර මඩු ඕනෑ තරම්  තිබිල තියෙනවා. ඒ කවිකාර මඩු තිබිච්ච රාජ සභාවන් අතරින් ප්‍රීතිමත්ම රාජ සභාව බවට පත්වෙලා තියෙන්නෙ කීර්ති ශ්‍රී  රාජසිංහ රජුගේ කවිකාර මඩුව. මොකද ඒ රජතුමාගේ කාලේ තමයි අපේ මේ අන්දරේ කියන අපූරු කවියා ඉඳලා තියෙන්නෙ.

අන්දරේ උපතින්ම උඩරට අයෙක් නෙමෙයි. නමුත් ඔහු උඩරටට ගිහින් තියෙනවා කුමන හෝ කාර්යක් ඉටු කර ගන්න. ඒ අතරෙ උඩරට කාන්තාවක් එක්ක විවාහ වෙලා රජවාසලේ සේවයටත්  සම්බන්ධවෙලා තියෙනවා.  මේ අපූරු කවටයා හිටිය කාලවකවානු විදියට සඳහන් වෙන්නෙ ක්‍රි . ව 1747 –  1780 අතර කාලය. මේ කාලයේ තමයි ලන්දේසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගෙන හිටියෙ . ඉතින් අන්දරේගේ උපන් ගම  විදියට සඳහන් වෙන්නෙ මාතර  දික්වැල්ල ප්‍රදේශය. දකුණු පලාතේ ඉපදිලා දකුණු පලාතටම ඇවිත් තම ජීවිත ගමන අවසන් කළ කවියා තමයි මේ අන්දරේ.  අන්දරේ උපන් ගමට ඇවිත් මරණයට පත් වීමට සිතාගෙන සිටියත් ඔහුට උපන් ගමෙදී නම් මරණයට පත් වෙන්න බැරි වෙලා තියෙනවා. මොකද අන්දරේ උපන් ගමට එන අතරතුර තමයි එතුමා මරණයට පත් වෙලා තියෙන්නෙ. හම්බන්තොටට තරමක් කිට්ටුව තියෙනවා උඩමලල කියලා ගමක් අන්න ඒ ගමේදි තමයි අන්දරේ මරණයට පත් වුනේ. ඉතින් ඒ ගමේ අදටත් එතුමාගේ පිළිමයක් හා සොහොන තියෙනවා. අන්දරේගේ සාමාන්‍ය  ජීවිතේ ගැන තමයි මම ඔය කිව්වේ. මොකද අන්දරේගේ කතා රසවින්දට විතරක් මදිනෙ. එතුමාගේ ජීවිතය ගැන පොඩ්ඩක් හරි දැනගෙන තියෙන්නෙ ඕනනේ .

ඔන්න අන්දරේ රජවාසලේ කවටයා වගේම ලංකාවේ ම නමක් දිනූ කටකාර කවියෙක් . ඒ වගේම තමයි ඔහුගේ පුතාත්. පුතාත් අන්දරේට දෙවැනි නෑ. මේ දෙන්නටම වඩා නොදෙවෙනි කෙනෙක් හිටියා ඒ තමයි අන්දරේගේ බිරිද. අන්දරේ එක්කම නිතරම ඉන්න බිරිඳත් ඉඳල හිටලා අපූරු වැඩ කරල තියෙනවා. අන්දරේ වගේම තියුණු නුවණක් ඔහුගේ බිරිඳටත් තිබිල තියෙනවා. ඒ උපායශීලි බව නිසාම අන්දරේට නම්බු නාමයක් පවා ලැබුනේ. ඒ නම්බු නාමය ලබාගන්න අන්දරේට කොතරම් දුක් පීඩා විදින්න වුනා ද කියල දන්නෙ ඉතින් අන්දරේම තමයි. තමන්ගේ බිරිඳ කරපු දෙයකින් අන්දරේට මරණ භය පවා දැනිලා ජීවිතේම එපා වෙලත් තියෙනවා. නිතරම විහිලුවෙන් සිනාසී ඉන්න කෙනෙක්ට මෙහෙම දෙයක් උනාම කොහොමත් කලබලේටත් දුකටත් පත් වෙනවනේ. රජවාසලේ රජුගේ නියෝගයක් ඉටු කරන්න බැරි වුනොත් ඉතින් මරණය තමයි. ඒ බව අන්දරේ හොඳින් දන්න නිසා තමයි අන්දරේ තම බිරිඳ කරපු වැඩෙන් ගොඩක් බයටත් පීඩනයටත් පත් උනේ.

ඔන්න ඉතින් ඒ සිදුවීමත් වෙලා තියෙන්නෙ රජ වාසල මූලික කරගෙනම තමයි.  කීර්ති ශ්‍රී  රාජසිංහ රජතුමානේ ඉතින්  මේ කාලේ  හිටපු රජතුමා. ඕනෑම කෙනෙක්ට නින්ද කියන දේ ඉතාමත් අවශ්‍යයම දෙයක් නේ. ඉතින් රජතුමාටත් නින්ද නොයෑමේ ගැටලුවක් මතු උනාලු. ඒ කවුරුත් නිසා නෙවෙයි රජවාසයේ පොකුණක හිටිය ගෙම්බෙක් නිසා.ඉතින් රජතුමා ඉතින් දහවල් කාලයේ රාජ සභාවේ කටයුතු සිදු කරලා මහන්සිය නැති වෙන්න කියලා රෑට හොද හැටි නිදාගන්න තමයි හිතන්නේ. ඒත් ඉතින් රජතුමාට දින කීපයක ඉදලා නින්ද යන්නෙ නෑ. ඒකට හේතුව තමයි නින්ද යාගෙන එනකොටම පොකුණෙ හිටපු ගෙම්බෙක් එලි වෙනකම්ම හයියෙන් කෑ ගහනවා. ඉතින් මේක රජතුමාට මහා වදයක් වුනා. එක දවසකින් මේ කරදරය ඉවර වුනේ නෑ. දිනපතාම මේ කරදරය නිසා රජතුමා හිටියේ ලොකු පීඩනයකින්. රජතුමාට රෑට නිදාගන්න ලැබෙන්නේ නෑ මේ මැඩිය නිසා. ඉතින් ඒක නිසා රජතුමා දවල්ට රජ වාසලට ආවම නිදි කිර කිර තමයි හිටියේ.

බැරිම තැන රජතුමා මේ කාරණය රාජ සභාවේ හිටපු මැති ඇමතිවරුන්ටත් කිව්වා. ඉතින් මැති ඇමතිවරු තීරණය කරා මේ මැඩියාව කොහොමහරි මරන්න ඕන කියලා. එහෙම හිතලා දක්ෂ දුනුවායෝ කිහිපදෙනෙක් ම රජ වාසලට ගෙන්වලා නිදි වරාගෙන මැඩියාව දඩයම් කරන්න හිතුවා.  ඉතින් දවස් ගානක් ගියත් ඒ කිසිම දුනුවායෙක්ට මේ මැඩියව මරන්න බැරි වුණාලු .

ඉතින් බැරිම තැන ඇමතුවරු තීරණය කළා අණබෙරයක් යවන්න. ඉතින් අණබෙර කාරයෙක් ගෙන්වලා මේ පණිවුඩය රට පුරාම ගෙනිච්චා. රජතුමාගේ විලේ ඉන්න මැඩියා මරණ තැනැත්තෙකුට රන් රිදී ආදි වස්තු දෙන බවත් ඒ අණබෙරකාරය දැනුම් දුන්න. ඉතින් ඒ අණබෙරකාරයා නුවර දනව්ව පුරාම ගියත් මේ මැඩියෙක් මරන්න කවුරුත් ඉදිරිපත් වුනේ නෑ. ඔන්න ඔය අතරවාරේ තමයි අන්දරේගෙ  බිරිඳගේ කෙරුවාව ඉස්සරහට එන්නෙ.

අන්දරේගේ බිරිඳත් අන්දරේ තරම්ම කවටයෙක් වුනේ නැතත් ඇයත් අන්දරේට දෙවැනි වුණේ  නම් නෑ. අන්දරේට හොඳ වැඩක් කරන්න ඕන කියල බිරිඳට හිතුනා. අන්දරේට විහිලුවක් කරන්න තියෙන හොඳම අවස්ථාව මේක කියල හිතපු අන්දරේගේ බිරිඳ අණ බෙරකාරයව නවත්වලා හිනාවෙලා කීවලු “ආ ඕක කරන්න අපේ අන්දරේට පුළුවන්. ඒ බව රජවාසලට දන්වන්න ” ඉතින් මේ කතාව අහපු අණබෙරකාරයත් ඉතාම සතුටු වුණා දවස් ගානක් රටපුරා ඇවිද්දත් කෙනෙක් හොයා ගන්න බැරි වුනත් අවසානේ කෙනෙක් හම්බ උනානේ කියලා. ඉතින් ඒ බව අණබෙරකරු රජුට කිව්ව. රජතුමත් ඉතාමත් සතුටට පත් උනා. අන්දරේගේ හැකියාවන් බලන්න රජතුමාටත් විශේෂ ආශාවක් ඇති වුණා.

ඒත් මේ කිසිම දෙයක් නොදන්න අන්දරේ වටින් ගොඩින් මේ කතාව දැන ගත්තෙ පහුවෙලා. ඒක අහපු අන්දරේට හීන් දාඩිය දාන්න ගත්තා. තම බිරිඳ කරපු දේ ගැන කේන්තියක් ආවත්  ඒක යටපත් කරගෙන කොහොම ද මේක කරන්නෙ කියලා හිත හිතා හිටියා. අන්දරේට මේක මොන තරම් පීඩනයක් ද කිව්වොත් ඔහු කෑම බීම පවා ගන්නෙ නැතිව බලාගත් වනම බලාගෙන හිටියලු. බිරිඳ කෑම බීම පවා ගෙනත් දුන්නත් අන්දරේ ඒවා ගත්තෙත් නැතිලු. නිකටට අත තියාගෙන ගෑණි මැරුණු මිනිහා වගේ කල්පනා කරගෙනම හිටියලු. “ගෑණියෙක් නිසා මට උන විනාසයක්” කියලා නිතරම අන්දරේට හිතෙන්න ගත්තා. තමන්ගේ බිරිඳගේ මෝඩකම ගැනයි කපටිකම ගැනයි හිතනවට වඩා අන්දරේ හිතුවේ කොහොමද මේ මර උගුලෙන් ගැලවිලා ජීවිතේ බේර ගන්නෙ කියලා.

අන්දරේගේ පිළිරුව

මේ ඔක්කොම ඉතාමත් හොඳින් බලාගෙන ඉඳපු අන්දරේගේ බිරිඳ ළගට ඇවිත් හිනාවෙලා අන්දරේට මෙහෙම කිව්වලු. “ මොකෝ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ. ඕක ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ රජ වාසලට යන්න ලෑස්ති වෙනවා. කරන්න ඕන දේ මන් කියල දෙන්නම්”. ඉතින් බිරිඳගේ දිරි ගැන්වීමත් එක්ක අන්දරේට තරමක සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. ඒ එක්කම අන්දරේ රජ වාසලට ගියා. ගිහින් මැඩියා මරන්න සුදුසු දිනයකුත් ඉල්ලගෙන  නැවත ගෙදර ආවා. ඉතින් මේ මැඩිය මරන්න තීරණය කර ගත්ත දවස තමයි අමාවක දවස. අන්දරේ හොඳින් පුරුදු පුහුණු වෙලා දුනු ඊතලත් අරගෙන බිරිඳ දුන් බත් මුලත්  අරගෙන රජ වාසලට ගියා. ඉතින් රජතුමත් ගොඩක් සතුටු වෙලා අන්දරේට රාජපුරුෂයෝ දෙන්නෙකුත් දුන්නා. පස්සෙ ඉතින් තුන් දෙනාත් එක්කම මැඩියා ඉන්න විල ලගට ගියා. ටික වේලාවක් ඉන්නකොට මැඩියා හෙමින් පුරුදු විදියටම ශබ්ද කරන්න පටන් ගත්තා. අන්දරේ හොඳින් මැඩියා ඉන්න ඉසව්ව තේරුම් ගත්තා. එහෙම තේරුම් අරන් විල ළඟ තිබුණු ගලක් උඩට ගිහින් දුන්න ඇදලා ඊතලයෙන් වතුරට විද්දා. විදලා ටික වෙලාවක් අහගෙන හිටිය ආයෙත් මැඩියා කෑ ගහනව ද කියලා. බැලින්නම් මැඩියගෙ ශබ්දය නෑ. අන්දරේ රාජපුරුෂයන් දෙන්නට කිව්ව විලට බැහැල ඊතලය අරන් බලන්න කියලා. ඔන්න එතකොට තමයි දැක්කෙ වැඩේ. අර කරදරකාර මැඩියා ඊතලයේ කෙළවර ඇමිණිලා හිටියලු. ඉතින් එදායින් පස්සෙ රජතුමාගේ නින්දට බාධාවක් වුණේ නැහැලු. මේ පුවත  අහපු රජතුමා ගොඩක් සතුටට පත් වෙලා පහුවදා රාජ සභාවේ දී අන්දරේට ගරු බුහුමන් පවා දැක්වුවාලු. එම සේවය අගය කිරීමක් වශයෙන් අන්දරේට  “සද්ද විද්ද පළග පතිර” යන බුහුමන් නාමයක් පවා ප්‍රධානය කළා. ඉතින් අන්දරේට මෙම ගරු නාමය ලැබීමේ මුල් ගෞරවය හිමි වෙන්න ඕන අන්දරේගේ බිරිඳට. මොකද මැඩියා මරාගන්න බැරි වෙයි කියලා බයෙන් ගැහි ගැහි හිටපු අන්දරේට එම කාර්ය කරන්න උපදෙස් දුන්නෙත් අන්දරේගේ ආදරණීය බිරිඳමනේ. ඒ වගේම තමයි කිසිම දේකින් සැලෙන්නෙ නැති ගල් හිතක් තිබ්බ අන්දරේගේ හිතට මර බිය ගෙන දුන්නෙත් මේ ඔහුගේ ම ආදරණීය බිරිඳ බව අමතක කරන්න එපා. ඒ කොහොම උනත් අන්දරේට බියක් ඇති කරලා හරි ගරු නාමයකුත් බිරිඳ අන්දරේට අරන් දුන්න නේ.

උපුටා ගැනීම:  W. නිරාෂා නේරංජනා
B. A. in History

                    The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!