අදින් දහ නම වසරකට පෙර ඇය මා හැර ගියාය. දහ නම වසරකට පෙර, එනම් අපේ ප්‍රේම කතාව අවසානය කරා ළඟාවූ ඒ අවසනාවන්ත දිනයේදීත් ඇගේ මුවෙහි, මට බෙහෙවින් හුරුපුරුදු, එහෙත් කිසිදු දිනෙක තේරුම් ගැනීමට නොහැකි ගුප්ත වූත් සුන්දර වුත් ඒ සිනහව රැඳී තිබුණි.
මා වෙත පැමිණි ඇය, ඇයටම ආවේනික වූ සංයමයකින් යුතුව අපේ ප්‍රේමය ඈවර කිරීමේ ඒක පාර්ශවීය සංවාදය ආරම්භ කළාය.
ප්‍රේමවන්තයෙකු ලෙසින් මා කෙතරම් හොඳ අයෙක්දැයි කියමින් ඇය සිය කරුණු දැක්වීමට අවශ්‍ය පූර්විකාවට මැනවින් එළැඹුණාය. අනතුරුව අපේ සම්බන්ධය යථාර්තයක් නොවන්නේ ඇයි දැයි? මැනවින් පැහැදිලි කළාය. යහපත් දියණියක් ලෙසින් මවුපියන්ට අකීකරු වීමට නොහැකි බව කියූ ඇය…. අවශ්‍ය නම් දෙමවුපියන්ගේ අකමැත්ත පිට මා සමග ඒමට හැකියාවක් ඇතත්, නංගිලාට ආදර්ශයක් විය යුතු නිසා එය කළ නොහැකි බව පැවැසුවේ අපේ පේ්්රමය යථාර්තයක් වීමට තිබූ සියලුම හිඩැස් ශූර ලෙස ආවරණය කර දමමිනි. එහෙත් සැබැවින්ම ඇයට නංගිලා නොමැති බවත්, ඇත්තේ ඥාතී නැගණියන් පමණක් මම දැන සිටි අතර, එය විමසීමට තරම් සිහි කල්පනාවක මම ඒ මොහොතේ නොසිටියෙමි.
අනතුරුව ඇගේ මව සහ සිය හත්මුතු පරම්පරාවම තමා වෙනුවෙන් කළ කැප කිරීම් ගැන මහත් භක්තියෙන් කතා කළ ඇය “මට ඔයාට වඩා ඒ අය වටිනවා” යැයි පැවැසුවේ සංවාදය ආදර්ශමත් දියණියකගේ භූමිකාව වෙත සීරු මාරු කරමිනි.
ඒ වන විටත් ඇය විවාහ වීම සඳහා කෙනෙකු තෝරාගෙන ඇති බවත්, ඔහු සෑම දිනකම සවස ඇයගේ නිවෙසට පැමිණෙන බවත් මට දැනගැනීමට ලැබී තිබුණු අතර, අවසානයේදී එය විමසීම සඳහා දෙතොල් විවර කරගැනීමට මට හැකියාවක් ලැබුණි. එහෙත් එම ප්රශ්නය ඇය මග හැර ගියේ “ඔයාට කැමැති දෙයක් හිතාගන්න” යැයි පවසමිනි.
ඒ ඇය සහ මා අතර ඇයගේ විවාහයට පෙර සිදුකළ අවසාන සංවාදය විය. එතැන් සිට ගෙවුණු මාස කිහිපය තුළ ඇය සිය විවාහය සඳහා මහත් උනන්දුවෙන් සූදානම් වූ අතර, එම කාලය තුළදී ඇය කෙතරම් වේගයෙන් මා අමතක කළාද යත්, ඇතැම් දිනක අප මග තොට මුහුණට මුහුණ හමුවුණත්, මා හඳුනා ගැනීමට තරම්වත් මතකයක් හෝ උනන්දුවක් ඇය වෙත තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි.
මේ කාලය තුළ ඇය මා කිසි දිනෙක නොදැන සිටි හාත්පසින්ම වෙනස් චරිතයක් බවට පත්ව සිටියාය. මිනිසෙකුට මෙතරම් ඉක්මනින් අතීතය අමතක කළ හැකි බව මා දැනගත්තේ ඇය ගෙනි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති වන සම්බන්ධයක් සෑම විටම විවාහයකින් කෙළවර විය යුතු බව මා කිසිවිටෙකත් සිතන්නේ නැත. කලක් ආදරයෙන් බැඳී සිට, එහෙත් නොයෙකුත් හේතූන් නිසා දෙපසට ගිය පෙම්වතුන් ගැන කතා මා ඕනෑ තරම් දැක අසා ඇත. එහෙත් ඇය මා දමා ගිය ආකාරය ගැන අද පවා මා සිහිකරන්නේ මහත් විමතියකි. අප අතර තිබූ සියලු මතකයන් පැය 24 ක් තරම් කෙටි කාලයක් තුළ ඇය අමතක කළේ, කිළිටි ඇඳුමක් ගලවා ඉවත් කරනවාට වඩා පහසුවෙන් යැයි අද මට සිතේ.
ඇය විවාහ වුවද, ඇය ගැන මතකය අමතක කිරීමට මට බොහෝ සෙයින් අසීරු විය. අදටත් මා සිතන්නේ මා ජීවිතයේ ගෙවා දැමූ අතිශයම දුෂ්කර අවදිය එය බවය. වාසනාවට මෙන් මාව හොඳින් තේරුම් ගත් මිතුරු කැලක් එදවස මා වටා සිටියහ. ඇය ගැන අමතක කිරීමට මා කළ සෑම දෙයකදීම ඔවුන් බැන බැන හෝ මා සමග විය. පැය ගණන් කල්පනා කිරීම, සිහි විකල් වන තෙක් මත්පැන් පානය කිරීම සහ සැළසුමක් නොමැති ගමන් බිමන් ඇතුළු නොයෙක් අත්හදා බැලීම්වලින්වලින් අනතුරුව, අවසානයේදී ඇය ගැන මතකය හදවතේ පැත්තක තබා ජීවිතය එතැන් සිට ඉදිරියට ගෙන යාමට මා හට හැකිවිය. එහෙත් අවාසනාවකට එය අපේ කතාවේ අවසානය නොවීය.
විවාහයෙන් වසරකට පමණ පසුව, හදිසියේම දුරකථන ඇමැතුමක් දුන් ඇය මගේ සුවදුක් විමසා සිටියාය. පසුව මා අතහැර දමා යාම ගැන ඇය සමාව ඉල්ලා සිටියාය. මුලදී මගේ අකමැත්තෙන් ආරම්භ වූ මෙම දුරකථන සංවාදය කල් යාමේදී නැවතත් අපේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්විය. ඒ සමගම ඇය නොමැතිව, අසීරුවෙන් මා ගොඩනගා ගෙන සිටි ලෝකයේ පාලනය මට නොදැනෙන ලෙස නැවත වරක් ඇය සූක්ෂමව තමන් වෙත පවරා ගත්තාය. මේ සියලු දේ සිදුවෙද්දීත් මා දෑස් නොපෙනෙන මෝඩයෙකු මෙන්ම ඇය ගැනම සිතමින් සිටි බව මට වැටහෙන්නේ දැන්ය.
අවසානයේදී ජීවිතයේ තීරණාත්මක මොහොතකදී ඇය නැවත වරක් ඇගේ ලෝකය වෙත ගිය අතර, එවර නිදහසට කාරණාව ලෙසින් ගෙනහැර දැක්වූයේ දරුවන්ගේ නාමයෙන් එය කළ යුතු බවයි එහෙත් මේ කාලය තුළ මම මහත් වෙර වෑයමෙන් ගොඩනගා ගත් සහ, මගේ ජීවිතයේ ඉතිරිව තිබූ සෑම දෙයක්ම විනාශ වී ඇති බවත්, ඊට වගකිව යුත්තේ ඇය බවත් ඇය හිතා මතාම අමතක කළාය.
ඒ මූසල දිනයෙන්, එනම් ඇය මා හැර ගිය දිනයෙන් දහ නව වසරකට පසුව අද, ඇගේ මතකය ගණනකට නොගෙන ජීවිතයට මුහුණ දීමට මට හැකියාවක් ලැබී ඇත. මේ නිරර්ථක සම්බන්ධය හේතුවෙන් මට නැතිවූ දේවල් ගැන නොසිතා සිටීමට අද මට හැකියාවක් ලැබී ඇත. දැන් මා ඇය දෙස බලන්නේ වෛරයකින් නොව උපේක්ෂාවකිනි. එහෙත් ඇයගෙන් ලද අත්දැකීම් නිසා ආදරය වැනි කාරණාවලදී මා තුළ ඇති විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි ලෙසින් විනාශ වී ඇති බවක් මට සිතේ. ඇයගෙන් පසුව, කාන්තාවන් බොහෝ දෙනෙකු මගේ ජීවිතයට සම්බන්ධ වූ අතර, ඔවුන්ගෙන් සමහරක් ඉතාමත් ගුණයහපත් ගතිගුණවලින් යුක්තවූවෝ වෙති. එහෙත් ඒ කිසිවෙකු සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයක් තබා කටයුතු කිරීමට මම අපොහොසත් වූ බව දැන් මට සිතේ. ඊට හේතුව මීට වසර 19 කට පෙර, ගැහැණුන් සම්බන්ධයෙන් මා ලද ඒ අමිහිරි අත්දැකීම බවද කිව යුතුය.
කෙසේ වෙතත්, මා අරඹයා ඇය කළ රංගනය ගැන එක් කරුණක් හැර අනෙක් සියලුම දෑ අද මම වටහා ගෙන ඇත. මට තවමත් වටහාගත නොහැක්කේ එක් දෙයකි. ඒ මේසා විශාල රංගනයකින් සහ රැවටීමකින් ඇයට ලැබුණේ කුමක්ද? යන්නය. ඉන් ඇයට අත්වූ වාසිය කුමක්ද යන්නය. ඉන් ඇයට විශේෂ වාසියක් හෝ සතුටක් ලැබුණිදැයි මා අදටත් දන්නේ නැත. ඉඳහිට දිනෙක ඇය, ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනා සමග මග තොටදී මුහුණට මුහුණ හමුවන අවස්ථාවකදී ලැබෙන තත්ත්පර කිහිපයක් තරම් දිගු නිමේශයේදී පවා මා ඇගේ මුහුණ දෙස විමසිලිමත්ව බලන්නේ ඒ මුහුණේ සතුටක, සිනහවක, ආඩම්බරයක් හෝ දුකක සේයාවක් ඇතිදැයි හඳුනා ගැනීමටය. අවසනාවකට මෙන්ම ඇගේ මුහුණේ දැන් පෙර මෙන් කිසිදු ජීවමාන හැඟීමක සළකුණක්වත් ඉතිරිව නැත. ඇයට සතුටක් ලැබුණි නම්, ඒ ගැන සිතා මටත් සතුටු විය හැකිය. ඉතින් නැවත දිනෙක ඇය තනිවම හමුවුවහොත් ඇයගෙන් විමසීමට ප්‍රශ්නයක් ඇත. ඒ “ රංගනයකින් සහ රැවටීමකින් අනතුරුව ඇයට ලැබුණේ කුමක්ද?” යන්නය. එය ඇයගෙන් විමසීමට මට අයිතියක් ඇත. ඒ ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ව විනාශ කර දැමූ ජීවිතයේ අයිතිකාරයා “මම” වන නිසාය.
– අනිල් කරුණාරත්න –