ජීවිතේ මතක පොතෙන් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට වයස අවුරුදු අට වූ කාලයේ, පානි අයියා සහ ධම්මික අයියා කමිල් පෙදෙසේ අපි පදිංචිව සිටි නිවසේ නාන කාමරයේ වහලට තාප්පයෙන් ගොඩ වී, ඉන් පසු ගෙදර වහලට ගොඩවී, වහල හරහා ගෙදර ඉදිරිපස වූ පෝටිකෝවට ඇවිත්, එතනින් බිමට පැනීම සෙල්ලමක් කරගෙන තිබුනි. මටත් එය කිරීමට ඕන බවත් ඒත් එය කිරීමට බය බව ඔවුන්ට කී විට, ඔවුන් මාව තාප්පයට ඔසවා එතනින් නාන කාමරයේ වහලට නගින්නටත් සහයෝගය දුන්නේ ආදරනීය වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් සේ යි. වහල උඩින් ඇවිත් පෝටිකෝවට ආ අප අතරින් පානි අයියා පලමුවෙන්ද, ධම්මික අයියා දෙවනුවද පැන මටත් පනින ලෙස කීවත්, පහල බැලූ මට බියක් ඇති වී අඬන්නට ගත් විට,
‘මල්ලි, බය නැතිව පනින්න, අපි දෙන්නා අල්ල ගන්නම්’
කිවූ නිසා ඔවුන් ගැන සීයයට සීයක් විස්වාසය තබා ඇස් දෙක පියා ගෙන පැන්න නමුත්, මා බිමට පතිත වූයේ අම්මාගෙ ඇන්තූරියම් පැල තිබූ මල් පෝච්චි දෙකක් කෑලි කෑලිවලට බිඳිමින්. ඒ සද්දයට අම්මා එලියට එන විට මගේ ආදරනීය සහෝදරයන් දිව ගොස් තිබුනු අතර, වැටී සිටි මා දැක
‘අනේ පුතා, තුවාල ද?’ කියා අම්මා අසාවි කියා බලාපොරොත්තු වූවත්,
‘මගේ මල් පෝච්චි දෙක කැඩුව නේ’
කියා අම්මා කී විට රිදීමට වඩා මම හැඬුවේ අම්මා මා ගැන නොවිමසා ආපසු හැරී ගේ ඇතුලට ගිය නිසයි. මගෙ අතක් පයක් නොකඩා මාව ආදරයෙන් බලාගත් මගේ සහෝදරයන්ට අදත් ස්තුතිවන්ත වෙමි.
අපි සමග නිතරම සෙල්ලමට ආ පුංචි අක්කා හදිසියේම කාමරයක් ඇතුලේ සිර කර තැබීම ගැන ප්රශ්න කල මට අම්මා කීවේ
‘පුතා, අක්කට උණ හැදිලා’ කියලයි.
මගේ පුංචි හිතට ආවේ
‘ඒත්, අපිට උණ හැදුනම කාමරේ දොරවහල තියන්නෙ නැහැ නේ. ඒක එහෙනම් දරුනු උනක් වෙන්නැති. හරිනේ අපිට සෞඛ්යයට ඉගෙන්නුවේ ඩෙංගු උණ කියල එකක්. ඒක තමයි පුංචි අක්කට හැදිලා තියෙන්නේ’ යන්නයි.
පසුව දවසක සෞඛ්යය ඉගැන්වූ සූරියපටබැඳි ටීචර්ට පුංචි අක්කාට ඩෙංගු උණ සෑදි ඇති බව කිව්වේ, ඇය ඒ ලෙඩේ ගැන කලින් අපට කියා දී තිබුනු බැවින්.
ඇය පුදුමයට පත් වූ බවක් පෙන්වා
‘ආ ඇත්තද ?’ කියා කතාව නතර කලා ය.
සති දෙකකට පමන පසු දිනක, අම්මා ගුරුවරුන්ගේ රැස්වීමකින් පසු ගෙදර ආ විට
‘පුතා පුංචි අක්කට ඩෙංගු උණ හැදුනා කියලා පුතාගෙ ටීචර්ට කිව්ව ද?’
‘ඔව්, ඇයි අම්මා පුංචි අක්කා කාමරේ දාලා දොර වහල තිබුනේ’
‘මම කිව්වේ උන හැදිල කියලනේ’
‘ඒ වුනාට ඒක නිකම් උණ වෙන්න බැරි නිසයි මම ටීචර්ට එහෙම කිව්වේ’
අම්මා සිනා සුනා පමනි. පසු කලෙක ඇය වැඩිවියට පත්වීම නිසා එසේ කල බව මට දැනුම සැපයූ වැඩිමහල් සොහොයුරන් පහදා දුන් හ.
කාගේත් සුරතලයට පාත්ර වූ චූටි නංගීට මම විහිලු කලේ
‘චූටි, ඔයාටත් ඩෙංගු උණ හැදෙයි නේ?’
කියමින්. චූටිට අනික් අයියලා වද දුන් විට විශේෂයෙන්ම ඇගේ කම්මුල් මිරිකූ විට (කම්මුල් මිරිකීමේ ක්රියාවට ‘නජ්ජ’ කිරීම යනුවෙන් නම් කර තිබුනි), විහිලු කල විට තරහ ගියත්, මට ඇය සාමාන්යයෙන් බැන්නේ නැත. එහෙත් එදා තරහ ගොස්
‘පලයං යන්න’
කියා කිව්වේ ඇයත් ඒ ගැන දැන සිටි නිසා වෙන්නැති.
නංගී ඇයගේ ගණිතය පාඩමේ ගෙදර වැඩට දෙන ප්රශ්න තේරුම් කරන ලෙස මගෙන් ඇසූ විට, එය තේරුම් කර දෙනවාට වඩා ඒවා කර දෙන එක අප දෙදෙනාටම වඩා පහසුවීම නිසා එය කර දීම පුරුද්දක් වී, මම ඇය වසර දහය වෙන තෙක් එය කලෙමි. පන්තියේ ගුරුවරුන් නිතරම හොඳ ලකුනු ගන්නා අංජලී වාර විභාගයෙන් අඩු ලකුනු ගැනීම ගැන පුදුමයට පත්වූවත් මටත් නංගීටත් එය පුදුමයක් නොවී ය. මා කල දෙයින් ඇයට හොඳක් නොව වරදක් වූ බව දැනගන්නා විට ප්රමාද වී තිබුනි.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!