සංජුලයා ගැන එක පාරක් හෝ ලිවිය යුතුය.සංජුලයා ගැන ලිව්වේ නැත්තම් වැඩක් නැත.සංජුලයා ට දැන් හරි ගිහින් ය.ඌ දැන් හෙන ඉංජිනේරුවෙකි.ඒ හන්දා ඌ අපිව ගනන් ගන්නේ නැත.උගේ දැන් හෙන ලයින් ය.ඌ ආයේ හම්බුනු වෙලාවක දෙකක් කිව යුතුය.කෙසේ වෙතත් සංජුලයා වටා මෙව්වා උනු අපගේ රිවිසන් කතාව මෙසේ ය.කතාව කොටස් දෙකකි.මුලිම්ම රිවිසන් ජීවිතේ ගැන කියා,ඊට පස්සේ සංජුලයා ගැන කියන්නෙමු.පුලුවන්නං අන්තිම වෙනකංම කියෝනමෙන් ඔබතමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිමු.
සංජුලයා අපේ ඉස්කෝලේ නෙවේ ය.ඒත් කතාන්දරයේ වෙනසක් නැත.ඉස්කෝලේ යන කාලේ කරන්නට තියන සෑම දහ අට පාලියක්ම පාහේ නටා මස්ත බාල්දු වී නන්නත්තාර වී සිටි අපි සෑමදෙනාම (අපි යනු මාත්,සංජුලයාත්,සංජුලයාගේ නිවුන් සහෝදර මල්ලී මින්දුලයාත්,හෙට්ටියාත්,මලින්දයාත්,දොස්තරයාත්,ඇටයාත්,තුසිතයාත්,කවිඳුත් ය.කවිදුයි හෙට්ටියායි ආවේ පස්සේ ය.) කොහෙන් හරි කැරකී සෙකන්ඩ් සයි එකේදී ජනක සර්ගේ කෙමිස්ට්‍රි රිවිසන් පන්තියට පාත් වූයෙමි.පන්තිය නව මොන්ටානා එකයි.ඒක තියෙන්නේ ගම්පහින් ජා ඇල පාරේ ය.විශ්වාසනීය වෙනසක් සඳහා ඕන්නං ඔබටත් අදම නව මොන්ටානා එකට ගොස් ජීවිතේ ජය ගත හැක.හැබැයි සමහර කොටස් වලට යන්නට වෙන්නේ නහය වසාගෙන ය.ඔබට කොරෝනා හැදී ගඳ සුවඳ නොතේරෙන්නේ නම් අවුලක් නැත.ඒ ඇරෙන්නට වැසිකිලියට එහෙම යන්නට බැරි ය.හැබැයි වැසිකිලිය VIP ය.සුන්දර වෙල් යායේ මද පවනේ පහස විඳිමින් රාජකාරිය කරගත හැක.මොන්ටානා එක අපිට ගෙදර වගේ ය.ගම්පහ දී මොනවාහෝ අකරතැබ්බයක් උනොත් පිහිට පතන්නට පවා ඉස්සර අපි යන්නේ නව මොන්ටානා එකටය.වැස්සේ පින්නේ අවුවේ අමාරුයි නං ගෙදර යන්ඩත් බෑ වගේ නං මොන්ටානා එකේ කොහේ හෝ අස්සක බංකුවක් උඩට වී ඇලට් එකක් දාගෙන ඉන්නෙමු.නව මොන්ටානා එකේ ජ්‍යෙෂ්ඨ මහා කලමනාකරු ගයාන් අයියා ය.ගයාන් අයියාගේ නෝනා ප්‍රභා අක්කා ය.අපි ඉතිං අයියා අක්කා කියා කීවාට ඕන්නං අපේ අම්මලා තාත්තලාට වඩා අවුරුදු හතක් අටක් බාල වන්නට ඇත.ගයාන් අයියාත් ප්‍රභා අක්කාත් අපිට හරි ආදරේ ය.නව මොන්ටානා එකේ වැඩිහරියක් තියෙන්නේ ටෙක් පන්ති ආට් පන්ති ය.සයන්ස් පන්ති අඩු ය.කෝමහරි අපි සයන්ස් කාරයෝ ය.(ගැම්මට) ඒ කෙසේ වෙතත් අපි හරියට දන්නා මෙලෝ විද්‍යාවක් නැත.(සංජුලයාට පිස්සු උව ද ඌ මීටරේ ය.උට පුළුවන් ය.)
Theory කාලේ අපි බහුවරණ මාක් කලේ සම්බාවිතාව බලා ය.එක්කෝ ප්‍රස්නයේ සිංහල අක්සර වින්‍යාසය බලා ය.වන්නේ නොවන්නේ බලා මොකක් හරි වැරදි ලයින් එකක් පෙනෙන්නේ නම් කපා දැමීමෙන් ය.ඒ කාලේ අපේ විද්‍යා අධ්‍යාපනයේ මට්ටම ඒකය.ඒත් එකපාරක් කෙල වූ පසු,අප දන්නා ලබ්බක් නැති බව අපි තේරුම් ගත්තෙමි.අඩුගානේ නොතේරෙන බව තේරෙන එකද හොඳ ය.(සංජුලයා පන්ඩිතයා ය.උට තේරෙන්නේ ය.)
අපේ රිවිසන් පන්තියේ එච්චර ලමයි හිටියේ නැත.ලමයි චුට්ට ය.ඒ පන්තියේ අපිට ජීවිතේ වෙනස් කරන ගුරුවරයෙක් සිටියේ ය.ඒ ජනක සර් ය.ජනක සර් මාර පොරකි.වංගු දෙකක් ගසා ඕනෑම බර විශය කරුණක් ඇඟට පතට නොදැනී ඔලුවට දැමීමේ මැජික් හැකියාවක් ඔහු සතු ය.ඔහු එය කරන්නේ කෙසේදැයි අපි දන්නේ නැත.හැබැයි ඒ පන්තිය මාර ආතල් ය.ජීවිතේ හොඳම රසවත් කාලයක් ගෙවුනේ ඔය පන්තිය ඇතුලේ ය.අපි සර්ගේ හොඳ සිස්යයෝ ය.(සංජුලයා කොහොමත් හොඳම සිස්යයා ය.ඌ හෙන බකපන්ඩිතයා ය.)
පන්තියේ අපි පිස්සෝ මෙන් වැඩ කරන්නේ නැත.කරන්නේ ටික ය.ලියන්නේ පේලිය දෙක ය.හැබැයි ඒ ක්‍රමය ටක්කෙටම වැඩ කලේ ය.(මේක කියෝන කාටහරි අපි කරපු විදියට ම කරන්නැයි මං කියන්නේ නැත.බයි ද වේ අපි කලේ එසේය.ඒක අපිට හොඳට මෙව්වා උනේ ය.) කම්මැලි හිතුනාම පාරෙන් එහා පැත්තේ ඇන්ටිගෙ කඩේට ගොස් මුරුක්කුවක් දෙකක් කකා කිරි පැකට් එකක් බී කඩේ අක්කාට කෝචොක් එකක් දමා එන්නෙමු.දවල්ට ගොස් ගම්පහ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මාතරෙන් කන්නෙමු.මාතරේ කෑම සුපිරි ය.ආයේ ලොවෙත් එහෙම රහක් නැත.කොල්ලෝ පිගන් අතේ තියාගෙන උනු උනුවේ ම කන්නේ ය.මේ කරුම කොරෝනාවක් හන්දා මාතරෙන් කන්ඩත් නැත.නැත්තං අද මාතරේ පාටියක් දාන්නට හොඳ රාජකීය හේතුවක් ඇත.හේතුව පසුව කියන්නෙමු.ඉස්සර අපි ආසම දවස අඟහරුවාදා ය.අඟහරුවාදා මුලු දවසම අපි මොන්ටානා එකේ ය.උදේ හතට විතර ආ පසු,ආයේ යන්නේ හවස හතට විතර ය.උදේ වරුවේ සර් උගන්නයි.උගන්නනවා කිව්වාට උගන්නේ ම නැත.නිකං කතන්දර කියයි.(කොටුවේ පොඩි සාදු ගේ කතා වගේ නොවේ.විශයට කොහෙන් හෝ කෙරෝලකින් ගෑවෙන කතා කියයි.) අපි අහං ඉන්නෙමි.ඔය අතරට අර පේසුරු පොඩි mcq පොත කරන්නෙමු.සර් ඇවිත් අපිත් එක්ක ඉඳගෙන කතා බහ කරයි.සර් හෙන බොක්ක ය.හවස් වරුවේ පේපරයක් එහෙම කෙරේ.ඒ අස්සේ ගහ යට තේ කඩෙන් ඇල්පන්ලිබෙ ටොපියක් හා මුරුක්ක්වක් කා කහට කෝප්පයක් බොනු ලැබේ.එක එවලෙට සුපිරියට සෙට් වෙන්නේ ය.සර් හිටපුගමං අපිට බොම්බයිමොටයි එහෙම අරං දේ.ඒ පන්තිය එහෙමය.හැමෝටම හරියන්නේද නැත.හැබැයි අපිට මල් මසුරං ය.
ඊලග පන්තිය නන්දන ගුරුතුමාගේ පන්තියයි.ඒකත් මොන්ටානා එකේම ය.නන්දන සර් ද මාර චරිතයකි.ඉහත කිව්ව ලෙස,ජීවිතේ වෙනස් කරන ගුරුවරු හම්බ වූයේ මේ කාලයේ ය.අපි සර්ගේ හොඳ ගෝලයෝ වන්නෙමු.තවත් වැදගත් දෙයක් මෙතනදී කියන්නටම ඕනෑ ය.නන්දන සර් රිවිසන් අවුරුද්දම මටත් සංජුලයටත් මින්දුලයාටත් හෙට්ටියාටත් ඉගැන්වූයේ නිකං ය.free card ඉල්ලා නොවේ.යාලු පිට් එකට ය.ඉතිං ඒකට සර්ට ඉස්තුති කරන්නට මං දන්නා බාසාවේ වචන මදි ය.සර් එහෙමය.සර්ගේ විශය නියම ය.භෞතික විද්‍යාවේ අපේ විශය පතය හා ඊට එහා කරුණු බොහෝමයක් A to Z සර් දන්නේ ය.අපිත් ඉතිං අපි ද දන්නේ යැයි හිතන්නෙමු.ඒත් අපි දන්නා මගුලක් නැත.බිංදුවෙන් බිංදුව ඉඳිකටු තුඩෙන් තුඩ වගේ හීනි දේවල් ගොඩක් ලස්සන්ට ඉගැන්වීමට සර් ට හැකි ය.
ඔය කාලයේ මාත් මලින්දයාත් තුසිතයාත් අනුරාධ සර්ගේ පිසික්ස් පන්තියට ගියෙමු.ඒ මොන්ටානා එකේ නෙවේ ය.අනුරාධ සර් කොල්ලා ය.විශය කෙල වී අනාත වී සිටින අපි වගේ ග්‍රවුන්ඩ් ලෙවල් ඒකේ උන්ගේ සිට,ටොප් ලෙවල් එක දක්වා බොහෝ දෙනා එගොඩ කරන්නට සර් සිරා කට්ටක් කයි.ඒකත් කියන්නට ඕනෑම ය.
අපි මොනවා හෝ කරගත්තා නං කරගත්තේ මේ ගුරුවරුන්ට පිං සිද්ද වෙන්නට ය.සමහර සර් ලා තමන්ගේ දායක සබාව වැඩිකර ගැනීමට ගසනා තුට්ටු දෙකේ ගේම් අපේ සර්ලා ගැසුවේ නැත.පන්තියක එක්කෝ ප්‍රසිද්ධ පාසලක් අල්ලාගෙන අමු අමුවේ හින්ට් ගහන්නා වගේ බෙලහීන ආතල් අපේ සර්ලා ගත්තේ ද නැත.වෙන ගුරුවරුන්ට බැන්නේ දොස් කිව්වේ ද නැත.ලමයින්ට හොඳට ඉගැන්වූවා පමණි.
එක රැයින් ඔන්ලයින් එන්ටපිනියර් කෙනෙක් වී ජීවිතේ ජයගන්නට අපිට පුළුවන් කමක් තිබ්බේ නැත.අපි මීටර් නොවෙමි.මීටර් තියා මෝටර් ද නොවේ.අපි වෙනම ආකාරයක අන්දබූත ජීවීන් ය.හැබැයි ඒ කෙසේ වෙතත්,මොනවා හෝ කර රෝලක් ගසා ගන්නට ඕනෑ යැයි අපිට ඒ කාලේ ඉදම්ම හිතී තිබුනි.ඒ පලමු වතාවේ පස්චාත්බාගය බිම ඇනී මේ විබාගයේ ආදීනව පල විපාක තේරී තිබූ නිසාවෙනි.ඒ කොහොම වෙතත් රිවිසන් කාලය පුදුම ආතල් කාලයකි.”මහත්තයෝ…මෙන්න මිනී මරනවෝ මහත්තයෝ ගයාන් මහත්තයෝ….”කියා තුසිතයා බොරුවට බෙරිහන් දෙද්දී බඩ අල්ලං හිනා වුනා වගේ දැන් අපිට හිනා යන්නේ නැත.මලින්දයා පන්තිවල අක්කලා නංගිලා හැමෝටම බේදයක් නැතුව “දුවේ…දුවේ..” කිය කිය චූස් ගාද්දී බලා හිටියා වගේ විනෝදයක් දැන් නැත.දොස්තරයාගේ on the spot විහිලු නැත.ඇටයා නංගිලා පස්සේ ගිහින් උන්ගේ කොල්ලන්ගෙන් ගුටි කන්ඩ යන්නේ නැත.අපේ ජීවිත වලට මොකද්දෝ එකක් වෙලා ය.එක්කෝ කොරෝනා ද නැත්තං වෙන මොකද්ද කියන්නට දන්නේ නැත.කෝමහරි සෑහෙන්ඩ මොනවදෝ වෙලා ය.
දැන් කියන්නට යන්නේ අපේ කතානායකයා වන සංජුලයා ගැන ය.ඉස්සර මුල් කාලේ මං වාඩිවෙන්නේ සංජුලයා ඉන්න පේලියෙන් නෙවේ ය.ඌට සමාජ දුරස්තබාවයක් ඈතිනි.ඒත් අර නිකං “ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව”වගේ කෝමහරි අන්තිමට මං සන්ජුලයාගේ පෝලිමටම ආවෙමු.පෝලිම කිවට ඔතන පෝලින් දෙකක් විතර තියෙන්නේ ය.ඔතන ඉන්නේ සංජුලයා පෙරටු කරගත් අපේ කොලු නඩයයි.සර් දෙන වැඩක් ඉවර කරගත්තාට පසු,අපේ වැඩක් කිරීමට අපිට බාදාවක් නැත.අපේ වැඩක් කිව්වේ වෙන වෙන වැඩ නෙවේ ය.අපි සෙට් එක ඒ වෙලාවට ගානක් දෙකක් හදන්නෙමු.(සංජුලයා කොහොමත් වැඩ්ඩා ය.)සංජුලයා අපි හදන ඒවල තියනා ප්‍රස්න විසදයි.මේ කොරෝනා ප්රස්නය උනත් ඌට විසදන්නට බැරිකමක් නැත.ඌ එච්චර පන්ඩිතයා ය.සර් ට ලගට කතාකර අපි බැරි දෙයක් තියනවානං අසා ගන්නෙමි.සංජුලයා අපිව නිකං තැබුවේ නැත.ඌ ඉන්න ගමං අපිත් එක්ක මොන මොනවාහෝ කලේය.(කෙල්ලන්ට මැසෙජ් ද කලේය.ඒක වෙනම කතාවකි) රිවිසන් කාලය පුරාම අපි අපිටම උගන්වාගත්තෙමු.අපි පුළුවන් තරං ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අසාගත්තෙමි.සංජුලයා මට උගන්නයි.මං සංජුලයා තරම් පන්ඩිතයා නොවුනත්,සංජුලයාටත් උගන්නන්නෙමු.ඌ පන්ඩිතයා උනාට උටත් හැමදේම තේරෙන්නේ නැත.වෙලාවකට ඌ මෝඩයා ය.ඔය අස්සේ දොස්තරයා පුළුවන් විදියට අපිටත් උගන්නයි.මින්දුලයාද මට උගන්නයි.ආයෙ මං මින්දුලයාට උගන්නන්නෙමු.මේ ක්‍රියාපටිපාටිය මුලු රිවිසන් අවුරුද්ද පුරාම නිකං ක්‍රියාත්මක විය.අපිට ඒ කාලේ එහෙම එකක් වනවාද කියා එච්චර තේරුනේ නැත.හැබැයි පස්සේ බැලූ විට,එතනින් ලොකු දෙයක් සිද්ද වී තිබේ.අපි ගෙදර ඉදන් පාස්ට් පේපර් ප්‍රස්න කරගන ගොස් සංජුලයා සමග සාකච්චාවක් දාන්නෙමු.සංජුලයා කවදාවත් ඌට පුළුවන් කියා ලොකු සයිලය දැමුවේ නැත.අපි නොදන්නා මගුලක් උගෙන් ඇසූ විට,මුලු දවස තිස්සේම හරි ඌ ඒක කියාදෙන්නේ ය.දවසක් එහෙම තාපගතිය ඌ මටයි මින්දුලයාටයි මුලු දවසක් තිස්සේ ඉගැන්නුවා වාගේ මට මතකය.මේ අවස්තාවේදී සෙකන්ඩ් ශයි එකේදී පුලු පුලුවන් වෙලාවට පන්ති දමා පිසික්ස් ප්‍රැක්ටිකල් කියාදුන් රශ්මින්ද අයියාවත් මතක් කල යුතුය.ඉතිං ඔන්න ඔහොම කොහොමින් කොහොම හරි මෙව්වා කල විට,පේපර් කාල්ස් එකේ ලකුනු එද්දී,පිසික්ස් එකේ නං සංජුලයා කොහොමත් පලවෙනියා ය.උට හැත්තෑවයි නං අපිටත් තිස් පහක් හතලිහක් විතර එයි.ඉතිං ඒ කාලේ එහෙමය.
සංජුලයාගෙන් පසු ලොකුම සංවාදය තිබුනේ මාත් මින්දුලයාත් අතර ය.අපිට තිබ්බ ලොකුම ප්රස්නය නම් සංජුලයා වගේ වෙන්නේ කවදාද යන්නයි.මින්දුලයාත් මාත් විවේක වෙලාවක් හම්බ වූ විට කරන්නේ අපේ කාලකන්නිකම සහ අපගේ හිඟන ශිෂ්‍ය ආර්තිකය ගැන සාකච්චාවක යෙදෙන එක ය.මේ එරී ඉන්නා වලෙන් ගොඩයන්නේ කෝමදැයි අපි කොච්චර හරි කතා කලෙමි.මින්දුලයායි මායි හුගක් වෙලාවට වැඩ කලේ එකට ය.ඌයි මායි නිකං එක මට්ටමේ වගේ ය.(සංජුලයා පන්ඩිතයා ය.)
සංජුලයා අපේ කොල්ලෝ ටිකට නිකං නැංගුරම වගේ වුණි.අපි රිවිසන් කාලය තුල මොක කලත්,ඒක රෙකමන්ඩ් කරන්නේ බොහෝ දුරට සංජුලයා ය.ඌ තනියෙන් වැඩ කලේ නැත.බැරි බැරි ගාතේ හරි අපිවත් ගොඩ දාන්නට ඌ පුළුවන් හැම වෙලේම සෑහෙන කට්ටක් කෑවේය.සංජුලයා අපේ කොල්ලන්ව උන්ගේ ගෙදර එක්ක ගොස්,කන්න බොන්න දී වැඩ කෙරෙව්වේ ය.පන්ති නැති දවස් වලට කොල්ලන්ව ගම්පහ ට ගෙන්නාගෙන,මොන්ටානා එකේ හිස් පන්ති කාමරේකට වී පේපර් සාකච්චා කලේය.සමහරක් වෙලාවට කන බොන ඒවාට පවා වියදං කලේ ඌ තනියෙන් ය.උගේ තියරිය වන්නේ උගේ අතේ සල්ලි හැමවෙලේම නැති බවත්,තියන වෙලාවට වියදං කරන බවත්,අපිට කට පු# පියාගෙන ඉන්නා ලෙසත් ය.උට 1st shy ප්‍රතිපල recorrection එකෙන් ජපුර ඉන්ජිනියරින් ආවේ ය.ඒ සතුටට අපි ගයාන් අයියාට සහ නව මොන්ටානා කාර්ය මන්ඩලයට කෝඩියල් බෝතලයක් ගෙනගොස් දුන්නා මට මතකය.සෙකන්ඩ් සයි එකේ ප්‍රතිපල වලින් සංජුලයා දිස්ත්‍රික් අට වෙනියා විය.මුලු කොලු නඩයම විබාගය හොඳට පාස් වී තිබුනි.මින්දුලයාගේත් මගේත් හෙට්ටියාගේත් ප්‍රතිපල පවා එකම ය.අපිට සංජුලයාට තරං ලොකු අකුරු තුනක් තිබ්බේ නැත.ඒත් අපි ගොඩ ගිහින් තිබුනේය.
සංජුලයා නිතරම කීවේ මං නිර්මාණසීලී පොරක් බවයි.ඒක ඉතිං අනේ මන්දා ය.ඒක දන්නේ සංජුලයා ය.හැබැයි මටත් ටිකක් එහෙම හිතී තිබුණි.සංජුලයා මුලු කාලය පුරාම නිතරම කීවේ උට උවමනා මං ආකිටෙක්කෙනෙක් වනවා දැකීමට කියාය.ඒ මොකද යත්,බයෝ කලාට මගේ ඊගාව කැමැත්ත තිබ්බේ ආකිටෙක් කෙනෙක් වන්නට වීම නිසාය.1st shy ප්රතිපලෙනුත් මං මොරටුව ආකිටෙක් යෝග්‍යතා පරීක්සනය ලියුවෙමි.ඒත් ඒක සමත් නොවුනෙමු.ඉතිං සෙකන්ඩ් ස්යි ප්‍රතිපල ආ පසු,දොස්තර හීනය පැත්තක තියා ,තුන් පාරක් නොකර,මට වැඩිපුර සෙට් වෙන්නේ යැයි කියා තේරුනු ඊගාව වැඩේට බැස්සෙමු.සෑහෙන කට්ටක් කා පන්තියකට එහෙම ගොස්,දෙවනිපාර යෝග්‍යතා පරීක්සනේ ලිව්වෙමි.මෙඩිසින් ඉල්ලූ පසු ඊගාව ප්‍රමුකතාව ලෙස දැම්මේ ආකිටෙක් ය.ඒත් ටෙස්ට් එක පාස් ඌ නමුත් දසම ගානකින් ආකිටෙක් ආවේ නැති ය.සංජුලයාට හෙන අවුල ය.
පස්සේ දෙවනි බෝට්ටු වටේ ආවේය.
මල් හත ය.ආකිටෙක් ආවේය.දැන් ඉතිං ඒක හරිය.ගියාට පස්සේ මොනවා වෙයිද දන්නේ නැත.කෝමහරි ගොඩදාගන්නට බලනවා ය.
ගෙදර කට්ටියට කීවාට පසු ඊගාවට කෝල් කරේ සංජුලයාටය.
දොස්තරයාත්,තුසිතයාත්,කවිඳුවාත්,ඇටයාත්,මලින්දයාත් ඉතාම සාර්තක ලෙස උන්ගේ පාරවල් වල මේ වෙනකොට යමින් සිටී.
ඉතිං ඒ අතුරු කතාවයි.වැදගත්ම කාරනේ ඒක නොවේය.දෙවනි වතාවෙන් පසු මින්දුලයාත්,හෙට්ටියාත්,තව පාරක් උත්සහ කලේය.ඊගාව පාරනං කෝමහරි කරන්නේ යැයි උන් දෙන්නාට යම්කිසි විස්වාසයක් තිබුණි.අන්තිමට සංජුලයා අපිට ඉගැන්නු පින උන් දෙන්නාට පලදුන්නේ ය.මේ රෙද්දේ කොරෝනාව නැත්තං මාතරේට ගොස් පාටියක් දාන්නට තිබුණි.ඊයේ හවස පැමිණි උසස් පෙල ප්‍රතිපලයෙන් මින්දුලයා දිස්ත්‍රික් 2 ස්තානයත්,හෙට්ටියා දිස්ත්‍රික් 3 ස්තානයත් ලබාගෙන ඇත.කල්ල මරේ ය.
සයන්ස් කරනවා කියන්නේ ලේසි කාරනාවක් නොවේය.සමහරුන්ට ඒකේ එච්චර අමාරුවක් නැත.බටර් බනිස් ලෙස තේරෙය(උදාහරණයක් :සංජුලයා) .අපි වගේ ගල්මූසලයන්ට ඔය බඩකඩෙත්තුව කොච්චර පොත උඩ තියාගෙන කියෙව්වත් තේරෙන්නේ නැත.පාඩම් කිරීම සහ වැඩකිරීම කියන්නේ දෙකකි.ඉගෙන ගන්නවා කියන්නේ පාඩම් කිරීම ම නොවේ.හරිහමං ගුරුවරයෙක් උගන්නවානම් ඉගෙනගැනීම මාර ආතල් එකකි.පාඩම් කිරීම කරුමයකි.එක එක්කෙනාට එක එක විශයන් සක්‍රීය වන්නේ එක එක විදියට ය.එක එක වෙලාවට ය.මට මහලොකු දෙයක් තේරෙන්නේ නැත.ඒත් මට තේරෙන දේ නම් හැම කෙනෙක්ටම තමන් දක්ෂ මොනයම්ම හෝ මාවතක් තියෙනා බවයි.ඊටත් වඩා වැදගත් දේ නම්,අනුවර්තනය වීමේ හැකියාවයි.පෙරලුනු පිට හැමවිටම හොඳ වන්නේ නැත.ඒත් පෙරලෙන පෙරලන වාරයක් ගානේ හිතන්නට ඇත්තේ මොන පැත්තට පෙරලුනත් තමන්ට ඕනෑ පැත්තට පෙරලාගන්නට තමාට හැකියාව ඇති බවයි.වැදගත් වන්නේ කරන දේ තමන්ගේ හැකි උපරිම ශක්තියෙන් කිරීමයි.එක එක්කෙනාගේ ශක්තිය එකින් එකට වෙනස් වන්නට පුළුවන.
අවුරුදු ගනනාවක් තිස්සේ ඇදි ඇදී,හැපි හැපී,බාල්දු වෙවී,අපිටම එපා වෙවී,ඒත් බලාපොරොත්තවක් ඇතිව ආ ගමන අද එලකිරි ලෙස කෙලවර වී ඇත.ඒ කාලේ බංකුවක් බංකුවක් ගානේ කරපු අනාගත අබිවුර්දිය ගැන සාකච්චා සෑහෙන දුරකට වැඩ කර තිබේ.කැම්පස් ගියා කියා මුලු ජීවිතේම සාර්තක වී ඩිස්නි ලන්තයක් මැවෙන්නේ නැත.ඒත් ඒ කැපවීමට,වැය කල කාලයට,වෙහෙසට,ඔවුන් ලබාගත් ජයග්‍රහණය පුදුමාකාර වටිනාකමකි.කැම්පස් නොගියා හෝ විබාගය කෙල උනා කියලා ජීවිතේ කෙල වෙන්නේද නැත.පොඩිකාලේ මං සෑහෙන බ්‍රයිටෙකි.ඒත් මං ජීවිතේ ඉගෙනගත්ත ලොකුම පාඩම නම්,පරාද වෙන්නට ඉගෙන ගැනීමය.උසස් පෙල කියන විබාගය නිකං කෝච්චුමාරියා කියන්නාක් මෙන් අපේ ඇතුලේ තියන දේවල් එලියට අරගෙන කනපිට ගැසුවේය.ඒත් ඒකේ සෑහෙන වටිනාකමක් ඇත.
ඉතිං මේ කතාව අන්තිම වෙනකං කියවූ කවුරුහරි වේ නම් ඔහුගේ හෝ ඇයගේ ඉවසීම ගැන බොහොත් අච්චාහේ ප්යාර් කරේංගේ වෙමි.මේක කියවූ මොනයම්ම හෝ පොඩි එකෙක් වේ නං ඌට කියන්ඩ තියන එකම උපදේසය මං වගේ වෙන්ඩ එපා.සංජුලයා වගේ වෙන්ඩ කියා ය.අධ්‍යාපනය වටිනා දෙයකි.කොහොමින් කොහොම මොන මැච් එකක් ගසා හරි,ඉගෙන ගන්නා එකේ වටිනාකම මිල කල නොහැක.ඩිග්රි එක ගන්නේ ආන්ඩුවෙන් ද ප්‍රයිවට් එකකින් ද පිටරටකින් ද අභවකාශෙන්ද කියන එක අදාල වන්නේ නැත.ආන්ඩුවේ එකකින් ගැනීමට හැකිවන්නේ නම්,ඒ තරම් කට්ටක් කා,බොහොම අමාරුවෙන් ඒ අවස්තාව ලබාගැනීම ඇත්තෙන්ම සෑහෙන ජයග්‍රහණයකි.ඒක පට්ට වටින්නේ ය.ආන්ඩුවේ එකකින් ගැනීමට නොහැකි වන්නේ නම්,ප්‍රයිවට් එකකින් හෝ මහන්සි වී කට්ටක් කා උපාධියක් ගැනීම ද සැබවින්ම ජයග්‍රහණයකි.උපාධියක් ගැනීමට නොහැකි වූනේ නම්,කැපකිරීමක් කර වෙහෙස වී වුර්තීය සුදුසුකමක් ලබාගැනීම ද ජයග්‍රහණයකි.තියරිය අන්න ඒකය.කොහොම හරි යා යුත්තේ ඉස්සරහට ය.ඉගෙන නොගැනීමට වඩා කොහොමින් හෝ මොනවා හෝ ඉගෙනගැනීම මාර වටින්නේ ය.නැතුව මේ අන්තරේ අයියාලා අරගල කරන්නාක් මෙන් අහවල් එක දියව් කියා කීවාට ඇති වැඩක් නැත.ඒ කෑගහන අයියලා කැම්පස් ගිය අවුරුදු කීපයෙන් පසු හොයන්නට වත් ඉන්නේ ද නැත.එක්කෝ සිටිසන් ගසා රට පැනලා ය.ඉගෙනගන්නේ කොහෙන්ද කියන එකට වඩා වැදගත් වන්නේ කොහෙන් හෝ කොහොමහරි ඉගෙනගෙන රටට ලෝකෙට ප්‍රයෝජනවත් වැඩ කිරීමයි.ඒනං අන්තරේට වඩා සමාජවාදයක් සංජුලයාගේ වැඩපිලිවෙලේ තිබුනේය.ඒ උනාට ඉතිං ඌ හෙන පන්ඩිතයා ය.
අවසාන වසයෙන් කීමට ඇත්තේ මේකය.යාලුවෝ නං කොතෙකුත් හම්බ වෙනවා ය.ඒ අතරින්,ජීවිතේ වෙනස් කරන යාලුවෝ හම්බවෙන්නේ කලාතුරකිනි.සංජුලයා මින්දුලයා ඇතුලු පිරිස මා ලැබූ ඒවන් යාලුමිත්‍ර සමාගමකින් කීපදෙනෙකි.සංජුලයාගේ අම්මා ද කොහේ හෝ ඉන්නා දිවිය ලෝකයක සිට ඉංජිනේරු පුත්තු දෙදෙනා දිහා හරිම ආඩම්බරයෙන් බලා සිටිනවා ඇත.
ආදරෙයි සංජුලයෝ !
සඳරු