පහුගිය දවස්වල ලොකු කලබැගෑනියක් තිබ්බනෙ රුවන්වැලි සෑයට කරපු පූජාවක් ගැන. මේ ඒක ගැන කියන දෙයක් නෙවෙයි ඒ සිද්ධිය නිසා මට මතක්වුණ රුවන්වැලි සෑය ගැන පැරණි ජනප්‍රවාදයක් !
සමහරවිට ඔබ මේක කලින් අහල තියෙන්නත් පුලුවන් !
රුවන්වැලි සෑය හදනකොට දුටුගැමුණු රජතුමා නියෝග කරල තියෙන්නෙ ඒකට ගන්නා සෑමදේටම මිලක් ගෙවල ගන්න කියල .
දවසක් බොහොම දුරබැහැර ඉඳල වැඩමකල ස්වාමීන් වහන්සේ නමක් ගඩොලක් ගෙනත් තිබ්බ සෑයෙ වැඩට ගන්න. මේ ගඩොල භාරගත්තු චෛත්‍යය හදන අය ඒ සඳහා මිල ගෙවීමට සූදානම් වුනා .
‘ මම මුදල් පරිහරණය කරන්නෙ නෑනෙ , අනිත් කාරණේ මම මේක පින්තකා කල වැඩක්’
‘ එහෙම නම් ඒ වෙනුවෙන් දෙන ධන ධාන්‍ය පිලිගන්න, රජතුමා අපිට කිසිදෙයක් නිකම් ගන්න එපා කියල තියෙන්නෙ ! ‘
මේ ස්වාමීන් වහන්සේ කිසිවක් පිළිනොගත් නිසා වහාම මේක රජතුමාට සැලකලා! රජතුමා ඇමතිවරයෙක් කැඳවලා මෙහෙම කිව්ව.
‘ ඔබ කෙසේ හෝ ඒ ස්වාමීන් වහන්සේගේ ගඩොලට ගෙවීමක් කරන්න ඕන ”
‘ එහෙමයි දේවයන් වහන්ස! ‘
දැන් ඇමතිවරයා ස්වාමීන් වහන්සේ හොයාගෙන ගිහින් දුකසැප විමසුවා . තොරතුරු හොයනකොට දැනගත්ත උන්වහන්සේ ඊටපස්සෙන්ද ගම්බිම් බලා පිටත්වන බව.
ඇමතිවරයා ඊටපස්සෙන්ද උදේ භාණ්ඩාගාරයෙන් කලමනා ටිකක් අරන් ඒ ස්වාමීන් වහන්සේ මුණගැහිල උන්වහන්සේ එක්කම පිටත් වුනා .
මෙහෙම යන අතරමගදී දාන වේලාව ලංවෙනකොට අර ඇමතිවරයා තමන් ගෙනා දෙයින් දානය සකස්කරල පිලිගැන්නුව. දානය වැළඳුව ස්වාමීන් වහන්සේ අනුමෝදනා ධර්ම දේශනාව කරන්න සූදානම් වුණාම ඇමතිවරයා කියනව;
‘ මේ දානය ඔබවහන්සේට දෙන්න කිව්වෙ රජතුමා! ඔබවහන්සේගේ ගඩොල් පූජාවට මිලක් හැටියට ! ‘
මේක ඇහුව විතරයි ස්වාමීන් වහන්සේ ඉතාම කම්පාවට පත්වුණා . තමන් ඉතාම අසීරුවෙන් රැස්කල පින එක මොහොතින් නැතිවුණ නේද කියල !
‘ ඇයි ඔබ එහෙම කලේ ? මන් ඉතාම අපහසුවෙන් කරගත්ත ඒ උතුම් පුණ්‍යකර්මය ඔබ මට නැතිකලා !’
‘ නෑ ස්වාමීන් වහන්ස! කෙනෙක් කල පිනක් නැවත මිලදීගන්න බෑ. ඔබවහන්සේ ගඩොල පූජාකර ලැබූ පින ඔබවහන්සේට ලැබේවි. රජතුමා දීපු මේ දානෙ පින රජතුමාටත් මටත් ලැබේවි. ඔබවහන්සේ සිත්සතුටින් ගමබලා වඩින්න ! මම ආපසු යන්නම්! ‘
ඇමතිවරයා නුවරට ගිහින් තමන් ඒ ගඩොල පූජාකිරීමේ මිල වශයෙන් ඒ ස්වාමීන් වහන්සේට දානය පිළිගැන්වූ බවත් එය ගඩොලේ මිල වශයෙන් රජතුමා විසින් දුන් දෙයක් බව පැවසූබවත් රජතුමාට සැලකලා!
රජතුමාටත් සතුටුයි ! ඇමතිවරයාගෙ තනතුරට හානියකුත් නෑ! හාමුදුරුවන්ගේ පුණ්‍යකර්මයත් ඉෂ්ටවුණා.
ඡායාරූපය අන්තර්ජාලයෙන් . හිමිකරුට ස්තුතියි !
උපුටා ගැනීම: Channa Witha