මකුළු රජකුගේ වාසභවන වූ පින්ඩයා ලෙන (සංචාරක)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මිනිසා ශිෂ්ටාචාර ජීවියකු බවට පත්වීමත් සමඟ ඔහු තුළ පැවති වනචාරි ගති ලක්ෂණ  ක්‍රමයෙන් පහ වූ අතර එම ශිෂ්ටත්වයේ බලපෑම මිනිසා කලාකාමියකු බවට ද පත් කළ හ. එම කලාකාමි බව කාලානුරූපීව  වර්ධනය වී අපූරු කලා නිර්මාණයන් ඒ තුළින් ලොවට දායාද විය. එසේ කලා නිර්මාණයන් ලොවට දායාද කිරීමේ දී ශිෂ්ට සම්පන්න ආගමික සංස්කෘතියට වඩා දැඩි බලපෑමක් එල්ල කොට තිබේ. මේ අතරින් ලෙන් ආශ්‍රිත කලා සම්ප්‍රදාය ලොව වඩාත් ආකර්ශනීය ලෙස ඉස්මතු වී තිබේ.මෙම ලෙන් සම්ප්‍රදාය අතරින් ශ්‍රී  ලංකාව, මියන්මාරය, වියට්නාමය ආදී රටවලට හිමිව ඇත්තේ විශේෂ ස්ථානයක්.ඒ විශේෂත්වය හා ආකර්ශනීයභාවය බව නිසාම දෙස් විදෙස් සංචාරකයින්  වැඩි වශයෙන් එම රටවල ඇති ලෙන් ආශ්‍රිත කලාවන් නැරඹීම සඳහා පැමිණේ. එවන් ආකර්ශනීය ස්ථානයක් වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික අගයෙන් යුත් ස්ථානයක් වශයෙන් ද  මියන්මාරයේ පිහිටි “පින්ඩයා” ගුහාව හැඳින්විය හැකිය. මෙය අතිශය මනස්කාන්ත ලෙන් විහාරයක් බවට පත්ව ඇති අතර ඒ සඳහා මා මුලින් පැවසූ බෞද්ධාගමික බලපෑම දැඩිව බලපා තිබේ.

විශාල කඳු ශිඛරයක් මත ස්වාභාවිකව පිහිටා ඇති මේ ස්ථානයට ගමන් කිරීම තරමක් වෙහෙසකර ක්‍රියාවක්.නමුත් එම වෙහෙසකර ස්වභාවය දුරු වනුයේ ඒ අවට ඇති මනස්කාන්ත ස්වභාව සෞන්දර්යය හේතුවෙන්. මෙහි ඉහළට ගමන් කිරීම සඳහා වර්තමානයේ පියගැට පෙලක් සකසා ඇති බැවින් දුෂ්කරත්වය නැති වී සුන්දරත්වයක් නිරන්තරයෙන් සිතට දැනේ. මෙය බැලූ බැල්මට කන්දක් මෙන් වුවත් සැබෑ ලෙසම මෙය පාෂාණ පැතුරුමක් සහිත විශාල ලෙනකි. මෙහි සුන්දරත්වය දැකීමට නම් සවස් කාලයේ හෝ උදෑසන හිරු නැග එන වේලාවන් ඒ සඳහා වඩාත් සුදුසු වේ.යම් ආකාරයකින් ඔබ ශ්‍රී  පාද වන්දනාවේ යාමේදී ඇති වන පහන් හැගීම මේ තුළින් ජනිත වනවාය යනුවෙන් පැවසුවහොත් මා ඉතා නිවැරැදි වේ. ඒ සඳහා සෞම්‍ය  කාලගුණය සහිත කාලයක් තෝරා ගන්නේ නම් වඩාත්  සුදුසු ය.

මෙය මියන්මාරයේ ෂාන් ප්‍රාන්තයේ  කලව් නගරයට උතුරින් සැතපුම්  45 ක පමණ දුරින් පිහිටා ඇති අතර  ලෙන් සහිත මෙම කදු මුදුනේ උස  අඩි 7752 කි. බුරුමයේ පිහිටා තිබෙන ලෙන් විහාර අතරින් මෙයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එයට හේතු වී ඇත්තේ මෙය හුණුගල් පාෂාණයෙන් නිර්මාණය වී තිබීමයි. ප්‍රධාන වශයෙන් පවතින ලෙන් ත්‍රිත්වය අතරින් නරඹන්නන්ට විවෘතව පවතින්නේ එක් ලෙනක් පමණි. අනෙක් ලෙන් දෙක නැරැඹීමට සුදුසු ආකාරයෙන් සංරක්ෂණයන්ට බදුන් කොට නොතිබීම එයට හේතුවයි. නරඹන්නන් සඳහා ඇති ලෙන අඩි 500 කට ආසන්න දිගකින් යුක්ත වන අතර  මෙහි  බුද්ධ ප්‍රතිමා 8000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවට ගණන් බලා ඇත. බුරුම රාජ වංශයේ සුවිශේෂත්වයන් විදහාපානු ලබන මෙම ලෙන් විහාරය පුරාතනයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ නිජබිමක් වශයෙන් පවතින්නට  ඇත.

මෙම ලෙන් සංකීර්ණයට ඇතුළු වන කන්ද පාමුල ඉතාමත් අලංකාරවත්ව නිර්මාණය කරන ලද බෞද්ධ පන්සලක් දැකිය හැකි වේ. එහි අලංකාරවත් රන් ආලේපිත තොරණක් පූර්වයෙන් දැකිය හැකි අතර එය පසුකර යාමේ දී කන්දේ සුළු දුරක් යන තෙක්ම කුඩා ස්තූප රාශියක් ද නිර්මාණය කර තිබේ. එම ස්තූපයන්හි ද  ගර්භය සුදු පැහැයෙන් හා කොත් රන් පැහැයෙන් යුක්ත වේ. එමෙන්ම ඇතැම් කුඩා ස්තූප සම්පූර්ණයෙන්ම රන් ආලේප  කර තිබෙනු දැකගත හැකිය.මෙහි තරමක් ඉහළින් (තොරණ සමීපයේ) ගොඩනැගිලි කිහිපයක් ඉදිකර ඇති අතර එය භික්ෂූන් වහන්සේලාට නවාතැන් ගැනීම සඳහා හෝ සංචාරකයන්ට නවාතැන් ගැනීම සඳහා විය හැක. මෙම සියළු නිර්මාණයන් නූතන නිර්මාණයන් වේ. මෙහි යම් පුරාණ නිර්මාණයක් පවතින්නේ නම් ඒවා පවතින්නේ මේ කන්ද මුදුනේ ඇති ගුහාව තුළ ය.

එමෙන්ම මෙම ලෙනෙහි විශේෂත්වය විදහා පානු ලබන සිදුවීම නරඹන්නට සිහි වීම පිණිස අපූරු ප්‍රතිමා ද්විත්වයක් ද පන්සල පාමුල නිර්මාණය කර තිබේ. ඉන් එක් ප්‍රතිමාවක රාජ කුමාරයෙක් දුනු ඊතල අමෝරාගෙන සිටින අතර අනෙක් ප්‍රතිමාව විශාල මකුලුවකුගේ ය.එනම් මේ තුළින් රාජ කුමාරයකු විසින් විශාල මකුළුවා මරා ඇති බව සංකේතවත් කර තිබේ.මෙම ලෙන හමුවීම පිළිබඳ කතාව ගොඩනැගී ඇත්තේ ද මෙම සිදුවීම  මූලික කොටගෙනය. එය මියන්මාර ජන සමාජය තුළ ඉතාමත් ජනප්‍රිය සිදුවීමකි.

එම පුරාවෘතයට  අනුව මෙය එකල ඉතාමත් පාලු ස්වභාවයකින් යුත් ඝණ කැලෑ සහිත ප්‍රදේශයකි. මේ ආශ්‍රිතව එම කාලයේ රාජ කුමාරිකාවන් සත් දෙනෙකු ජීවත්ව සිට තිබේ. බොහෝ කාලයක් මෙම කුමාරිකාවන් සත් දෙනා මෙම ලෙන තම වාසභූමිය කර ගනිමින් ජීවත්ව සිට ඇති අතර  ඔවුන් විසින් තම ජල අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා පහළ ඇති විල උපයෝගී කොටගෙන තිබේ. එසේ කැලයෙන් ආහාර සොයාගනිමින් හා කදු පාමුල පිහිටි පොකුණෙන් ජල අවශ්‍යතාවයන් ඉටු  කරගනිමින් සිටි එම කුමාරිකාවන් තම වාසස්ථානය වශයෙන් භාවිත කරනු ලැබූවේ මෙම ඉහළ පිහිටා තිබෙන්නා වූ ගුහාවන්ය.

මෙම ගුහාව තුළ කුමාරිකාවන් වාසය කළ ද කුමාරිකාවන් කිසිදා අපේක්ෂා නොකරන ලද අමුත්තෙකු ද මෙහි විසීය. කුමාරිකාවන් මෙහි පැමිණීමට බොහෝ කාලයකට පෙර එම අමුත්තා මෙය තම වාසභවන කොට ගෙන වාසය කළේ ය. එම අමුත්තා අන් කිසිවකු නොව විශාල මකුළු රාජයෙකි. මෙම දෙපාර්ශවය මෙම ලෙන තුළ බොහෝ කාලයක් වාසය කළ ද ඔවුනොවුන් කිසි දිනක දැක නොතිබුණි. මකුළු රාජයා ද කිසිදිනක මෙම ගුහාව තුළ මිනිස් වාසභූමියක් හෝ මිනිසුන් ඇති බව නොසිතීය. එසේම කුමාරිකාවන් සත් දෙනා ද මේ තුළ නපුරු බලවේගයන් කිසිවක් ඇතැයි නොසිතූහ. එම නිසාම කුමාරිකාවන් ඉතාමත් ප්‍රීතියෙන් හා උද්යෝගයෙන් මෙම ලෙන් තුළ විසීය.

මෙම මකුළු රාජයා සාමාන්‍ය අයෙකු නොවන අතර මිනිසුන් කිහිප දෙනෙකු වුව එකවර කා දැමිය හැකි තරමේ විශාල එකෙකි. මකුළුවාගේ සිරිත වනූයේ සාමාන්‍යයෙන් ඔහු හා බැඳී පවතින දැල් වලින් එපිටට නොයෑමයි. තම ගොදුරු  සඳහා දැලට එන සතුන් ආහාරයට ගැනීම මෙම මකුළු රාජයාගේ ද සිරිත විය. එහෙත් එක් දිනයක දී මකුළු රාජයා තම භවනට වී සිටින විට අහම්බෙන් මෙන් මෙම කුමාරිකාවන් සත් දෙනා හමු විය. එසේ හමු වීම සිදුව ඇත්තේ කුමාරිකාවන් කාලයක් මෙම ගුහාවෙහි වාසය කර ඇති බැවින් නුහුරු නුපුරුදු ප්‍රදේශයන් කරා ගොස් එහි තතු විමසා බැලීමේ අදහසින් ගමන් කිරීමෙනි. එසේ යෑමේ දී මෙම මකුලු රාජයාගේ වාසභවන කරා ද ඔවුන් නොදැනුවත්වම ළඟා විය.

එම දිනයේ දී කුමාරිකාවන් ද, මකුළු රාජයා ද මෙහි තමන්ට වඩා වෙනත් අය සිටිනා බව දැනගනු ලැබීය. එහිදී මකුළු රාජයාගේ ආහාරය පිණිස මිනිස් ප්‍රාණ හතක්ම ලැබීම පිළිබඳව මකුලු රාජයා බෙහෙවින් සතුටු විය. ඔවුන් සත් දෙනා මරණයට පත් කොට තම ආහාරය පිණිස ලබා ගැනීමට මකුළුවා සූදානම් වූ අතර  එහිදී කුමාරිකාවන් කර කියාගත දෙයක් නොමැතිව  මහ හඩින් හඩන්නට හා වැළපෙන්නට විය. එම ශබ්දය කෙතරම් ද යත් ඒ හඬ ගුහාව තුළ දෝන්කාර දෙමින් පහළ ප්‍රදේශයන් කරා ද ඇසෙන්නට විය.

එහිදී මෙම ගුහාව අසලින් දඩයමේ යන ලද තරුණ කුමාරකුට මෙම කුමාරිකාවන්ගේ හඬ ඇසුණු අතර පසුව කුමරා මෙය කුමක් නිසා ද යන්න සොයා බැලීම පිණිස ගල් ලෙන කරා ඉක්මනින් ළඟා විය. එසේ ළඟාවීමේ දී අදහාගත නොහැකි සිදුවීමක් කුමරු දුටීය. එහිදී කුමාරිකාවන් හත් දෙනකු මරණයට පත් කිරීමට සූදානම් වූ මකුළුවකු ඒ අතර විය. එහිදී කෙසේ හෝ කුමරියන් බේරා ගත යුතු  යැයි සිතු කුමරා දුනු ඊ තල ඇද මකුලුවාට පහර දී මකුළු රාජයා මරණයට පත් කළේ ය. එසේ මරණයට පත් කිරීමෙන් පසු කුමාරිකාවන් සමඟ පිටත් විය.

එම සිදුවීමෙන් පසු මෙම වැසී තිබූ ලෙන බොහෝ දෙනාටම ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් විය. ඉන් පසු එම රාජවංශිකයන් විසින් මෙය ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කර වූ බව සඳහන් වේ. මෙය රසවත් පුරාවෘත්තයක් වුවත් මේ ලෙන ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් ලොවට විවර වීමට කිසියම් ප්‍රභල හේතුවක් පැවති බව හැගේ. එම ජන කතාවට අනුව ගත් විට මකුළුවා විනාශ කිරීමෙන් පසු මෙය ක්‍රමයෙන් ජනාකීර්ණ තත්ත්වයට පත් වන්නට ඇති අතර  පසු කාලීනව බෞද්ධ සම්ප්‍රදාය බුරුම රටෙහි ස්ථාපිත වීමත් සමඟ මෙම ලෙන් විහාරය ද බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ  ආගමික  වාසස්ථාන බවට පත් වන්නට ඇත.

මෙහි ඇති ලෙන් ත්‍රිත්වයෙන් ප්‍රතිමා සහිත ලෙන වත් පිළිවෙත් සඳහා ද අනෙක් ලෙන් දෙක භික්ෂූන් වැඩ වාසය කිරීම  සඳහා ද භාවිත කර ඇති බව සිතිය හැකි වේ. මෙය තුරු ලතාවන්ගෙන් ගහනව පැවතීම මනස්කාන්ත දසුනකි. එමෙන්ම ඉහළට ගමන් කිරීමේ දී අවට කදු පන්තීන් ඉතාමත් අලංකාරවත්ව දැකගත හැකි අතර පහළ පිහිටා තිබෙන ආගමික හා ආගමික නොවන ගොඩනැගිලි  සමූහය ද ඉතා හොඳින් දර්ශනය වේ. මෙහීදි විශාල වගුරු බිමක් දැකිය හැකි අතර  එය ජනප්‍රවාදයේ තිබූ පැන් පොකුණ බව ගැමියන්ගේ විස්වාසයයි. බුරුමයේ ඇති මනරම් ලෙන් ගුහා අතරින් මෙම පින්ඩය ලෙන් ගුහාවට හිමිව ඇති විශේෂත්වය කෙතරම් ද යන්න ඔබට මනා ලෙස වැටහෙනු ඇත. බුරුම සංචාරයේ නිරත වන ඔබ අනිවාර්යෙන්ම  නැරඹිය යුතු ස්ථාන අතරින් එකක් වශයෙන් මෙම පින්ඩයා ලෙන පෙන්වා දිය හැකිය.

 

උපුටා ගැනීම: Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!