ලංකා ඉතිහාසයේ පාලන කටයුතු ගෙන ගිය වීර කාන්තාවන් පිළිබඳව සැඟවුණු තොරතුරු බොහෝය. මූලාශ්‍රවල ඉතාමත් දුර්ලභ වශයෙන් තොරතුරු පැවතීම එයට හේතුවී තිබේ. කෙසේ නමුත් සුගලා දේවිය ලෙස ලක්දිව පාලන කටයුතු මෙහෙය වූ කාන්තාව පිළිබඳව තොරතුරු විරල වුවත් ඇයත් සැඟවුණු වීර කාන්තාවක් ලෙසයි ඉතිහාසගතව ඇත්තේ. සුගලා දේවිය පිළිබඳව බොහෝ ජනප්‍රවාද සඳහන් වන අතර ඇය රණකාමී වීර කාන්තාවක් ලෙස රුහුණේ කිරුළ දරන ලදී.

ක්‍රි.ව.දොළොස්වන සියවසේ දී රුහුණේ පාලනය මෙහෙය වූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලා නම් විය. එනම් ශ්‍රී වල්ලභ යනු විජයබාහු රජුගේ සොයුරියක වූ මිත්තාගේ පුත්‍රයෙකි.ඒ අනුව සුගලා විජයබාහු රජුගේ මිණිබිරියක වන අතර පරාක්‍රමබාහුගේ නැන්දණියකි. සුගලා දේවිය සමඟ විවාහයෙන් පසුව රෝහණ දේශයේ කිරුළ ශ්‍රී වල්ලභට හිමි වන අතර ශ්‍රී වල්ලභයන්ගේ ඇවෑමෙන් කිරුළ හිමිවන්නේ ඔවුන්ගේ පුතු වූ මානාභරණ කුමරුටයි. පොළොන්නරු රාජධානියේ විජයබාහුගෙන් පසුව ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හමුවේ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව පොළොන්නරුවෙන් රහසිගතව භික්ෂූන් වහන්සේලා විසින් රුහුණට රැගෙන ආ බවයි සඳහන් වන්නේ. ඒ අනුව සුගලා දේවිය බලවත් චරිතයක් ලෙස ඉස්මතු වන්නේ ද මෙම දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව ඇයගේ රෝහණ රාජධානියේ පැවති නිසා ය.
දේහදාරී කාන්තාවක ලෙස සැලකුණු සුගලා දේවිය අඩි හතක් පමණ උසකින් යුක්ත වූ බවයි පැවසෙන්නේ. දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව රැක ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ මැය පිළිබඳව මහා වංශයේ වුව ද වෙන්වන්නේ ඉතා අල්ප ඉඩ කොටසකි. එබැවින් ඇය පිළිබඳව බොහෝ තොරතුරු විමර්ශනය කිරීමට සිදු වන්නේ ජනප්‍රවාද ඇසුරිනි.
සුගලා දේවියගේ පුතු වූ මාණාභරණ කුමරු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉතා කෙටි කාලයකින් මරණයට පත්වීමත්, පොළොන්නරුවේ රජ කළ පරාක්‍රමබාහු රජු රෝහණය ආක්‍රමණය කිරීමට කටයුතු කිරීමත් සුගලා දේවියට රාජ්‍ය පාලන කටයුතු හා සම්බන්ධ වීම කෙරෙහි පසුබිම සකසන ලදී.පරාක්‍රමබාහු රජුගේ ආක්‍රමණ හමුවේ රුහුණේ ජනතාව සුගලා දේවියගෙන් ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව රැක දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව රුහුණේ පාලනය මෙහෙය වීමට සුගලා දේවිය ඉදිරිපත් විය.එතැන් පටන් ඇය සටන් මෙහෙයවමින් රණකාමී සෙන්පති කාන්තාවක් ලෙස මතුවීම නිසා ඇය සුගලා රැජිණ ලෙස ඉස්මතු වීය.එකල රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකුණු දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව රැක ගැනීමට සුගලා රැජිණට විශාල කැපකිරීමක් කිරීමට සිදුව තිබේ.
සුගලා දේවිය තම රාජධානිය කොට පවත්වා ගෙන යන ලද්දේ මොණරාගල සියඹලාණ්ඩුව පාරේ පිහිටි උදුන්දොර නම් ප්‍රදේශයේ සිට ඓතිහාසික මූලාශ්‍රගත කරුණුවලින් පැහැදිලි වේ. වර්තමානයේ මෙම උදුන්දොර නම් ප්‍රදේශය ගල බැද්ද නමින් හඳුන්වනු ලබන අතර ඇතිමලේ මරගල කන්ද පාමුල සතුරන්ට පහසුවෙන් ළඟා විය නොහැකි නටබුන් ස්ථානයක් ද හමුවේ. මෙම ස්ථානය සුගලා දේවියගේ මාළිගය පිහිටි බවට ඉතිහාසඥයන්ගේ අදහස වන අතර එහි පොළොන්නරු යුගයට අයත් පොකුණක් මෙන්ම තවත් නටබුන් ද දැකගත හැකි වේ. ඒ අනුව මේ නටබුන් වූ මාළිගය කොඩ්රිංටන් විසින් හඳුනාගෙන ඇති අතර තවමත් කැණීම් කර සංරක්ෂණය කර නොමැති මේ නටබුන්වලින් පොළොන්නරුවේ රජ මාළිගයේ සැලැස්මට සමාන බවයි සඳහන් වන්නේ, නමුත් එය පොළොන්නරු මාළිගයට වඩා ප්‍රමාණයෙන් කුඩා ය. සුගලා දේවිය සිය රාජධානිය ලෙස පවත්වා ගත් ප්‍රදේශය පිළිබඳව එනම්, පාලි මූලාශ්‍රවල උදුන්දොර හෙවත් උද්ධානද්වාර ලෙස හැඳින්වෙන ප්‍රදේශ පිළිබඳ තොරතුරු කුරුණෑගල යුගයේ රචිත දළදා පූජාවලියෙන් හමුවේ. ඒ අනුව රුහුණේ උදුන්දොර අමරගිරි පර්වත ආසන්නයේ සුරක්ෂිත කර තිබූ දළදාව හා පාත්‍රා ධාතුව මහළු පැරකුම්බා රජු චතුරංගනී සේනාව යවා පොළොන්නරුවට ගෙන්වා ගත් බව සඳහන් වේ. ඒ අනුව අමරගිරිය ලෙස එකල හැඳින්වූ ප්‍රදේශයේ වර්තමාන මොණරාගල බවයි හඳුනාගෙන ඇත්තේ.
පරාක්‍රමබාහු රජුගේ ආක්‍රමණවලට මුහුණ දීම සඳහා සුගලා දේවිය රෝහණ රාජධානියට පැමිණෙන මාර්ගවල බලකොටු ඉදිකර පොළොන්නරුවෙන් පැමිණෙන සතුරන් වළක්වා තිබේ. සුගලා දේවියගේ සේනාධිනායකයා වූයේ සූකරභාතුදේව නම් සේනාධිනායක යා ය. ඔහු පරාක්‍රමබාහු රජුට විරුද්ධ වීමෙන් රජු විසින් සිරගත කොට සිට සිරගෙයින් පළාවිත් සුගලාගේ සේනාවට එකතු වූ දක්ෂ සටන්කරුවෙකි. එකල රෝහණ දේශයේ සුගලා දේවිය කෙරෙහි විශාල ජනතා ප්‍රසාදයක් පැවති අතර එය පැරකුම්බාවන්ට රෝහණ දේශය යටත් කර ගැනීමට මහත් බාධාවක් විය. එබැවින් පැරකුම්බා රජු ඔහුගේ දක්ෂතම රක්ඛ සෙනවියා ප්‍රමුඛ සේනාවක් රුහුණු ප්‍රදේශයට යවන අතර එවිට සුගලා දේවිය උදුන්දොර සමීපයේ ඇතිමලේ ප්‍රදේශයට පලා ගොස් සැඟවුණු බවයි සඳහන් වන්නේ. එවිට ඇය දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව රැගෙන රටින් පිටවීමට යන බව සැළවීමෙන් පැරකුම්බා රජු ඇතිමලේ ප්‍රදේශයට සේනාවන් යවා බිහිසුණු ලෙස සටන් කරනු ලබයි. රුහුණේ විවිධ ප්‍රදේශ වෙතට පලායමින් සේනා මෙහෙයවමින් ඉතා දරුණු ලෙස සටන් වැදීමට සුගලා දේවිය සමත් වුවත් එම සටන්වලදී අති දක්ෂ සේනාධිපති වූ සූකරභාතුදේව සෙනෙවියා ද මරණයට පත්විය. මේ සටන්වලදී දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව පැරකුම්බා රජුට හිමිවුවත් සුගලා දේවිය හමුදාවට හසුනොවී පලාගියා ය. කෙසේ නමුත් පැරකුම්බාවන්ගේ සේනාව දළදාව සහ පාත්‍රා ධාතුව පොළොන්නරුවට රැගෙන එන ගමනේ දී සුගලා රැජිණ නැවත සැඟවී සිට සේනා මෙහෙයවමින් ප්‍රහාර එල්ල කළ බවයි සඳහන් වන්නේ.
වීර සෙන්පතියෙකු සේ ඇය තම ජනතාවගේ ඉල්ලීම රකිමින් සේනා මෙහෙයවමින් සටන් කළ අතර අට දහස් රටේ මෙන්ම දොළොස් දහස්රටේ ද සටන ආරම්භ විය. රුහුණේ රම්බා විහාරය ,ගිංතොට දෙවුන්දර ,දෙනවක අකුරැස්ස ,මාදම්පේ කහවත්ත ආදී ප්‍රදේශ රැසකම සුගලාගේ සේනා සමඟ බිහිසුණු සටන් ඇති වූ අතර කුම්බුගාම නම් ස්ථානයේ දී පැරකුම්බා රජුගේ අධිකාරිවරු තිදෙනෙක් සුගලා දේවිය ජීවග්‍රහයෙන් අල්ලාගනු ලබයි. ඒ අනුව ඇයගේ වීර රණකාමී ජීවීතය එතැනින් නිමා වූ බවයි සඳහන් වන්නේ. නමුත් ඇයව පොළොන්නරුවට ගෙන ගොස් හුදකලාව ජීවත්වීමට සැලැස් වූ බව සඳහන් කරන මහාවංශය ඇය පිළිබඳව ඇති කිසිදු තොරතුරක් සඳහන් කර නැත. සුගලා දේවිය අල්ලා ගැනීමත් සමඟ රුහුණේ සිටි දක්ෂ සෙන්පතියන් සියලු දෙනාම සමූල ඝාතනය කළ පැරකුම්බා රජු මුළු රුහුණේම තම බලය ස්ථාපිත කර ලංකාවම එක්සේසත් කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.නමුත් සුගලා දේවිය සිරභාරයට ගැනීම නිසා රෝහණ වැසියන් පැරකුම්බා රජුට පක්ෂපාතීත්වයක් නොදැක් වූ බවත් සඳහන් ය.
ලංක ඉතිහාසයේ වීර කාන්තාවක් වූ සුගලා දේවිය මියයාමෙන් පසු ඇයගේ දේහය ගෞරව සහිතව පොළොන්නරුවේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් තලාවක තැන්පත් කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ අනුව සුගලා දේවියගේ යැයි සැලකෙන දේහයක් ගොඩ ගැනීම පිළිබඳව ඉතිහාසයේ කතා බොහෝමයක් ද පවතී. එනම් මහවැලි “සී ” කලාපයේ පර්වතයක මිහිදන් කර තිබූ සුගලා දේවියගේ සිරුර කිසියම් පිරිසක් විසින් සොයාගෙන එහි තිබූ කෝටි ගණනක වස්තුව පැහැරගෙන නිරුපද්‍රිතව තිබූ ඇයගේ සිරුර විනාශ කර ඇති බවයි. 2013 දී මේ ආශ්‍රිතව ගල් බෝර දමා පුපුරා හැරීමේදී විශාල ගල් දෝනාවක ගල් පෙට්ටියකින් හමුවී ඇති එම සිරුර පිළිස්සීමට කටයුතු කළත් එය නොපිළිස්සුණු බැවින් මහවැලි ගඟට දමා තිබේ. කෙසේ නමුත් මේ ජනප්‍රවාදවලට අනුව මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් විවිධ අනතුරු හමුවේ මාස කිහිපයක් ඇතුළත මරණයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධ විශ්ලේෂනවලදී එම සිරුර සුගලා දේවියගේ නොවන බව පෙන්වා දුන්නත් , ගම්මුන් පවසන ආකාරයට එය සුගලා දේවියගේ දේහය යි. නමුත් අද වනතුරු නිශ්චිත නිගමනයක් ඒ සම්බන්ධව දක්වා නැත.

තරුණ පැරකුම්බා රජු සමඟ රුහුණේ උරුමය උදෙසා අභීත සටනක් කළ සුගලා දේවිය සමඟම රුහුණු ප්‍රභූ පරපුරත් විනාශ වූ අතර පැරකුම්බා රජු සියල්ල ඝාතනයට ලක් කිරීමෙන් සිංහල ජාතියේ ස්වාධීනත්වය වෙනුවෙන් රුහුණෙන් මතුව සටන් කිරීමට කිසිම නායකත්වයක් ශේෂ නොකළේය. රුහුණේ අභිමානය සුගලා දේවියගේ අභීත මතකයන් සමඟම වැළලී ගිය බවයි ඒ අනුව පෙනී යන්නේ.
උපුටා ගැනීම: The Lanka Post
Nirasha