මෙය සත්ය කතාවක්.මෙය මගේ අත්දැකීමක් නොවුනත් මෙහි ඇති රස සංකලනය නිසා ඉදිරිපත් කිරීමට සිතුවෙමි.
මේ කවුරුත් භීතියෙන් ඇළලුන අවිචාර සමයක් වශයෙන් කුප්රකට 1988 /1989 භීෂණ සමයයි.
වයස අවුරුදු විසි ගණන් වල සිටි නිර්මාල් වාමාංශික අදහස් වලින් සන්නද්ධ වී සිටි මාක්ස්වාදී හා භෞතිකවදී නැඹුරුවක් සහිත දැක්මක් ඇත්තෙක් විය.රටේ පැවතියේ කලබලකාරි වාතාවරණයකි.
නනිර්මාල් සවස 3ට පමණ කළුතරින් පිටවූයේ අනුරාධපුර වසන තම නැන්දණිය ගේ නිවසට යාම සඳහාය.ඔහු අනුරාධපුයට අඩිය තබන විට රාත්රී එකොලහට පමණ විය.නැන්දා ගේ නිවසට අනුරාධපුර සිට තවත් කිලෝමීටර කීපයක් යා යුතු විය.රාත්රී වූයෙන් බස් රථ නොවීය.හෙතෙම පයින්ම ගමන ඇරඹීය.
අද මෙන් ජනගහනයක් නොවූයෙන් පාර දෙපස බොහෝ විට වූයේ ලඳු කැලෑ හා කුඹුරු යායන්ය.අතරින් පතර ගෙවල් කීපයක් පෙනෙයි.ගමන පිළිබඳව අත්දැකීම් ඇති නිර්මාල් පෙර සූදානම්ව සිටි අතර විදුලි පන්දමක් ඔහුට පෙරටුව ගමන් කරයි.නගරයෙන් කිලෝමීටර දෙකක් පමණ එන්නට ඇත.ගමනේ විඩාව නිර්මාල්ට හොඳින් දැනේ.
මාර්ගය ඉදිරියෙන් යන තවත් විදුලි පන්දමක් ඔහුට පෙනේ.අඩිය ඉක්මන් කරමින් ගමන් ගනිමින් සිටිය ඔහු තමා ඉදිරියෙන් ගිය පුද්ගලයා පසු කරමින් ඉදිරියට ඇදෙන්නට විය
.
“අයියේ…”ඔහු කතා කළේය.නිර්මාල් ආපසු
හැරී බැලුවේය.
ඔහු පාසල් ඇඳුමින් සැරසුණු අවුරුදු දහ අටක පමණ ශිෂ්යයෙකි.
“අයියා කොහාටද?”
“මට තව හැතැප්මක් තියෙනව.නැන්දලෑ දිහා යන ගමන්”
“දෙන්නම යමු.මටත් කතා කර කර යන්න කව්රු හරි ඉන්න එක හොඳයි”
“මල්ලි මොකද මේ රෑ”
“යාළුවෙක් ගෙදර ගියා පාඩම් කරන්න “
“මේ දවස් වල රෑ යන එක හොඳ මදි”
“පාඩම් කරන්නත් එපෑය”
“අයියලෑ අහ කලබල වැඩිද?”කොල්ලා නිර්මාල් ගෙන් විමසීය.මාතෘකාව කලබලකාරි සමාජය දෙසට යොමු විය.
“මොකද නැත්තේ.මෙහෙ කොහොමද?”
“මරලදාපු අය හිටියා” කොල්ලා නම් කීපයක් කියවාගෙන ගියේය.
රැහැයි නාදයද ඉඳහිට නැගෙන බකමූණු නාද ද පෙදෙස අරක් ගෙන ඇත.දෙදෙනාම ජනශූන්ය ප්රදේශයක් වෙත ඇදෙමින් තිබුණි.ලා සඳ එළියක් ප්රදේශය පුරා වැටී තිබුණි.කොළුවා වඩා කැමති වූයේ මරණ ගැන කියවීමට ය.
“අපේ මාම කෙනෙක් ව මරා දාල තිබුණා.”
“ඔය ඉස්සරහ තියෙන්නෙ කනත්ත.එතන කණුවක ගැට ගහලා තිබුණේ”
“ඉතිං” නිර්මාල් හූමිටි තිබ්බේය.
“ඔය කනත්තෙ හුඟ දෙනෙක් නිකරුණේ පිච්චුණා”
කොල්ලා නිර්මාල් දෙසට බරවිය.
“මටත් ඔය කනත්ත හොඳට පුරුදුයි”කොල්ලා රහසින් මෙන් නිර්මල්ට කීවේය.ඔහුගේ ස්වරය ගුප්ත යැයි නිර්මාල්ට සිතුණී.
සඳ වලාකුළු වලින් මෑත්ව තිබූ බැවින් පරිසරය සුදු වන්ව හොඳින් පෙනේ.
“ඇයි… කනත්ත ගෙවල් ළඟද මල්ලී”නිර්මාල් නැග එන සීත හුළඟට සිරුර ගුලි කරමින් ඇසීය.
“නෑහ්…අයියට දැන ගන්නම ඕනද?”කොල්ලා නැවතත් රහසින් මිමිණීය.
“අපි ලං වෙන්නෙ කනත්තට”
කනත්තකට නිර්මාල් බිය නැත.
නමුත් කොල්ලා නිර්මාල් දෙස බලා කට කොනකින් සිනාසුණේය.
නිර්මාල් ට අමුත්තක් දැනුණි.
ඔවුන් දැන් කනත්ත ඉදිරියේ ය.
“අයියට පේනවද අර කනත්ත ඇතුළෙ තියෙන ගහ.”
කනත්ත තුළ ඇති රූස්ස ගහකට කොළුවා අත දිගු කළාය.
“ඔව්”නිර්මාල් කුතුහලයෙන් බර විය.
කොල්ලා නිර්මාල් ගේ දෑස් දෙස සෘජුව බැලීය.
“පේනවා…”නිර්මාල් ගස දෙස බැලීය .කෙටි නිහඬතාවයක් ඇති විය.
“අන්න ඒ ගහේ තමයි මාව මරලා එල්ලුවේ…”
වචන අතුරුදහන් විය.
……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
නිර්මාල් කතා කිරීමට තැත් කළේය.හේ මොහොතකට ගල් වී ගියේය.ඔහුගේ ඇඟේ රෝමකූප සෘජු වී ගල් ගැසිණ.සිරුර සැනකින් ශීතල වනුද සිහින් දා බිඳු මතුවන අයුරු ද නිර්මාල්ට දැණුනි.
“ඉතිං මල්ලි…” නිර්මාල් වෙව්ලන ස්වරයෙන් ඔහු දෙස බැලීය. ඔහු අසල තවදුරටත් කොල්ලෙකු නොවීය.
************************************************
************************************************
මෙසේ කතාව අවසන් වූයේ නම් ඔබට සෑහෙන මට්ටමේ භීත රසයක් ලැබෙන්නට තිබුණී.නමුත් මෙය සත්ය ලෙසට අවසන් වූයේ මෙසේ නොවේ.
නිර්මාල් කතා කිරීමට තැත් කළේය.හේ මොහොතකට ගල් වී ගියේය.ඔහුගේ ඇඟේ රෝමකූප සෘජු වී ගල් ගැසිණ.සිරුර සැනකින් ශීතල වනුද සිහින් දා බිඳු මතුවන අයුරු ද නිර්මාල්ට දැණුනි.
“ඉතිං මල්ලී…උඹව එතන එල්ලුවනම් දැන් මෙතන ඉන්නෙ කොහොමද”
අනපේක්ෂිත සිදුවීමෙන් වෙව්ලා ගියද භෞතිකවාදී අදහස් වලින් ලද ආභාසය නිසාම දිරි ගත් සිතින් නිර්මාල් විමසුවේ කිසිදු බියක් බැහැරට නොපෙන්වමිනි.
කොල්ලා සිනාසුණේය.
“අයියා දන්නවද ඔය කතාව අහපු හැමෝම සරම ගලවල දිව්වෙ.අයිය විතරයි ඔහොම බය නැතුව කථා කළේ…”
කොල්ලා යම් පුදුමයක් මෙන්ම යම් ගෞරවයකින් යුතුව නිර්මාල් දෙස බලා සිටියේය.
රෑ පාඩම් කිරීමට මිතුරෙකුගේ ගෙදරට යන මේ දඩබ්බර කොල්ලා ආපසු එන අතරවාරයේ හමුවණ මිනිසුන්ට මේ භීතිය දනවන විහිළුව කිරීමට පුරුදුව සිටින බව අප මිතුරාට පවසා සිටියේලු.
********
උපුටා ගැනීම: Darshana Sri Indrajith Gamlaksha