විජය රජු එන්නටත් කලින් හෙළ කතුන් පැළදි අගස්ති මාලය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

එදා උඩරට මැණිකෙලාගේ සාම්ප්‍රදායික ආභරණයක් වුන අදත් සාම්ප්‍රදායික උඩරට මනාලියන්ගේ මූලික ආභරණයක් වන අගස්ති මාලයේ උපත උඩරට රාජධානිය ද? නැත්නම් සියවස් ගාණක් එපිටද? ඒ ගැන තමා අද විස්තර කරන්නේ.උඩරට ඇඳුමින් සැරසුණු මනාලිය කෙතරම් සුන්දරද. කොතරම් පරණ වුනත් ඒ ඇඳුමට අදත් හිමි වෙන්නෙ වටිනා තැනක්. එය ලාංකීය සම්ප්‍රදාය පිළිබිඹු කරන සන්නාමයක් කීවොත් වැරදි නෑ. උඩරට සම්ප්‍රදායානුකූලව මඟුල් ඇඳුමින් සැරසී කුලගෙට පිය නගන මනාලිය පලඳින ආභරණ අතර කරපටිය, මාල හත, පෙති මාලය, ගෙඩි වළල්ල, සේරි වළල්ල, ගල් වළල්ල, නළල් පටිය, “අගස්ති පබළු මාලය” ප්‍රධාන වේ. උඩරට මනාලිය පැළඳිය යුතු නිවැරදි “අගස්ති පබළු මාලය” රතු පැහැයට හුරු තද තැඹිලි පාටයි. අර්ධ මැණික් විශේෂයකින් එය හැඩගන්වා ඇත.

උඩරට කාන්තාවන් අතර ජනප්‍රිය, මෙම මාලය සාදා ඇත්තේ අගස්ති පාෂාණයෙන්/ ගලෙන්. ඊට අමතරව ඔසරි කටු, කොණ්ඩා කටු, මාල, ගෙඩි වළලු‍ හා හවඩි ද, ඔප දමා විවිධ හැඩයෙන් අලංකාර කරන ලද අගස්ති පාෂාණ කැබලි ඔබ්බවා සාදා ඇත. මේවා අදට පමණක් නොව අනාගතයේ ද, උඩරට කාන්තාවන්ගේ අඳුම් පැලඳුම් අතර නැතුවම බැරි ආභරණයක් වනු නිසැකයි.උඩරට මනාල, මනාලියන්ගේ ඇඳුම් පැලඳුම් මෙන්ම, උඩරට කාන්තාවෝ අද දක්වා පවත්වාගෙන එන සාමාන්‍ය ඇඳුම් පැලඳුම් විලාසිතා ද, දකුණු ඉන්දීය අභාසයෙන් පැමිණ ඇති බව විද්වත් අදහසයි. ඊට හේතුව විශේෂයෙන් උඩරට කාන්තාවගේ අනන්‍යතාව ලෙස පිළිගැනෙන “අගස්ති පබළු” ආභරණය සෑදීම සඳහා අවශ්‍ය අගස්ති පාෂාණය අදටත් ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවෙන් නිසා.

කෙසේ වුවත්, මහනුවර යුගයට පෙර ඉතිහාසය පමණක් නොව, ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු විමසා බැලීමේ දී පෙනී යන්නේ, ලාංකීයන්ගේ මෙම අගස්ති පැලඳීම හුදෙක්, මහනුවර යුගයට සීමා වූ, මහනුවර රජධානියේ සිටි දකුණු ඉන්දීය රජවරු හා බිසෝවරුන්ගේ ආභාසය නිසාම ඇති වූවක් නොවන බව.ලංකාවේ අගස්ති පිළිබඳ පැරණිම තොරතුරු ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය හා ඓතිහාසික යුගය වෙන් කරන මායිමට අයත් ප්‍රොටෝ ඓතිහාසික යුගයෙන්. මේ යුගයට අයත් පුරාවිද්‍යා ස්ථානයක් වන කුරුණෑගල දඹුලු‍ පාරේ පිහිටි ඉබ්බන්කට්ටුව මහා ශිලා සුසාන භූමියෙනි.

විජය කුමාරයා ලංකාවට එන්න අවුරුදු සීයකට පෙර සිට පැවති මෙම සුසානය, විජයාගමනයට පෙර ලංකාවේ සිටි දේශීය ජනයාගේ සුසාන භූමියක් බව පෙනී යයි. මෙම සුසාන භූමියට යාබදව, මූල හා පූර්ව ඓතිහාසික ජනයාගේ වාසස්ථාන පැවති බවට ද පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත.එකල පැවති චාරිත්‍ර අනුව මිහිදන් කළ තම ඥාතීන්ගේ දේහයන් සුරක්ෂිතව පැවතීම පිණිස, ගල් පුවරු යොදා ගනිමින් එක් එක් සුසානයන්ට ආරක්ෂාව සලසා ඇත.

මෙහිදී විශේෂ ලක්ෂණයක් වන්නේ එම මිය ගිය තැනත්තාට හිමි ද්‍රව්‍ය ද, ඒ සමඟ තැන්පත් කිරීමයි. මෙසේ තැන්පත් කළ ද්‍රව්‍ය අතර, විවිධ ලෝහ, පාෂාණවලින් නිම වූ විවිධ ද්‍රව්‍ය ඇතුළත් වේ. සුසාන භූමියේ ආදාහනය කළ එක් ස්ථානයක තිබී හමුවූ “අගස්ති ”පාෂාණයෙන් කළ පොටවල් හතරකින් යුතු අලංකාර, මනා නිමාවකින් යුතු මාලය ඉතා වැදගත් සාක්ෂියක් සපයයි. එනම් විජය කුමරු ලංකාවට පැමිණීමට පෙර සිටම ඉතා දියුණු ශිෂ්ටාචරයක් මෙන්ම තාක්ෂණයකින්, හෙබි දැනුම්වත් වූ ලාංකිකයන් පිරිසක් මෙහි ජීවත්ව සිට ඇති බවයි.

මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ, ඉබ්බන්කට්ටුව මහා ශිලා සුසානයෙන් හමු වූ “අගස්ති ”නැතහොත් පුරාවිද්‍යාඥයන් හඳුන්වන, “කානේලියන් පබළු” ලංකාවේ නිර්මිත ඒවා නොවීමයි. ඊට හේතු වන්නේ, එම පබළුව නිම වීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය ලංකාවේ දී හමු නොවීමයි. එසේ නම් එම මාලය සඳහා අවශ්‍ය පබළු විදෙස් රටකින් ගෙන එන්නට ඇති යැයි සිතේ. .

තිරිවානා කුලයට අයත් කැල්සිඩෝනි නම් ප්‍රධාන පාෂාණ වර්ගය, ඔනික්ස් හා කාර්නේලියන් වශයෙන් හඳුන්වන තවත් උප වර්ගවලින් මෙම අගස්ති පබළුව නිර්මාණය වී ඇත. එහි වර්ණය වඩාත් දීප්තිමත් කර ගැනීම පිණිස අතීතයේදී මෙය දැඩි උණුසුමකට ලක් කර ඇත. මෙහිදී සිදුවන්නේ, දැඩි උණුසුමට ලක් කිරීමෙන් පාෂාණයේ ඇති යකඩ කොටස් රතු වර්ණයට හැරීමයි. මෙම තාක්ෂණය අදින් වසර පන්දහසකට පෙර කාලයේ දී පවා, හරප්පා ශිෂ්ටාචාරයේ ජනයා විසින් භාවිතා කිරීමෙන් අඳුරු පැහැයෙන් යුතු කැල්සිඩෝනි පාෂාණ දීප්තිමත් රතු තැඹිළි පැහැයට හරවාගෙන තිබේ. මෙසේ සකසා ගත් පාෂාණ, ආභරණ සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත.පසු කාලීනව මෙම අමුද්‍රව්‍ය තායිලන්තය වැනි රටවලින් පවා මුහුදු මඟින් ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඊට හේතුව වන්නේ, මුහුදු මඟින් ප්‍රවාහනය කරමින් තිබූ පබළු තැනීම සඳහා අවශ්‍ය වීදුරු කුට්ටියක්, අතීත ගොඩවාය වරායේ ගිලුණු නැවකින්, මුහුදු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මෑත කාලයේදී සොයා ගෙන තිබිමයි.ඉබ්බන්කට්ටුවෙන් විතරක් නෙමේ අනුරාධපුර ගෙඩිගේ, අනුරාධපුර සල්ගහවත්ත, තිස්සමහාරාම, අකුරුගොඩ, අම්බලන්තොට, රිදියගම යඨාල, ජේතවනාරාමය, අභයගිරිය ආදී ස්ථූප කැණීමෙන් ද, “අගස්ති ”පාෂාණයෙන් නිමවූ විවිධ ආකාරයේ පබළු හා පූජා වස්තු ලැබී ඇත. යඨාල දාගැබ කැණීමේ දී, එම චෛත්‍යය ඉදි කිරීමේ දී, සිදු කළ නිදන් වස්තු අතර, මුද්දක ඔබ්බවා තිබූ අගස්ති පාෂාණය හමු වී ඇත. එය සාදා ඇති ආකාරය අනුව උතුරු ඉන්දීය අභාසයක් පෙන්වන බව විද්වත් මතයයි.

ඉහත සඳහන් කළ පරිදි, ලංකාව පුරා සිදුකළ කැණීම්වලදී, අගස්ති ආභරණ ආශ්‍රිත පුරාවස්තු හමු වී තිබෙන අතර, ඒවා ඉතිහාසයේ විවිධ යුගයන්ට නෑකම් කියයි. ඊට අමතරව විදේශ රටවලින් ගෙන්වා ගෙන, නිම නොකළ අමුද්‍රව්‍ය භවිතා කරමින්, අගස්ති පබළු අතීත ලංකාවේ නිෂ්පාදනය කළ බවට, පුරාවිද්‍යාත්මක සාක්ෂි විශාල වශයෙන් ලැබී ඇත

 

උපුටා ගැනීම:  Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!