අපේ තාත්තා පෙන්ශන් යනකොට යාළුවෙක් උපදෙසක් දීලා. අවුරුදු 30 කට වැඩි කාලයක් එක්තරා ජීවන රටාවකට හුරුවෙලා ජීවිතය ගෙවපු නිසා එක පාරටම එන තනිකම කාන්සිය මකා ගන්න මොකක් හරි සිත තෘප්තිමත් කරන දෙයකට මනස යොදවන්න කියලා. හැමදාම ජීවිතේ අලුත්වෙන විදිහට. ආපහු කසාදයක් බදින්නත් වයස වැඩි නිසාත් රාහුලයෝ එකක් නෙමෙයි දෙකක්ම ඉන්න නිසාත් ඉතින් කසාදය අමතක කරලා අලුත් ආදරයක් තෑගිත් කරලා.
එයා එහෙමයි අපේ ගෙදරට ආවේ මාසෙකට වඩා පොඩ්ඩක් වයස හරිම හුරුබුහුටි පොමනේරියන් බලු පැටියෙක්. බල්ලෝ සැරයි කිව්වට මොකද ගෙදරට කෙනෙක් ආපු හැටියෙම මෙයා යනවා වලිගේ නටවා නටවා පිලිගන්න. අපට වගේම නම, ගම, ආගම, ඉපදුණ දාතම විස්තර ලියා ඇති හතරුස් කොලයක් එයාටත් කිබ්බා ගෙදරම තියා තියෙන . අපේ උප්පැන්න සහතිකය වගේම.
ඉතින් අපි එයාට කිව්වේ මල්ලි බබා, හුරතලේට පොඩි දරුවෝ නැති ගෙදර හුරතලා වුනේ එයා. අපි මස් මාලු නැතුව කෑවත් එයාට මාලු වැරදුනේම නැහැ. බලු සැප නෙමෙයි ඒක රජ සැප.
කන්න දෙනවා නම් තව බොන්න දෙනවා නම්
තව මොන කෙන්ගෙඩියද ඕන කරන්නේ
මොකද අපට වගේ ඉස්කෝලේ , පන්ති යන්න කියලද?
ඉගෙන ගන්න කියලාද??
කනවා… බොනවා… නාවනවා…. හුරතල් කරනවා…. නිදියනවා…
අන්න විදිනවා නම් සැප
එයාට බල්ලා කියනවට තාත්තට තරහයි එක්කෝ රෙක්ස්…නැත්නම් මල්ලි බබා… නැත්නම් සුදු මහත්තයා…
දවසක් ලොකු අක්කයි අයියයි අපේ ගෙදර ආවා. අක්කා අම්මයි මායි එක්ක කෝප්ප හෝදන අතරේ තාත්තයි අයියයි ඉස්සරහ කතාව. එක පාරටම ඇහෙනවා තාත්තා කියනවා
“සුදු මහත්තයා ඔයාගේ වැඩ නම් අන්තිමයි, මම හිතුවෙම නැහැ ඔයා ඔය වගේ වැඩක් කරයි කියලා”
අපිත් එක්ක කතා කරන අක්කගේ මුණ කළු වෙලා හතරුස් වෙලා අටපට්ටම් වෙලාම ගියා.
මොකද දන්නවද වෙලා තියෙන්නේ
අක්කා අයියට කතා කරනිනේ සුදු මහත්තයා කියලා අක්කා හිතන්නේ තාත්තා මේ කියන්නේ අයියා ගැන කියලා
තාත්තා බනින්නේ තාත්තගේ සපත්තුවක් හපලා දාපු රෙක්ස්ට
කොහොමින් කොහොම හරි එදායින් පස්සේ කවුරුත් රෙක්ස්ට සුදු මහත්තයා කිව්වේ නැහැ. හැබැයි අවුරුදු 11ක් ඉදලා අපෙන් වෙන්වෙලා යනකහ්ම එයා අපේ මල්ලි බබා.
උපුටා ගැනීම: කුමරිනී මලලසේකර