කියලාත් බැරිය…. නොකියාත් බැරිය… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද දුටු අපූරු සිදුවීමකි.
මල්ලීගේ පාසලේ ඔන්ලයින් පන්තිය උදයේ සිටම පවතින්නට කාලසටහන එවා තිබුනි.
උදෑසන හත හමාරට පවත්වන්නට තිබූ පන්තිය තාක්ෂණික දෝෂයක් නිසා නොපැවත්විය.
ඉදින් එයින් පසුව නැවතත් උදෑසන නවයට යෙදී තිබුනේ තවත් පන්තියක්ය.
එයටත් සහභාගී විය.
සිසුන් සියල්ල සහභාගී වන තුරු බලා සිට මිනිත්තු පහකට පමණ පසුව පන්තිය ආරම්භ කරන ලදී.
ඔහුගේ පන්ති තිබුනාට වෙලාවක් තිබෙන හැම මොහොතේදීම මා රැඳෙන්නේද ඒ අහළ පහළමය.
මන්ද පොඩි එකා වූවාට ඔහු කට්ටාය.
ඉඩක් ලද ඇසිල්ලේම මිතුරන් සමග සංවාදයේ යෙදෙන්නේ තමා සිටින්නේ පන්තියේ වගද අමතක කරමිනි.
ඉදින් බොහෝ වේලාවට වචනයට මෙල්ල නොවුනද අතින් එක් පහරක් ලද ඇසිල්ලේම ඔහුගේ අවධානය පාඩමට යොමු වනු ඇත.
එසේ කට්ට වැඩ කළද කොල්ලාගේ ඉගෙනීම දුර්වලද නැත.
සියළුම විෂයන් සඳහා ලකුණු අසූව ඉක්මවීමට තරම් ඔහු දක්ෂයෙකි.
නමුදු අති පණ්ඩිතයාය.
කියන්නට අවැසි වූයේ එය නොවේ.
ළඟදී පැවැත්වූ ඔන්ලයින් විභාගයේ එක් විෂයක් සඳහා ලකුණු අසූවත් අනූවත් අතර ප්රමාණයක් ඔහු ලබා ගත්තේය.
අද විෂය පැවැත්වූ ගුරුතුමිය එහි ලකුණු විමසන්නට විය.
මුලින්ම විමසුවේ පාසලේ ගුරුවරියකගේම දරුවාගෙනි.
ඉදින් කොමළ පාමින් ඈ ලකුණු කියද්දී ගුරුතුමියගේ මුහුණේ සිනහව වියැකී ගියේ ඇයගේ ලකුණු හැත්තෑ පහවත් ඉක්මවා නොතිබූ නිසාවෙනි.
නමුදු ඇයව ඇගයීමට ගුරුතුමිය අමතකද නොකළාය.
ඉන්පසුව ලකුණු විමසූවේ කථිකාචාර්යවරයෙකුගේ දරුවෙක්ගෙනි.
පළමු වරත් , දෙවන වරත් විමසද්දී එම කොලුවාගේ ශබ්දයක් වූයේ නැත.
ඉදින් ඔහු අද දින පන්තියට සහභාගී වී තිබුනේ නැත.
එම නිසා ඔහුගේ ලකුණු දැනගැනීමට නොහැකිව ඇය සිටියේ කනස්සල්ලෙනි.
ඉන්පසුව තවත් මද වේලාවක් පාඩම උගන්වා නැවතත් එම දරුවාට කතා කළද ඔහුගේ හැල හොල්මනක් නැත.
තවත් මිනිත්තු කිහිපයකින් ඇය ලියාගැනීමට යමක් දී නිහඬව සිටියාය.
ඉන්පසුව කිසිම අයෙක්ගෙන් ලකුණු නොවිමසූ ඇය ගුරුවරියගේ දියණිය සමග පමණක්ම විභාගය ගැන විමසන්නට විය.
සියල්ලම පසෙකලා මා බලා සිටියේ ඇය තවත් එක් සිසුවෙක්ගෙන් හෝ ලකුණු විමසාවිදැයි කියා වූවද ඉන්පසුව කතාවක් වූයේ නැත.
පසුවත් සිසුන් කිහිපදෙනෙක්ගෙන් විමසූ නිසා සොයුරාගේ පාඩමටද බාධා කරමින් ඔහුගෙන් ඔවුන් කවුදැයි මා විමසීය.
බලන විටදී ඔවුනුත් ගුරුවරියට ගොට්ට අල්ලනා සිසුන් පිරිසය.
ඉදින් ඒ කාලයේ මෙන්ම මේ කාලයේද එවන් පිරිසකගේ අඩුවක් නැත.
උන්ගේ ලකුණු පමණක් විමසන්නේදැයි මා සොයුරාගෙන් විමසද්දී ඔහුගේ මුවේ ඇඳුනේ අමුතුම ආකාරයේ සිනහවකි.
තවත් වේලා බලා සිටියද කිසිඳු වෙනසක් නැත.
ඇයගේ කතාව ඔවුන් සමග පමණි.
ඇයටත් මතක ඔවුන්ගේ නම් පමණක් විය හැකියයි කියා සිතාගෙන මාද පාඩමට ඇහුම්කන් දුන්නේ ඇතැම් ගුරුවරු ඔය වාගේ නිසාවෙනි.
මාගේ ජීවිතයේදී හමු වූ ගුරුවරුන්ද කිහිප දෙනෙකි.
ඔවුන් සියළු දෙනාම ගැන එකින් එක විස්තර කළහොත් දවසක් මදිවනු ඇත.
එම නිසා මෙසේ කියමි.
එක් අයෙක් පන්තියට පැමිණි වේලාවේ සිටම අවශ්ය දේ ගැන පමණක් කතා කරමින් ඔළුවටම දැනෙන්නට උගන්නයි.
සෑම දරුවෙක්ම එකා සේ සලකයි.
පුළුවන් කෙනාට වඩා බැරි කෙනා ගැන අවධානය දී ඔහුව හෝ ඇයට තව උඩට ගැනීමට උත්සාහ දරයි.
නැතිබැරිකම් ඇති දරුවෙක් නම් ඔවුන් වෙනුවෙන් මුදල් , ද්රව්ය අතින් පරිත්යාගයන් කිරීමටද ඔවුන් දෙවරක් නොසිතයි.
ඉදින් ඔවුන් ගුරු දෙවිවරුය.
තවත් අය සිටී.
පන්තියට පැමිණි වේලාවේ පටන්ම ළමුන්ට පාඩම කියවාගන්නට දී තෝරාගත් සිසු සිසුවියන් කිහිප දෙනෙක් සමග කවුරුන් ගැන හෝ දෙයක් ගැන හෝ අලගිය මුලගිය තැන් හාරවුස්සයි.
එතැන සිනා සාගරයක් ය.
ඇතැම් සිසු සිසුවියන්ද එවන් ගුරුවරියක් අල්ලාගෙන පන්තියේ සියළුම ළමුන්ගේ ක්රියා කලාපයන් , හැසිරීම් එකක් නෑර හරි අපූරුවට හැඩ වැඩ දමා පවසයි.
ඉදින් මාගේ පන්තියේද එවන් සිසුවියක් සිටියාය.
දැන් ඇයගේ කරේ එකකි.
බඩේ තව එකෙකි.
දරුවන් දෙදෙනාගේ පියවරුන් දෙදෙනාද ආගිය අතක් සොයාගන්නටද නැත.
ඉදින් එම සිසුවියගේ කේළම් අසා අනෙක් සිසු සිසුවියන්ට පහත් කොට සැලකූ ඇගේ ඇස් බැන්ඳුම් ගැලවී යන්නට වූයේ එම ගොට්ටි උසස් පෙළ පළමු වසරේදීම පැදුරටත් නොකියා පැන ගිය බවට ආරංචි ලැබෙද්දීය.
ඉදින් ඔය ජාතියේ ගුරුවරු සමග සිතේ ඇත්තේ කෝපයකි.
දිනක් කෝපය වචනවලින් ගිලිහී ගොස් අදාල ගුරුවරුන්ගේ සවන්පත්වලටද රිංගා තිබුනේ අර ගොට්ටිට පින්සිදුවෙන්නටය.
එදින පටන් පාසලෙන් ඉවත්වන තුරුම අමනාපකම් එලෙසම පැවතීය.
එය හිතට දුකක් වේදනාවක් ගෙන දුන්නද නොසිතා සිටියේ කිසිම මොහොතක කෝපයෙන් පිටවූ වචනවල වුවද මුසාවක් නොවූ බැවිනි.
තවත් සමහර අය පාසල නිමාවන සීනුව නාද වෙන්නටත් ප්රථමව අත්සන් තැබීමට කාර්යාලය අසලය.
සිසුන්වත් පෙරළාගෙන බස් රථයට නැගීමට ඔවුන්ට ඇත්තේ පුදුමාකාර හදිසියකි.
එක් දිනක් දෑසට දුටු දසුනක් මෙසේ පවසමි.
එම සිසුවා එවිට හය වසරේය.
මිතුරෙකු සමග බස් රථයට ගොඩවී නිවසට යාමට බස් රථයට ගොඩ වීමට පළමු පඩියත් නැගී සිටි දරුවෙකු බිමට ඇද දමමින් ගුරුතුමිය බස් රථයට නැග්ගේ එම දරුවා බිමටද ඇද වැටෙද්දීය.
හය වසරේ කොලු ගැටයාය.
බොරළු පාරේ අතපය වැදී රිදුම් දී අඬන්නටද ගෙන තිබුනි.
ටීචර්ස්ලා ටික නගිනකන් මුන්ට ඉන්න බැරිය යන ජාතික වැකිය කියමින් ඇය ගොස් අසුනක හරි අපූරුවට අසුන් ගෙන තවත් ගුරුවරියක් සමග සිනහවෙමින් එම කාරණාව පවසන අයුරු දුටු විට නම් දැනුනු හැඟීම පිළිකුලකි.
ඉදින් නිහඬව බලා සිටි පිරිස අතරේ එක් මවක් ඒ වෙනුවෙන් හඬ නගා කතා කළාය.
බස් රථයේදී ගුරුවරියට සැඟවීමටවත් නොහැකිව ඇය සිටියේ අපහසුවෙනි.
වදනකදු කතා කරගත නොහැකි වූ ඇය නිහඬව සිටියේ වරද තම අතේ බව දන්නා නිසාම විය යුතුය.
බස් රථයේදී නිහඬව සිටියද ඇගේ මුව පසුදා පාසලේදී විවර වී තිබුනි.
කාරණාව කොතරම් දුර දිග ගියාද කියතොත් අවසන පසුදා උදෑසන රැස්වීමේදී ප්රධාන මාතෘකාව වූයේ ගුරුවරුන්ට සලකන අයුරුය.
ඉදින් සැලකුම් ලැබීමට ඔවුනුත් ඒ අයුරින් හැසිරිය යුතුය යන්න ඇතැම් මාන්නාධිකයන්ට නොවැටහෙන්නේ මන්දැයි කියා නොදනිමි.
මේවාට මුකුත් කියලාත් බැරිය.
නොකියාත් බැරිය.
උපුටා ගැනීම: Sh Anu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!