දැන් වගේ නෙමෙයි එ් කාලේ අපිට හරි කරදර. තාත්තා තමයි හැමදේකටම තනිවම මුහුණ දුන්නෙ.මොන තරම් පීඩිත අවස්ථාවක උනත් තාත්තගෙ ඇස් දීප්තිමත්ව තිබුණ හැටි නම් කවදාවත් අමතක වෙන්නැ. ඒක මට ඒ දවස්වල මහ ලොකු දෙයක් විදිහට දැනුණෙ නෑ. මම කවදාවත් හිතලා නෑ තාත්තා මෙහෙම කැපවීම් කරන්නෙ අපි වෙනුවෙන් නේද කියලා.
මං පුංචි කාලේ ඉස්කෝලේ දී අම්මටයි තාත්තටයි වදින ගාථාව කියද්දී අත් දෙක නලලට ගන්නවා.ඔව් අපි හැමෝම එහෙම කලා.එහෙම කරද්දී අනිත් අයට කොහොම දැනුණද කියන්න මම දන්නැ.ඒත් මම නම් පුරුද්දකට වගේ එහෙම කලා මිසක් අමුතු හැඟීමකින් එහෙම කළේ නෑ.මං දන්නැ ඇයි මම ඒ දවස්වල කෑ ගහලා ඒ ගාථා කිව්වෙ කියලා.සමහරක් විට මට ඕන වෙන්න ඇත්තෙ, මට අම්මට තාත්තට වදින ගාථා කටපාඩම් කියලා අනිත් අයට ඒත්තු ගන්වන්න වෙන්න ඇති.ඒ පුංචි කාලේ.
ටික ටික මම ලොකු වෙද්දි තාත්තා මහන්සි වෙනවා දකිද්දි මහ අමුතු වේදනාවක් මට දැනුණා.මං දන්නැ එයා තනියම හැම දෙයක්ම පාලනය කළේ කොහොමද කියලා.ඒත් තාත්තා හරි ලස්සනට හැමදෙයක්ම කළමනාකරණය කළා.ඉස්කෝලේ යද්දි හැමදාම මම තාත්තටත් වදිනවා.ඒත් කවදාවත් අම්මා වගේ තාත්තා මගේ ඔලුවට හාද්දක් දුන්නෙ නෑ.ඔව් මං ඒක බලාපොරොත්තු උනෙත් නැ.ඒත් මට හිතුණා තාත්තා ආදරේ ගැන දන්නෙ නෑ කියලා.
තාත්තා කියන්නෙ කව්ද කියලා මට ඒ දවස්වල තේරුණේ නෑ.තාත්තා කවදාවත් එයා අමාරුවෙන් දවස ගෙවපු හැටි වැඩ කරපු හැටි අපි එක්ක කිව්වෙ නෑ.ඒත් හැම හවසකම තාත්තා කාලේ වෙන් කලා අපේ දවස ගෙවුණ හැටි දැනගන්න. ඒ දේවල් කියද්දි මම පරිස්සමි උනා බැනගත්තු ගහගත්තු කතා මඟහරින්න.ඒත් හදිසියක හරි මට ඒ කතාවක් කියවුණොත් තාත්තා කරන්නෙ හයියෙන් හිනාවෙන එක. මං අදටත් දන්නැ ඇයි ඒවට තාත්තා හිනාවුනේ කියලා.ඒත් මට තාම මතකයි හැම කතාවක් අවසානේටම තාත්තා කියපු වචන ටික,
“දවස කොහොම ගත කළත් ඒ දවස අවසානයේ ඒවා මතක් කරද්දි හිතේ වෛරයක් තරහක් ඇති වෙන වැඩ කරන්න එපා”
ඒ දවස්වල මට හිතුණෙ මේ මොන විකාරයක්ද කියලා.ඒත් දැන් මං දන්නවා ඒ කතාව මොන තරම් වටිනවද කියලා.
තාත්තට ඕන උනේම බස් එකේ යද්දි මාව ජනේල අයිනෙ වාඩි කරවගෙන හැම දෙයක් ගැනම විස්තර කර කර යන්න.
“ආන් අරක තමයි ලංකා බැංකුව”
“එතකොට අර බලන්න අර තියෙන්නෙ ඉස්පිරිතාලේ “
“මොකද නිදියන්නෙ වටේ පිටේ දේවල් බලනවා.ආන් ආන් අර පහු උනේ තිසා වැව”
ඇත්තටම මට ඕන උනේ නිදහසේ නින්දක් දාගෙන යන්න.ඒත් තාත්තා කවදාවත් ඒකට ඉඩ දුන්නෙ නෑ.මට ඒ දවස්වල හිතුනෙම තාත්තා ඇයි මේ තරම් මට වද දෙන්නෙ කියලා.ඒත් අද මට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා.අහගන්න තාත්තා නෑ.
කොහොම හරි තාත්තා ඉන්නකන් මම උත්සහ කළේ නෑ එයාගේ ආදරේ තේරුම් ගන්න.ඒත් එක දවසක් එනවා මට ඒ ආදරේ තදින්ම දැනෙන ඒත් ඒ වෙද්දි එයා අපිව දාලා යන්න ලෑස්ති වෙලයි හිටියෙ.මං දන්නවා ඉපදෙන හැමෝම මැරෙනවා කියලා.ඒත් ඒ වෙද්දි මට හිතන්න ඕන උනේ නෑ අපේ දෙමව්පියොත් මැරෙනවා කියන එක.මම එදා ඒ ධර්මතාවයට වෛර කළා.
පළවෙනි වතාවට මට ඕන උනා තාත්තට ආදරෙයි කියන්න.මට ඕන උනා තාත්තා කරන කැපකිරීම් වලට ස්තූතිවන්ත වෙන්න.මට ඕන උනා බෙල්ල බදාගෙන එයාට හාද්දක් දෙන්න.ඔව් මං ඒ හැමදේම කළා.ඒත් තාත්තා ඒ කිසිදෙයක් නොදන්න ගානට ඇස් පියාගෙන හිටියා.වෙනදා මහ හයියෙන් හිනාවෙන තාත්තා එදා නිහඬවම හිටියා.මට දැනුණා මගේ හදවතේ එක පැත්තක් හිස් වුන වගක්.
අද මට තාත්තට වදින ගාථාව ඇහෙද්දි අත් දෙක යන්නෙ පපුවට.ඔව් එතනින් මහ විශාල වේදනාවක් දැනෙනවා.තාත්තා ඉන්නකන් ගාථාවේ වචන ගැනවත් නොහිතපු මම අද ගාථාවේ අකුරක් අකුරක් පාසා මගේ තාත්තගේ ආදරේ මවා ගන්නවා.
අදටත් ජීවිතේ වැටෙන තැන් ඕන තරම් තියෙනවා. මට හිතෙනවා ඒ හැම තැනකදිම මාව ශක්තිමත් කරන්න තාත්තා හිටියා නම් කියලා.මං දන්නවා මේ ලෝකේට අපි හැමෝම එන්නෙ යන්න බලාගෙන කියලා.ඒත් මට තාමත් ඕන තාත්තා මගේ ළඟින් ඉන්නවා දකින්න.දවස ගානේ වෙන දේවල් එයා එක්ක කියවන්න.මහ හයියෙන් හිනාවෙන්න.හාද්දක් දෙනකන් බලන් ඉන්න.නොදුන්න තැන මේ මොන ආදරයක්ද කියලා හිතන්න. ඒත් ජීවිතේ මහ කටුක දෙයක්. අපිට ඕන දේවල් වෙන්නෙ නෑ.
මං අද වෙද්දි දන්නවා තාත්තගේ නිහඬ ආදරේ තරම.ඒත් අද ඒ ආදරේ විදින්න තාත්තා මගෙ ළඟ නෑ.ජීවිතේ එහෙමයි.අපිට හැමදාම අවස්ථාව දෙන්නෙ නෑ.තාත්තා ආදරේ කරන්නෙ හංගගෙන.ඒත් අපිට පුලුවන් අපේ ආදරේ පෙන්වන්න. තාත්තා මගේ මුලු ලෝකෙම කියලා ලෝකෙට ඇහෙන්න කියනවට වඩා ඒ කන්වලට ඇහෙන්න කියන්න පුලුවන් නම් එතන වටිනාකම වැඩියි.
ඒත් අදත් කී දෙනෙත් නම් මල්මාලයක් දාපු ෆෝටෝ එකක් දිහා බලාගෙන තාත්තෙ ඔයා නැතුව පාළුයි කියලා කියන්න අැත්ද, කී දෙනෙක් නම් මුලු ලෝකේටම ඇහෙන්න ආදරේ ප්රකාශ කරන්න ඇත්ද, කී දෙනෙක් නම් තාත්තා ලඟට ගිහින් තාත්තෙ මං ආදරෙයි කියලා කියන්න ඇත්ද.
මොන දේ උනත් මටත් බැරි උනා තාත්තගේ ඇස් දිහා බලන් ආදරෙයි කියන්න.ඔව් මටත් එහෙම කියන්න තිබ්බා.කාලය විසින් හැමදේම තේරුම් කරලා දෙද්දී වෙන ඕන දේවල් වෙලා ඉවරයි.ඒ තමයි මේ ජීවිතේ හැටි.
උපුටා ගැනීම: Hirusha Wijerathna