බයිසිකලය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පොඩිම කාලෙදී මම පාවිච්චි කරපු රෝද තුනේ බයිසිකලේ අමුතුම වර්ගේ එකක්. මගේ ළඟ ඇරෙන්න වෙන කාගෙවත්ම ළඟ එහෙම බයිසිකලයක් තියෙනවා මම දැකලම නෑ. කළු පාට, අඩියටම ගෙවුනු අමුතු මොඩ්ල් එකේ ටයර් දෙක ඇරුනම ඒකේ අනිත් හැම තැනම දුඹුරු පාටයි. හේතුව තමයි ඒක ඒ තරමටම මලකඩ කාලා තිබුන එක. මුලින්ම සීයා, මාමා ට අරන් දීපු බයිසිකලේ පාරම්පරික උරුමයෙන් අයිතිකාරයෝ කී⁣ප දෙනෙක්ගෙන් පස්සේ මගේ අතට එනකොට ඒ තත්වෙන් හරි තිබුන එක ඇත්තටම පුදුමයක්. මම තමයි ඒකේ අන්තිම උරුමක්කාරයා.
ඔහොම ගිහින් තව ටිකක් කල් යනකොට මට “චොපර් සයිකලයක්” ගන්න ඕන උනා. මගේ උවමනාව මම අප්පච්චිට කිව්වත් ඉල්ලපු ගමන් ඒ වගේ දෙයක් එදාම හවස් වෙද්දී ගෙනත් මගේ ඉස්සරහින් තියන්න එයාට පුළුවන්කමක් තිබුනේ නෑ. කොහොම උනත් මමත් නොහිතපු වෙලාවක එයා සයිකලයක් ගෙනත් තිබුනා. මම ඒක දැකලා සතුටින් පිනා ගියා කියල නම් කියන්න බෑ. මොකද ඒක සයිකලයක් කියනවට වඩා “සයිකල් බාගයක්” කිව්ව නම් තමයි හරි.
ඉස්සරහ, පිටිපස්ස ටයර් දෙක තිබුනේ නෑ. සීට් එකක් තිබුනේ නෑ. බ්රේක් පද්ධතියට අදාල කිසිම දෙයක් තිබුනේ නෑ. චේන් එක තිබුනෙත් නෑ. ඉතිරි වෙලා තිබුනේ සැකිල්ල විතරයි. ඒකත් හොඳටම මලකඩ කාලා තිබුනා. ළඟ පාත ගෙදරක දර මඩුවක අයින් කරලා දාලා තියෙද්දී බොහොම පොඩි ගාණක් දීල තමයි අප්පච්චි ඒක අරන් තිබුනේ. එහෙම ගෙනල්ලත් දවස් ගාණක් තිස්සේ ඕක කාමරේ මුල්ලකට දාලා තියලා එයාගේ අතට ගාණක් හම්බුන වෙලාවක තමයි නොසෑහෙන්න තිබුනු අඩුපාඩු වලින් ටිකක් හරි සම්පූර්ණ කරලා බයිසිකලේ පදින තත්වෙකට ගෙනත් මගෙ අතට පත් උනේ.
බයිසිකලේ ඉස්සරහා ටයර් එක රෝස පාටයි. පිටිපස්සේ ටය⁣ර් එක නිල් පාටයි. අනිත් හැම තැනම මලකඩ පාටයි. ඕක පාරට දාපුවම බලන් ඉන්න අයගෙන් ලැබුනේ පුදුම විදියේ ප්රථිචාර. ඒ හැම දේම කනට ඇහුනත් නෑහුන ගාණට මම බයිසිකලේ පැද්දා. සමහර වෙලාවට මම බයිසිකලේ පැදන් යද්දී සමහරු “ ටයර් දෙක නම් ලස්සනයි” කියනවා. ඒ කතාව ඇත්ත. ඒ බයිසිකලේ ලස්සන දේකට තිබුනේ ටයර් දෙක විතරයි තමයි. ඒත් එහෙම දෙයක් කණට ඇහෙනකොට වයස අවුරුදු 6 ක් 7 ක් උන මට අමුතු විදියේ ලැජ්ජාවක්, දුකක්, කලකිරීමක් ඇති උනේ නැතුවම නෙවෙයි. ඒත් මොකක්වත් නැතුව ඉන්නවට වඩා එහෙම සයිකලයක් හරි තියෙන එක ගැන මම අන්තිමට සතුටු උනා.
පදින්න ගත්තම උනත් සයිකලේ මට ඒ තරම් සුවපහසුවක් ගෙනත් දුන්නේ නෑ. හිටපු ගමන් සීට් එක පහළට පාත් වෙනවා, නිතරම චේන් එක පනිනවා. පොඩි වලකින් දැම්මත් හැන්ඩ්ල් එක ඇද ගහනවා, වගේ තවත් දාහකුත් එකක් ප්රශ්ණ මැද්දේ තමයි බයිසිකලේ පැද්දේ. කොහොමත් ඒක පදිනවට වඩා මම කලේ හදපු එකම තමයි. එක දවසක් යාළුවෙකුගේ බයිසිකලෙත් එක්ක හැප්පිලා පෝක් එක කඩලා ගියා. තව දවසක් ගෙදර බිත්තියේ හැප්පිලා හැන්ඩ්ල් එක දෙකටම කඩලා ගියා. ඒ හැමදේමත් වෙල්ඩින් කරගෙන අවුරුදු තුන හතරක්ම මම ඒ බයිසකලේ පාවිච්චි කලා. කොහොම හරි බයිසිකලේ අවසාන කාලේ එනකොට මටත් සයිකල් ගැන තිබුනු දරුණු ආසාව ක්රමයෙන් සංසිඳිලා ගියා.
ඒත් ඒ වෙනකොට බයිසිකලේට එන ලෙඩ වලින් සෑහෙන දේවල් ටිකක් මටම ගෙදරදී හදාගන්න පුළුවන් තැනකට මම පත් උනා.
ආයෙත් හැරිලා ඒ දේවල් කල්පනා කරලා බලද්දී හිතෙන්නේ හරියට අපේ ජීවිතත් ඒ වගේ කියලා. අපිටත් මුලින් හැමදේම සම්පූර්ණ කරපු ජීවිතයක් හම්බෙන්නේ නෑ. හම්බෙන්නේ සැකිල්ලක් විතරයි. ඒකට උවමනා කරන අනිත් දේවල් හොයාගන්න ඕනත් අපිමයි. අමාරුවෙන් ගැටගහගෙන ඇදන් යන්න දඟලන මේ ජීවිතේ දිහා බලලත් හිනා වෙන්න, උසුළු විසුළු කරන්න ඉන්න අයත් බොහොමයි. ඒ දේවල් ඇහුනේ නෑ වගේ ඉන්න හැදුවත් සමහර වෙලාවට හිත රිදෙන්නෙත් නැතුවම නෙවෙයි. ඒත් තියෙන අඩුපාඩු පුළුවන් විදියකට සම්පූර්ණ කරගෙන යන්න තියෙන මේ ජීවිතේ ඇරෙන්න අපිට ආයෙත් අළුතෙන් ජීවිතයක් ලැබෙන්නේ නෑ.
ජීවිතේ ඉදිරි ගමනට පන්නරයක් වෙන්නෙම එක්තරා කාලෙකදී අපි විඳපු අපහසුකම්, අගහිඟකම්, දුක්, කම්කටොලු කියන දේවල්. අනාගතය පහසු කරන්නෙම එක කාලකෙදී අපි ජීවිතේ මුහුණ දීපු අපහසුකම් වලදී ලැබුන අත්දැකීම්. කිසිම අඩුපාඩුවක් නැති අළුත්ම බයිසිකලයක් ලැබුන නම් පස්සේ කාලෙක මතක් කරන්න ඒ තරම් දේවල් ඒ බයිසිකලේ මට ඉතුරු කරන්නේ නැති වෙයි. ජීවිතේ ගෙවපු අපහසු කාලවලුත් ඒ වගේ. විඳින වෙලාවේ අමාරු උනත් පස්සේ කාලෙක මතක් කරලා ආඩම්බර වෙන්න පුළුවන් අතීතයක් ඒ මනුස්සයගේ ජීවිතේට ඇත්තටම වටිනාකමක් එකතු කරනවා.
ජීවිතේ සතුට දැනෙන්න දුක තියෙන්න ඕන. පොඩි කාලෙදී හිතපු හිතපු දේවල් ඒ විදියටම නොලැබුන නිසා ඒවත් එක්ක හිතට දැනෙන දුක අඳුනගන්න පුළුවන් උනා. ඒ නිසා අද මොන දේ ලැබුනත් නොලැබුනත් මහා ලොකු හැඟීමක් එන්නේ නෑ. මොන ප්රශ්ණ ජීවිතේට ආවත් කිසිම ප්රශ්ණයක් නෑ වගේ විහිළුවක් කරලා හිනා වෙලා ඉන්න පුරුදු කලේම ඒ ගෙවපු ජීවිතේ අත්දැකීම්. ඉතිං විහිළුවක් කරලා හිනා උන පලියටම හිතන්නෙපා මිනිස්සුන්ට ප්රශ්ණ නෑ කියලා.
ප්රශ්ණ තියාගෙනත් හිනා වෙන මිනිස්සු ඉන්නවා. අන්න ඒ වගේ මිනිහෙක් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ හරි සම්පූර්ණයි. හරි පිළිවෙළයි. රහයි.
උපුටා ගැනීම: Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!