“නෑ කිව්වොත් නැති වෙනවා බෑ කිව්වොත් බැරි වෙනවා” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“එහෙනම් මොකද්ද කියන්න ඕන”
“මදිපාඩුයි කියලා කියන්න “
එහෙම තමයි අම්මා අපිට නිතරම කිව්වේ.
මේ ලෝකෙ මම දැකපු හොඳම ධනාත්මක චින්තනකාරිය අපේ අම්මා.
එයාගෙ ශබ්දකෝෂයේ නැහැ බැහැ කියලා දෙයක් තිබුණේ නැහැ .
ඒ නිසා ගමේ හිටිය හුඟක් අයට කරන්න බැරිවුණු දේවල් අම්මා කරගත්තා . ඒ දේවල් එතරම් පහසු වුණේ නැහැ .ඒත් එයා අතෑරියේත් නැහැ .
ඒ වගේමයි එයා කවදාවත් නෑ කිව්වේත් නැහැ . බැහැ කිව්වෙත් නැහැ.
අපේ අම්මගේ ලෝකෙ වපසරිය හුඟාක් වැඩියි. පුංචි ම ගමක අපි ජීවත් වුණේ . මම මේ කියන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල මුල් බාගෙ හිටිය මගේ අම්මා ගැන
ඒ දවස්වල ඉගෙනීම ගැන ගම්වල එතරම් උනන්දුවක් තිබුණේ නැහැ .
ඒත් ඒ ගම ඇතුලේ අපිව හිර කරලා තියන්න අම්මා කැමැති වුණේ නැහැ. එයා මුලින්ම පටන් ගත්තේ එතනින්.
ගමේ ඉස්කෝලෙට යවන්නේ නැතිව අපිව ටවුන් එකේ ස්කෝලෙට දාන්න එයා මහන්සි වුණු විදිය මට හොඳට මතකයි. කොහොමහරි අපි ඔක්කොම ටවුමෙ ඉස්කෝලෙට ගියේ. එයා අපිට කරදර කරේ නැහැ හැබැයි අපිව හරියටම අධීක්ෂණය කරා. ඒ නිසා අපි හොඳට ඉගෙන ගත්තා.
ඊටත් පස්සේ අපි ශිෂ්යත්ව විභාගය සමත් වුණා අපි කිව්වේ අපි හැමෝම සහෝදර සහෝදරියෝ.
අම්මා එතනින් නැවතුනේ නැහැ අගනුවර ප්රධාන පෙළේ පසල් වලට අපිව යවන්න සැලසුම්කරා.
ඊට පස්සේ විශ්වවිද්යාල වලට.. ඊට පස්සේ පිටරට අධ්යාපනය ඔය විදියට දුර ගමනක් එයා අපිව එක්කරගෙන ගියා..
තාත්තට රස්සාව නැති වුණු අපිට ගොඩක් දේවල් නැති වුණු කාලවල් තිබුණා. ඒවා හරිම අඳුරුයි .හැබැයි ඒ අඳුරු කාලවලදීත් අම්මා අපිව අඳුරේ තිබ්බේ නැහැ..
එයා හරියට අපේ ජීවිත වල පහන් තාරකාව වගේ වුණා.
නැහැයි කියලා හිතුන හැම වෙලාවෙම අම්මගේ අතේ හැම දෙයක්ම තිබුණා..
බැහැයි කියල හිතපු හැම වෙලාවෙම නැහැ පුළුවන් කියලා අපිට හිතන්න අම්මා පුරුදු කරා.
අපිට විතරක් නෙවෙයි
නෑයින්ට ,නො නෑයන්ට, දුප්පත් මිනිසුන්ට, සතා සිවුපාවාට
හැම කෙනෙකුටම එයා සැලකුවා.කාටවත් නෑ කිව්වේ වත් බැහැ
කිව්ව වත් නැහැ.
මදිපාඩුයි කියන්න
කතාවට අපි හැමදාම හිනා උනා. අම්මා නිශ්ශබ්දව හිනාවුණේ කවදහරි තේරෙයි කියලා කියන්න වගේ ..
අපේ පොඩි මල්ලි සමහර දාටඅම්මට කියනවා ..
අම්මේ මට පොඩි මදිපාඩුවක් කියනවා මොකද කරන්නේ කියලා
කීයක් විතර ද පුතේ කියලා අම්මා අහනවා
ලක්ෂ දෙකහමාරක් විතර ..හමාර මගෙ ළග තියෙනවා දෙක මදි පාඩුයි අම්මෙ කියලා ..
මල්ලි කරන්නෙ විහිළුවක් කියල දැන දැන අම්මා කියනවා හරි පුතේ මං දෙන්නම් කියලා
අපි එක විහිළුවකට ගත්තා
ඒත් ඒක විහිළුවක් නෙමෙයි
එදා අම්ම බැහැ කියලා කිව්ව නම් අපි අද මේ තත්ත්වෙ නැහැ
එයා අපිව ඉස්සරහට අරගෙන ගියේ එයාගෙ ඒ අපූරු උදාන වාක්යයත් එක්ක …
මොනවා හරි ප්රශ්නයකදී එකා පිට එකා වැටුනත් අපෙ අම්මා නෙවෙයි හෙලවෙන්න .
ඒක අපිට හිතාගන්නවත් බෑ .සමහර වෙලාවට හිතෙනවා එයා කොහොමද මේ දේවල් කළේ කියලා. එයා ඒ තරම්ම දක්ෂයි .ජීවිතේට හැමදාම හොඳම දේවල් දීලා එයා ගියා. ආපස්සට හැරිලා බලලා හිතන්න දේවල් හුඟක් ඉතුරු කරලා තියල එයා ගියේ.
කොයිතරම් නැති වෙලාවකවත් කොයිතරම් බැරිවුණ වෙලාවකවත් අපි දැන් නැහැ කියන්නේත් බැහැ කියන්නෙත් නැහැ.
අපි දැන් කියන්නේ මදි පාඩුයි කියල.
ඒත් ඒක කියනකොට අපිට ඉස්සර වගේ හිනා වෙන්න බැහැ
අම්මව හුගක් මතක් වෙනවා.
අම්මට අපිව පේනවනම් එයා සතුටු වෙනවා ඇති..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!