කපුවගෙ තණ්හාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම ලන්ඩන් ඉන්න කාලයේ මගේ ෆ්ලැට් මේට් බන්ටිගේ තාත්තා කතරගම දේවාලයේ ප්රධාන කපු මහත්තයා වෙලා හිටියේ. මිනිහා කියන හැටියට වීල්බැරෝ වලින් ලු දෙවියන්ට දීපු කාසි ගබඩා කාමරයට අරන් ගිහිල්ලා තිබිල තියෙන්නේ, ඒ මදිවට ගබඩාවල රත්රන්වලින් හදපු එක එක ගැජට් තිබුනු බවත් බන්ටි පොඩි ඩ්රින්ක් එකක් දාගත් වෙලාවට අපි සමග කියා ඇත. ඒ කාලේ කාසි දැම්මට, දැන් ඉතින් මොනරු ඉන්න කොල වලින් නේ කතරගම දෙවියන්ට පඬුරු දෙන්නේ, ඒකනේ දේශපාලුවොත් මේ තැන්වල පොරවල් වෙන්න ට්රයි කරන්නෙ. බන්ටිලා හිටියේ ලොකු ගෙදරක, ඒ වගේම හැත්තෑව දශකයේ මිනිහගේ සහෝදරයන් දෙන්නයි සහ අසූව දශකයේ ඌවත් එංගලන්තයට යැවීමට තරම් ඔවුන් හොඳ ආර්ථික මට්ටමක සිටි බවට සාක්ෂි තිබුනා. පසුව ඔය කපුරාලකම් වෙන කට්ටියක් අරගෙන ඒකට නඩුත් ගියා. ඒක උසාවියෙන්ද කතරගම දෙවියොද තීන්දුව දුන්නෙ කියල මම හරියට දන්නෙ නම් නෑ.
බන්ටි එක එක සුරංගනා කතා කිව්වත්, මේ කතාව මට අමතක වෙන්නෙ නැත්තේ මේක ඕන පැත්තකට හරවන්න පුලුවන් නිසයි. ඔන්න එක්කෙනෙක් තමන්ට ලොකු ටෙන්ඩර් එකකට ඉල්ලුම් කරලා, ඒක කොහොම හරි කරල දෙන්න කියලා කතරගම දෙවියන්ගෙන් ඉල්ලලා ඒක හරි ගියොත් රත්තරන් වලින් හදපු කතරගම දෙවියන්ගේ රූපයක් කොමිෂන් එක හැටියට දෙනව කියලා භාරයක් වෙලා. ඒක කතරගම දෙවියො හෙවත් කන්දසාමි දෙවියො, එහෙමත් නැත්නම් මුරුගන් දෙවියො කරල දීල ද කොහේද ඒ මෑන් අඩියක් විතර උස රත්තරන් පිලිමයක් ඇවිල්ලා දෙවියන්ගේ ඒජන්ට් කපුරාලට දීලා. ඉතින් බන්ටිගෙ තාත්තත් මිනිහගේ සීනුව හොල්ලලා දේව භාෂාවෙන් කතා කරලා, දෙවියො කියපු එක ආයෙත් සිංහලට පරිවර්තනය කරලා,
‘ඕකට ගිය සල්ලිවලින් පාසලකට ගොඩනැගිල්ලක් හරි ඉස්පිරිතාලෙකට උපකරණ කිහිපයක් දෙන්න තිබුනේ, ඒත් ඉතින් හිත සතුටින් දීපු එක නේ, ඔන්න ඔහේ තියල යන්න’ කියල කිව්වලු.
ඒ මිනිහ ගිය ගමන්, අර පිලිමෙට ආපු තන්හාව නිසා දවසේ ඉතිරි වැඩ කටයුතු ඉන්ටර්න්ෂිප් එක කර හිටිය කනිෂ්ට කපු මහත්තයට කරගෙන යන්න කියලා, පිලිමෙත් අරගෙන මාතර තිබුනු එයාලගේ ගෙදර ඇවිල්ලා. පිලිමේ හොඳ තැනක තියලා මල් එහෙම පූජ කරලා, එදා රෑ ඩ්රින්ක් එකක්වත් නොදා, දෙලුයි බලමාලුයි හොඳට කාලා නිදා ගත්තලු.
අප්පට සිරි, ඊලඟ දවසේ මුලු දවසෙම බඩ යනවලු. මාතර ඉස්පිරිතාලෙට අරන් ගියාලු, ඉතින් සේලයින් එහෙම දීලා බෙහෙත් කරාලු, ඒත් බඩයන එක නවතින්නෙ නැති ලු. ඒ පාර එතනින් කොලඹ මහ ඉස්පිරිතාලෙට යවලා, එහේ හිටපු තද විශේෂඥයින්ටවත් බැරිලු බඩ යන එක නවත්වන්න. දැන් එයා විජලනය වෙලා, මැරෙන සයිස් එකටම ගිහිල්ලා.
ඉතින් දැන් රුහුනු මල්කරුවන්ට කතා කරලා අවමංගල උත්සවේ කරන හැටි ගැන කතා කරගන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා පිරිත් එහෙම කියවලත්. ඔන්න හදිසියේම සුදු පෙරවගත්තු සන්නාසියෙක් වගේ කෙනෙක් ඇවිල්ලා ඇඳ ලඟට. එයා කාටත් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න කියලා, බන්ටිගේ තාත්තගෙ කනට කිට්ටු කරල මොනවද කියලා. ඊට පස්සෙ බන්ටිට කතා කරල, තාත්තා අමාරුවෙන් කිව්වලු
‘පුතා, අර ගෙදර තියෙන රත්තරන් පිලිමේ අරගෙන ගිහිල්ලා, ආපහු කතරගම දේවාලෙම තියන්න’
කියලා.
බන්ටි ගෙදර යන්න හදනකොට අර සන්නාසියත් අහලා එයත් එන්නද කියලා, බන්ටිටත් තනියම කොලඹ ඉඳලා කතරගම යන්න කම්මැලි නිසා, එකඟ වෙලා එයාවත් එක්ක ගෙන යන්න. ඒත් ඒ මෑන් කතාවක්වත් නැතිලු.
බන්ටි මාතර ගිහිල්ලා, ගෙදර තිබුනු පිලිමෙත් අරගෙන කතරගම යන කොට, තිස්ස්මහාරාමේ පහු වෙලා කැලෑ හරියකින් යනකොට, ඒ සන්නාසියා කිව්වලු
‘ලමයා, මේ හරියෙන් ඔය කාර් එක නවත්තන්න’
කියලා. බන්ටි ඉතින් කාර් එක නැවැත්තුවම එයා කාර් එකෙන් බැහැලා කැලේ අස්සට ගිහිල්ලා, නොපෙනී ගිහිල්ලා.
බන්ටි අර පිලිමය, කතරගම ගිහිල්ලා තියලා ආයේ කොලඹ එනකොට, තාත්තගේ ටිකට් එකත් කපලලු. ටිකට් එක කැපුවා කිව්වේ මැරුනා කියන එක නෙවෙයි, ලෙඩ හොඳ වෙලා ඉස්පිරිතාලේ ටිකට කපලා ගෙදර යන්න ලැස්ති වෙලාලු.
අපි එක එක හරස් ප්රශ්න ඇහුවම අපිත් බය කරන්න බන්ටි කිව්වා, දෙවියන්ට ලන්ඩන් ඇවිල්ලා, නරක් වෙච්ච චයිනීස් කෑමක් දීලා අපිටත් බඩ යවන එකත් ලොකු දෙයක් නෙවි කියලා. මම නම් හිතන්නේ දෙවියන් ගැන අදහන නිසා, ඒ බයටම තාත්තට බඩ ගියා කියලා. ඉතිරි හරිය බන්ටිගේ නිසොල්ලාසයෙන් කියලයි. ඌ කිව්වට අපි දැක්ක එකක් ය. ඒ කොහොම වෙතත් දේවාලය සල්ලි උල්පතක් බව නම් පැහැදිලියි.
ඉතින් බන්ටි කියන්නේ ඒ සන්නාසියා…. ඕනත් නෑ කියන්න ඔයාලා දන්නවනේ කවුද කියලා. මේ කතාවෙන් තමන් ගත්තු දේ මොනවද කියල ලියාගෙන යමු ද?
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!