“යලට මහට අඹුවන් මාරු කරන මාගම් පත්තුවේ ගම්බාරයන්ගේ ගමන් බිමන් ගැන හොයල වැඩක් නෑ මාධවී ‘ජයන්ත සර් ගුරු විවේකාගාරයෙදී කිව්වෙ විහිලුවට නොවන බව මට තේරුම් ගියේ විවාහ වී තිස්සමහාරාමයට පැමිණි මුල් දින වල දීමය. ඒ වගේ මාතෘකාවක් සාකච්ඡා කළේ මට තිස්සමහාරාමයෙන් විවාහ යෝජනාවක් ඇවිත් තිබුණ නිසා . ජයන්ත සර් හිටියෙ මා ගැන ලොකු උනන්දුවකින් .
මධුසමය දින දෙකකට සීමා කල කුසුම්තිලක ගම්බාර මගේ සැමියා උදේ ආහාරය පවා නොගෙන ගෙදරින් පිටත්ව ගියේ ‘ ගිහින් එන්නම් ‘ කියලා . එයාගෙ අම්මා ඉදිරිපිට මගේ නළල ඉඹීවි කියලා මම හිතන් හිටියත් එහෙම කළේ නෑ .
“” ඉස්කෝලෙ නෝනට ඉතින් පුරුදු වෙන්න වෙයි
ගම්බාර මහත්තයගෙ පිළිවෙළ. උදේ පාන්දර ගාල්වලටයි , කුඹුරු පැත්තෙයි ඇවිද්දම දවස ගෙවිලා ඉවරයි.”” ගෙදර වැඩ කරන මැදිවිය ඉක්මවමින් ඉන්න ඒංගල්තිනා නැන්දා කිව්වේ
ලොකු ආඩම්බරයකින්. එංගල්තිනා නැන්දා ගෙ කතාව අනුමත කරමින් වගේ මගෙ නැන්දම්මා සිනාවුණා.
” ඔය එඩේරු විශ්වාස කරන්න අමාරුයි ඉස්කෝලෙ හාමිනේ. කිරි හොරෙන් විකුණනවා .ඒ විතරක් නොවෙයි හරක් එකා දෙන්න හොරෙන් විකුණනවා තම්බින්ට.” එහෙම කිව්වෙ නැන්දම්මා . මම සිනාවෙමින් නැන්දම්මා ගෙ කතාව පිළිගත් බව ඇගවීමට උත්සාහ කළා .
” දයාවතීටත් කෙල්ලක් හම්බවෙලා කියන්නේ “
එංගල්තිනා නැන්දා රහසක් කියන්නාක් මෙන්
මගේ නැන්දම්මාට කිව්වේ වටපිට බලමිනි . මා දුටුවාත් සමග එංගල්තිනා කලබල වන්නී
” ඇයි ඉස්කෝලෙ නෝනා කොහෙද මේ යන්නෙ
වැදුම් ගෙයි මහන්සියවත් බලන්නෙත් නැතිව .ඕන දෙයක් තියෙනවා නම් කියන්න. ” එංගල්තිනා නැන්දා මගේ අතින් අල්ලාගෙන කාමරයට රැගෙන යාමට ඉස්සර වූවාය .
‘ දයාවතීටත් කෙල්ලක් ‘ යන්නෙත් ගම්‍යවන්නේ
මටත් ලැබුණේ කෙල්ලක් නිසා ඇති වූ ප්‍රශ්නයක් ද?.
කුසුම්තිලක දැඩි මහන්සි ගතියකින් මොරිස් මයිනර් රියෙන් බැස මා අසළට පැමිණියේ සිනාසෙමින්.
” කොහොමද මගේ කෙලි පොඩ්ඩිට ඉස්කෝලෙ හාමිනේ “
” අනේ ඔයාගේ දාඩිය. නාගෙන එන්නකො.”
” එතකොට ඔයාල ඉස්කෝලෙ දි දහදිය රත්තරන් කියලා උගන්නන්නෙ “
” ඒ ඉස්කෝලෙ දි “
මම ආදරණීය බිරිඳක් වීමි.
දයාවතීටත් කෙල්ලක් යන එංගල්තිනා ගේ වචන මගේ සිත රිදවමින් මතුවෙයි . කුසුම්තිලකගේ මුහුණින් එවැනි කුඩා හෝඩුවාවක් හෝ නොපෙනෙයි .තමන්ට යටපත් කිරීමට අවශ්‍ය දේවල් වෙනත් ස්වරූපයකින් මතුවන බවක් මම
ගුරු විද්‍යාලයේ දී ඉගෙන ඇති බවක් සිහිපත් වෙයි .
” අගුනකොළපැලැස්ස ඉස්පිරිතාලෙ අම්මා කෙනෙකුට නිඹුල්ලු තුන් දෙනෙක් හම්බවෙලා .
තුන් දෙනාම කෙල්ලො.’ කුසුම්තිලක නුහුරු බවක් පෙන්වමින් දියණිය සුරතල් කලා.
” මේ තණමල්විලත් තාත්තා කෙනෙකුට නිඹුල්ලු
දෙන්නෙක් හම්බවෙලා තියෙන්නෙ . දෙන්නම කෙල්ලො. ” මම මිමිණුවා .
” මොකක්ද ? කවුද කියන්නේ ‘
” කවුද කාටද කියලා මං දන්නෙ නෑ .ඔය කවුදෝ කියනවා ඇහුණා.
සමන්තිලකගේ මුහුණින් දහදිය තෙතමනයක් පහන් ආලෝකයට පැහැදිලිව පෙනුනා.මගේ සිතේ
මතුවන ද්වේශසහගත සිතුවිල්ලක් සිනාවක වෙස් ගෙන තොල් අතර රැදෙයි. නිදිගත් දියණිය සයනයේ තබා කොට්ට දෙකක් දෙපසින් තැබුවේ අනවශ්‍ය තරම් කල් ගනිමිනි. දෙපසින් තැබූ ආරක්ෂිත කොට්ට දෙක සංකේතවත් කරන්නේ දෙමව්පියන් ය.
විටින්විට කෑම කාමරයේ දීත් නිදන කාමරයේ දීත්
හමුවෙන සමන්තිලකගේ මුහුණින් ප්‍රබෝධමත් පෙනුමක සේයාවන් අඩුව තිබුණා .
දිනක් මධ්‍යම රාත්‍රිය ආසන්නවෙමින් තිබියදීත් කුසුම්තිලක නොපැමිණි හෙයින් මගේ නැන්දම්මා වූ බෝදාගම හාමිනේත් එංගල්තිනා නැන්දාත් ඉස්තෝප්පුවේ කතා කරමින් සිටියා . කාමරය තුළ
උණුසුමක් වූ බැවින් මම ජනේලය විවෘත කළා.
ජනේලයෙන් පිටතට ගලායන මන්දාලෝකය තුලින් ගෙවත්තේ කෙළවර කම්ඹි වැටෙන් රිංගා යන සුදු වත හැදි කෙනෙක් මගේ නෙත ගැටුනේ අහම්බෙන් වගේය. හිස රෙද්දකින් වසා තිබූ බැවින් හදුනාගත නොහැකි විය .කිරි මඩුව ඒ අසළ වුවත් රාත්‍රියේ එහි කිසිවෙකුත් වැඩ නොකරයි .කිරි මුහුන්ලා මිදෙන්නට තබා ඇත්තේ එහිය.ස්වල්ප වේලාවකට පසු ළිඳේ බොලොක්කය ගැටෙන ශබ්දයත් , සිමෙන්ති පොළව මතට වතුර වැටෙන හඩ ත් පැහැදිලිව ඇසෙයි .
” ඇයි මේ ජනේලය ඇරලා” සමන්තිලකගේ කටහඩේ අමුතු ආදරණීය බවක් ගැබ්ව තිබුණා .
” අපේ මහත්තයා තවම ගෙදර ආවෙ නෑ .
” ඉතින් මේ ජනේලය ඇරියට පාර පේන්නෑ .”
“නෑ ඉතින් මං හිතුවෙ ඔයෙ කම්බි වැටෙන් රිංගලා ඒවි කියලා .” මම විහිලු කරමින් ඉස්තෝප්පුවට ගියා .
” පන්නෙගමුවෙ ගාලෙ සත්තුන්ට කුර ලෙඩ.
බෙහෙත් විද්දා. පශු වෛද්‍ය මහත්තයා එනකොට පරක්කුවුණා අම්මෙ. “
‘ ” ඔයා කෑවද?”
” දරුවට කිරිදෙන්න තියෙන අම්මා කෙනෙක් බඩගින්නේ ඉන්න හොඳ නැහැනේ ” පිළිතුරු දුන්නෙ අම්මා .
කුසුම්තිලක ගේ නිරුවත් උඩුකය පහන් එළියට
පැහැදිලිව පෙනෙයි .
” මට අද හරි තනිකමක් දැනුණා .”කියමින් මම කුසුම්තිලක අසලින් වැතිරී ඔහුගේ නිරුවත් පපුවේ ඝනව වැඩී තිබුණ රැලි ගැසුණු කෙස් ගස්
පිරිමැදීම් .
” මට නිදිමතයි කෙල්ලෙ “
විවාහ ජීවිතය තුළ ඔහු මා ඇමතූ ආදරණීයම
වචන .එපමණකි.කුසුම්තිලක ඉක්මන් නින්දට වැටුණේ මහ හඩින් ගොරවමිනි.
පසුදින පෙරවරුවේ මම කිරි මඩුවට ගියේ තනියම .කණවැද්දුමියක වු මල්ලිකාත් ,ගුණේරිස් මාමාත් කිරි මුට්ටි කරත්තෙට පටවමින් හිටියා .
” ඉස්කෝලෙ නෝනා මේ පැත්තෙ ආවැයි.” මල්ලිකා විරිත්තමින් වගෙ හිනාවුනා .
” කොහොමද ගුනේරිස් මාමෙ කිරි යහමින් තියෙනවා ද?”
” වරදක් නෑ ‘මැණිකේ ” ගුනේරිස් මාමා මට කතා කරන්නේ මැණිකේ ‘කියා ගෞරවණීය හඩකින් .
ගුණේරිස් මාමා කිරි කරත්තය දක්කා ගෙන ගියත්
එක්කම මම මල්ලිකාට කතා කළා .
” මල්ලිකා හැමදාම කිරිමඩුවෙ රෑ වෙනකන් වැඩ තියෙනවා ද?.”
” හැමදාම නෑ .ඊයෙ නම් ටිකක් රෑ වුණා .
ඉතින් ඔයා තනියම වැඩ කරන්නේ තව කවුරුවත් හරි ඉල්ලගන්න එපායැ”
‘ ගම්බාර මහත්තය දෙන්නෙ නෑ ඉස්කෝලෙ නෝනා “
මම වැට ළගට යත්දි මල්ලිකා හොරෙන් හොරෙන් බලාගෙන සිටියා .
පූර්විකා දුවගෙ පළමුවන උපන් දින උත්සවය ජයට ගත්තා .එහෙත් මගේ සිත තැවුණු එක් කරුණක් නිතරම මතුපිටට ගලන්න උත්සාහ කලා .
මම ගෙදර කිසිවෙකුටත් නොකිය ගුණේරිස් මාමාත් සමග බක්කි කරත්තෙන් දයාවතී බලන්න ගියා .
” දයාවතියො මේන් උඹ බලන්න ගම්බාර මැණිකේ ඇවිදින් ” ගුනේරිස් මාමා කිව්වෙ හරිම සන්තෝෂයෙනි .
” ඉස්කෝලෙ නෝනා මේ පැත්තෙ ” දයාවතීගෙ මුහුණින් ප්‍රකාශ වුනේ සතුටක් නොව ලජ්ජාවක
පෙනුමක්.
” මම ආවෙ ඔයාගේ දරුවා බලන්න .”
” ආ … ලස්සන කෙලි පොඩ්ඩක් .මොකක්ද නම”
“පූජා “
මම බිළිදියට ගෙනා ත්‍යාගය පිරිනමා ආපසු යෑමට සූදානම් වූයෙමි .
” යායෙ පැතිරිලා යන කටකතා අහල ද නෝනා මාව බලන්න ආවෙ.”
දයාවතී ගෙ කටහඩේ තිබුණෙ එඩිතර හඩක්. මම ඒ හඩට කැමතියි . ගෑණියෙක් තමන්ගෙ අයිතිය වෙනුවෙන් සටන් කිරීම සාධාරණ දෙයක්.
” නෑ .ඔයාගේ දුවගෙ නියම තාත්තා කවුද කියලා උප්පැන්න සහතිකයට ඇතුල්කලාද කියලා දැනගන්නට ” ,
” ගම්බාර මහත්තය ගෙ අයියා ,පන්සලේ නායක හාමුදුරුවෝ විරුද්ධ වුණා පෙළපත් නාමෙ දෙන්න.
ඒක නිසා මගේ කෙල්ලට තාත්තෙක් නෑ .මට හාමුදුරුවන් එක්ක රණ්ඩු කරන්න බෑනෙ.” දයාවතීටත් ආත්ම ගෞරවය නොපිරිහී තබාගන්න හැකියාවක් තිබුණා .
කුසුම්තිලක ගම්බාර මහත්තයගෙ හදිසි මරණය
නොවිසඳුණු අපරාධයක් ලෙස යටපත් වෙමින් තිබුණා . එයත් අනියම් බිරිඳක් හා සම්බන්ධයක් පවතින බවට කටකතා පැතිර ගියත් රටේ පැවැති
භීෂණ පරිසරය නිසා යටපත් වුණා . පූර්විකා වෛද්‍යවරයෙක් සමග විවාහවීමෙන් පසු එංගලන්තයේ පදිංචියට ගියේ අපේ දේපල සිය සැමියාගේ සහෝදරයකුට පවරලාය.එහෙත් මගේ කසාද අයිතිය මට නොඅඩුව ලැබෙන්නට සලස්වමිනි.මේ වනවිට පූජා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් හිටියෙ .ඇගේ සියලුම වියහියදම් දැරුවේ මම . එපමණක් නොව මහාචාර්ය ජයන්ත තිරානගම ගේ මාලඹේ පිහිටි නිවසේ නවාතැන් ගෙන සිටි පූජා සරසවියට පැමිණියේ ජයන්ත සර් ගෙ කාර් රථයකින් .
පූර්විකා විදේශ ගතවීමෙන් පසු මට දරාගත නොහැකි තනිකමක් දැනෙන්නට පටන් ගත්තා .මම සති අන්තයක පූජා සමග ජයන්ත සර් ගේ නිවසට ගියා .
” මාධවී මට හිතාගන්නට අමාරුයි ඔයා මාව බලන්න ආවා කිව්වම. ඉතින් දැන් මොනවද ඉතිරි වෙලාතියෙන්නේ “ජයන්ත ගෙ හිනාවෙන දෑස්වල
තිබුණෙ තේරුම් ගැනීමට අපහසු හැගීම් ප්රකාශයනයක්.
” ඔයා මාව විහිලුවට නොගෙන උපකාරයක් කරන්න .”
පුජා තේ සූදානම් කරත්දි මම මිමිණුවා .මගේ කටහඩේ තිබුණෙ ආදරණීය රිද්මයක් .තරුණ පෙම්වතියකගෙ මුණුමුණුවක් වගෙයි .ජයන්ත සර් මා දෙස බලාගෙන සිටියදී ඔහුගේ දෙනෙත් සියුම් තෙතමනයක උල්පතක් මතුවන බවක් පෙනින.
” සර් පූජාගෙ උප්පැන්න සහතිකයෙ තාත්තෙක් ගෙ නමක් නෑ . සර් කැමතියි නම් පූජාගෙ තාත්තා වෙන්නකො. “
ජයන්ත සර් සහ පූජාගෙ දැඩ් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් මම දින කීපයක් නැවතීමට තීරණය කළා .
“කොහොමද මාධවී ඔයාගෙ සුබෝධා තෙරණියන් වහන්සේ ගෙ තොරතුරු ” ජයන්ත සර් ඇහුවා .
මගේ පිළිතුර සර්ගෙ හිත තවත් බිදෙන එකක්.
මම පිළිතුරක් නොදී පූජා දෙස බලා හිටියෙ ඇය
කුසුම්තිලක ගම්බාර මහත්තය වගේම හැඩරුවට දැක්ක නිසා .
” ආ…පූජා මෙන්න ඔයාගේ උප්පැන්නේ .
පූජා මොහොතක් උප්පැන්න සහතිකය දෙස බලාගෙන හිටියා . ඈ ඉකි ගසමින් මහාචාර්යවරයා ගේ පාමුල දණ නමා වැද වැටී
‘ අප්පච්චි ‘ කියමින් හඩා වැටුණේ මගේ පමණක් නොව මහචාර්ය වරයාද මනුෂ්‍යයන් බව පෙන්වමින් .ඇය මගේ දෙපා සිඹිමින් ‘ අම්මා ‘කියා මා අමතද්දී මගේ හදවත ඇතුළතින්ම මහා
සෙනෙහසකින් උතුරා ගලායන දාරක ප්‍රේමයක්
දැනුණා
” පූජා තිරානගම ” මගේ ඉකිබිදීම අතර ඒ හඩ
පැහැදිලිව ඇසෙන්නට ඇතැයි මට දැනෙන්නට වුණා .පූජා තිරානගම පළමුවන පන්ති සාමාර්ථයක් සමග සමත්ව තිබුණා .ඇය එහි ගෞරවය මටත් , ජයන්ත සර් ට පැවරුවේ ඉතාමත් නිහතමානීව ය.
මහාචාර්යවරයා හුනස්නෙන් නැගිට පූජා සහ මා තුරුල් කරගත්තා . ඒ බැදීම්වලින් මා කෙසේ නම් මිදෙන්නද?
” ජයන්ත මම තව ටික දවසකින් අත්තම්මා කෙනෙක් . ඒත් මම සුබෝධා තෙරණියන් වහන්සේට පොරොන්දු වුණා එතුමිය ගෙ ආරාමයේ පැවිදි වෙන්නට .මට අවසර දෙන්න” මම ජයන්ත තිරානගම ගේ දෙපා සිප ගත්තෙමි .
” උත්පලවන්නා ඇයි දුව දැන් සෑහෙන වෙලාවක්
ඔතන කරන්නේ . දුව අතීතය ත් අනාගතය ත්
අමතක කරන්න .ඔයා මේ මොහොතේ සිහිය පිහිටුවල භාවනා කරන්න .” සුබෝධා මෙහෙනින් වහන්සේ කිව්වා.
මම සිහිය පිහිටුවා ගත්තා .
උපුටා ගැනීම: Dharmasena Jayawickrama