” අම්මා …. ඉරිදා යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටියක් තියෙනවා “
මගේ කෙල්ල එහෙම කියද්දී මම දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා .
වැඩිය අටුවාටික කියව කියව ඉන්න ඕනි නැති නිසා මම කෙලින්ම කාරණාවට බැස්සා .
” ඉතිං දැන් අළුත් ගවුමක් ඕනිද ? “
” ඔව් ….. සපත්තු දෙකකුත් ඕනි “
මගේ පොඩි කෙල්ල කිව්වේ මගේ ලගට ඇවිත් මුණේ හුරතල් කමක් පෙන්නමින් .
” හ්ම්ම් ….”
මගේ කෙල්ලට දැන් අව්රුදු දාසයක් . පුන්චිකාලෙ ඉදලා එයාව අපි බලාගත්තේ මලක් වගේමයි . එයා කැමති දෙයක් ඉල්ලුවොත් කිසීම පැකලිමකින් තොරව ඒ දේ අරගන දෙන එක අපි පුන්චිකාලෙ ඉදලා කරපු දෙයක් . එහෙමයි කියලා ඒ දරුවා හිතුවක්කාර උනෙත් නෑ . දරුවෝ කැමති දේවල් තියෙනවානම් ඒවා ගන්න ආර්ථික තත්වයක් අපිට හිමිනම් මම හිතන්නේ එයාලගේ ආශාවන් ඉෂ්ඨ කරන එක අපේ යුතුකම් .
ඊට දවස් දෙකකට පස්සේ සෙනසුරාදා උදේම අපි දෙන්නා පිටත් උනේ අළුත් ඇදුම් , සපත්තු වගේම මගේ දියනියගේ යෙහෙළියට තෑග්ගකුත් ගන්න හිතාගන . බොහොම අමාරුවෙන් ඇදුම් කඩවල් තුන හතරකින් පස්සේ යන්තම් එයාගේ හිත ගියපු ලස්සන ගව්මක් මිලදීගන්න අපිට පුළුවන් උනා .කොහොමත් මේ වයසේ ඉන්න දරුවෝ කැමති ලස්සනට ඉන්න . නොගැලපෙන දෙයක් නොකරනවානම් ඒවාට අපිට බලපෑම් කරන්න බෑ . අපි හැමෝම කැමති ලස්සනට ඉන්න , මෝස්‌තර කරන්න .
දැන් ඊලග ප්රශ්නේ සපත්තු . මුළු ටවුන් එකේ ගොඩක් කඩවල් වලට ගියත් මගේ දියණියට අවශ්ය කරන වර්ගයේ සපත්තු දෙකක් ගන්න තැනක් තිබුණේම නෑ . එත් මගේ හිතේ පුංචි මතකයක් තිබුනා හතරවෙනි විදීයේ තියන නම ගිය සපත්තු කඩය ගැන . සාමාන්යයෙන් අපි ඒ සපත්තු කඩෙන් සපත්තු ගන්නවා තියා හිතන්නෙවත් නැති තරම්. ආරංචියේ හැටියට ඒ කඩේ සපත්තු මිලදී ගත්තේ පෝසත් මිනිස්සු . අන්තිමේදී අපි එතෙන්ටත් යන්න තීරණය කලා . මගේ දියනියනම් ඒ තීරනයට කැමති කිව්වේ උඩ පැනලා . එයාගේ ඒ සතුටත් එක්ක අපි ඊළගට ගියේ ඒ නම ගිය සපත්තු කඩේට .
සපත්තු කඩේ ඇතුළු වෙලා කන්තා සපත්තු ඇති කොටසටත් අපි ඇතුළු උනා. ඒතැන හරියටම මට දැනුනේ අපි පුංචිකාලේ කියවපු සුරංගනා ලෝකයක් වගේ .තේරිමක් කරන්න බැරි තරමි එතන තිබුන සපත්තු ඔක්කොම වගේ ලස්සනයි . හැම මෝස්තරයක්ම හිතාගන්න බැරි තරම් ලස්සනයි .
හිමින් සැරේ සපත්තු එකින් එක බලාගන යද්දී එක පාරටම මගේ හිත ගියේ සෝකේස් එකක් ඇතුලේ තිබුන සපත්තු කුට්ටමකට . ඒ සපත්තු දෙක හරිම ලස්සනයි . පුංචි පුංචි මල් වලින් ලස්සන කරපු ගැණු දරුවෙකුගේ පාද තවත් ලස්සන කරන සපත්තු දෙකක . ඒ වගේම මටත් ඒවගේ සපත්තු දෙකක් තිබුණා . ඒ මගේ සුන්දරම කාලයේ සිදුවූ සිදුවීමක් .ඉන්පසු මගේ හිත අතීතයේ දවස් වලට ඇදිලා ගියේ මමත් නොදැනිමයි .
ඒ වෙද්දී මම හිටියේ අටේ පංතියේ . මම ගණිතය , ඉංග්රීසි , විද්යාව වගේ විෂයන් වලට දුර්වලයි . ඉතිං අපේ අම්මයි අප්පච්චී මාව ඒ විෂයන් තුනට ටියුෂන් එකකට බලෙන්ම වගේ සහභාගී කරා . මගේ නම් කිසි කැමැත්තක් තිබුනේ නෑ ටියුෂන් යන්න . එත් අම්මලාගේ බලකිරිමටම තමයි සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම ටියුෂන් එකට බඩ ගෑවේ .
කොහොමින් කොහොම හරි මාස හය හතක් යද්දී ඒ විෂයන් දෙක තුනට මං ඉතා දක්ෂ උනේ නම් නෑ . එත් හිටියට වඩා හොද මට්ටමකට ආවා . හොදයි කියන්නේ මුලින් ලකුණු විසි හතරක් විසි පහක් තිබුණු මම ලකුනු හතළිහක් හතලිස් පහක් ගන්න මට්ටමට ආවා . මගේ ඒ විෂය සාධනය දැකලා අපේ අම්මයි අප්පච්චී ඊලග අව්රුද්දෙත් ඒ පන්තියට මාව යවන්න තීරණය කරා . හෙමින් හෙමින් අපි කොහොමෙන් කොහොම හරි දහය පන්තියටත් ආවා . දෙයියනේ …. කියලා එතකොටනම් මට ලකුණු හැත්තෑවක් වගේ ගන්න පුළුවන් වෙලා තිබුනේ .
දහයේ පංතියේදී අපේ සති අන්ත ටියුෂන් එකට අළුත් ළමයි වගයක් ආවා . ඒ අතර නිවුන්නු හිටපු එක තමයි විශේෂය . එයාලා තුන් නිවුන්නු . ගැහැණු ළමයි දෙන්නයි , එක පිරිමි ළමයි . ගැහැණු ළමයි දෙදෙනාම වැඩිය අපිත් එක්ක කතා කරේ නැහැ . ඒ දෙන්නා හිටියේ වෙනමම වගේ . හැබැයි පිරිමි ළමයා හිනා වෙනවා .
ඒ පිරිමි ළමයා මුණ පුරා කූරුලෑ තියන කෙනෙක් . හැබැයි ටික දවසක් යද්දී ඒ ළමයාගේ එන්න එන්න ලස්සනක් මම දැක්කා . එයාව මතක් වෙද්දී මට අමුතු හැගීමක් දැනෙන්න පටන්ගත්තා . ඕනි වෙලාවක් ඇතිවෙන්නේ නැතිව එයා දිහා බලාගන ඉන්න මට පුළුවන් උනා . හිමින් හිමින් අපි දෙදෙනාම ආදරේ කරන්න පටන්ගත්තා .
ලොකු සම්බන්ධයක් නොවුනත් , වැඩිය කතා නොකරම අපි ඉක්මනින් ඕලෙවෙල් විභාගයටත් මුහුණ දුන්නා . ඊට පස්සේ එලෙවෙල් පන්තියේදී තමයි අපි හරියටම කතා කරේ , ආදරේ කරන්න පටන්ගත්තේ කියලා කිව්වොත් මම නිවැරදි .කොහොමත් ඒ වෙද්දී අපි කාලා විශයත් , ඔහුගේ සහෝදරියන් දෙදෙනා විද්යා විෂයන් කරන්නත් තෝරාගත් නිසා අපිට තිබුනේ පුදුමාකාර නිදහසක් . මොකද ඒ වෙද්දී ඒ අව්රුදු ගණනම ඒ සහෝදරියන් දෙදෙනාගෙන් ඒක හංගන්න ඕනි නිසා තමයි අපි වැඩිය කතා නොකර ආදරේ විතරක් ප්රකාශ කරගන පාඩුවේ හිටියේ .
ඒ ඔහුගේත් මගෙත් ප්රථම ආදරේ . අපි දෙන්නා ආදරේ කරා දැනෙන්න ආදරේ කරා . ගෙවල් වලට හොරෙන් හමුවෙන එක , ලියුම් හුවමාරු කරගන්න එකේ අමුතුම සතුටක් තිබුණා . නොදැනීම දින සති ගෙවිලා ගියා . අපි දෙන්නා අපි දෙදෙනාගෙන් තොර දෙයක් හිතුවේ නෑ . අපිට වැඩක් උනෙත් නෑ ඒ දේවල් වලින් . අඩුම තරමේ එකි නෙකාගේ පවුල් වල විස්තරවත් අපි හෙව්වේ නෑ .කව්රුහරි මගෙන් ඇහුවොත් ජිවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඒ කාලේ කියලා කියන්න මම පැකිලෙන්නේ නෑහැ .
අපි දහතුනේ පංතියේ ඉද්දි ඒ ලෙවෙල් වලට මාස හතරක් තියෙද්දී මගේ දහ අටවෙනි උපන්දිනේට ඔහු මට තෑග්ගක් දුන්නා . ඒ ලස්සනම ලස්සන සපත්තු දෙකක් . අපි දෙදෙනා අතර හුවමාරුවුනු පලවෙනි ත්යාගය තමයි ඒ .මල් පෙතිවලින් සරසලා වගේ අමුතුම ලස්සනක් ඒ සපත්තු දෙකේ තිබුණා . මම එදා ඒ සපත්තු දෙකත් අරගන ගෙදර ගියේ හරි සතුටකින් . මාව පිරිලා වගේ හැගීමක් මට දැනිලා තිබුනේ .
එත් …. අපේ ආදර කතාවේ අවාසනාවට ඒ සපත්තු දෙක අපේ ගෙදරට අහුඋනා . ඔක්කොටම වඩා සපත්තු දෙකත් එක්ක තිබුණු පුංචි ලියුම් කඩදාසිය දැකපු අම්මා මාව නොමරා අත හැරිය එක ගැන මටම පුදුමයි . එත් මම ගුටි කෑවා . ඇඩුවා . ඒ වගේම මම උන්මාද චිත්රා වගේ නිවාස අඩස්සියට පත්උනා . ඔහු මට එවලා තිබුණ ලියුමේ තිබුනේ . ඒ සපත්තු දෙක ඔහුගේ අතින්ම නිර්මාණය කරපු එකක් බව . ටික කාලෙකින් අපේ අම්මා මට බැන බැන කිව්වේ
” හන්දියේ සපත්තු හදන මනුස්සයාගේ පුතා ඒ ” කියලා .
ඒ මගේ පළමු ආදරයේ මතක . ඉන්පසු කාලයත් සමග තව ආදර අන්දර මගේ ජිවිතේට ආවා . කාලයත් සමග සියළු දේවල් මතක විතරක් උනා .
දිග සුසුමක් පිට කර ඒ මතක සිහිකිරීම නිමා කර මම එතැන සිටි සේවකයක්යෙක්ගෙන් විමසුවේ …
” මේ සපත්තු දෙක කීයද ?”
” සොරි මැඩම් ඒ සපත්තු දෙක විකුනන්නේ නෑ …. මේ ඩිසයින් එකේ සපත්තු අපි හදන්නේ නෑ “
” ඇයි ඒ ?”
මම පුදුම වෙමින් ඇහුවා .
” මේ අපේ මහත්තයා ඩිසයින් කරලා මහත්තයාගේ අතින් හදපු සපත්තු දෙකක් . අපේ ලෝගෝ එක මේ සපත්තු දෙක . ඉතිං විකුනන්නේ නෑ “
මම පුදුම උනා . එතකොට මේ කඩේ අයිතිකාරයා ඔහුද ? කුතුහලයක් එක්කම මම ඔහුගෙන් විමසීම් කරේ මේ මහා පරිමාණ වෙළද ව්යාපාරයේ හිමිකරු කව්ද කියා . ඔහු ලබාදුන් පිළිතුරෙන් මට දැනුනේ පුදුම සතුටක් . ඔව් ඒ ඔහු . මට ඒ වෙලාවේ ඕනි උනා කතා කරන්න , ඔහුව බලන්න . ඉතිං මම සේවකයාගෙන් විමසුවේ ඔහු මෙහි සිටිනවාද කියලා .
” සමාවෙන්න නෝනා …. සර් ඉන්නේ කොලඹ ගෙදර . මිට අව්රුදු තුනකට කලින් අනතුරක් වෙලා සර්ගේ කකුල් දෙකම නැති උනා “
ඒ සිද්දිය අහපු වෙලේම මට හිතාගන්න බැරි දුකක් දැනුනා . ඉතිං මට ඕනි උනා ඔහුව බලන්න කොහොම හරි .
” සර්ගේ වයිෆ් , දරුවෙක් උනත් කමක් නෑ “
මම එහෙම කිව්වේ මම ඔහුගේ පාසල් කාලයේ යෙහෙලියක් බව අගවා හෝ ඔහුව බැලීමට .
” සොරී මැඩම් සර් විවාහ වෙලා නෑ .ඕනිනම් අද සර්ගේ සහෝදරියක් මේ බ්රාන්ච් එකේ ඉන්නවා . මම මැඩම්ට පණිවිඩේ දෙන්නද මැඩම් “
” හ්ම්ම් …..”
මම එසේ කියුවිට ඒ තරුණයා ඉක්මනින් එතනින් පිටව ගියා . ඒ යන්න ඇත්තේ ඔහුගේ සහෝදරියට පණිවිඩය දෙන්න . ඉන්පසු මම සපත්තු දෙකක් අතින් ගෙන එය නරඹමින් සිටි දියණිය ලගට ගියේ මටත් නොදැනීම . ඉන්පසු දියණිය අතින් තදට අල්ලාගන සෙනග අතරින් වේගයෙන් කඩෙන් එලියට එන විට මට හැඩුම් ආවා . ඇස් වලින් වැටෙන කදුළු මගේ දියණියට හොරෙන් පිසදා ගනිමින් මම ඇයට කිව්වේ
” එහා විදියේ සපත්තු කඩේට යමු . මේකේ සපත්තු ගණන් වැඩි “
එත් ඒ මොහොතේ සිට මගේ සිතේ තෙරපෙන අතීතයත් , වර්තමානයත් අතර ප්රශ්ණ ගණනකට පිළිතුරු අයදිමින් මගේ සිතටම බලපෑම් කරයි .
ඒ …..
තවමත් ඔහු විවාහ වෙලා නෑ . ඒක වෙන්න පුළුවන් දෙයක්ද ?
කෙනෙක්ට පලවෙනි ආදරේ නිසා ජිවිත කාලෙම තනිවෙන්න පුළුවන්ද ?
ඔහු තනි උනේ මං නිසාද ?
ඊටත් වඩා කකුල් දෙකම අහිමිවුණු කෙනෙක්ට අනෙක් අයට පළදින්න සපත්තු නිර්මාණය කරන පුළුවන්ද ?
මට ඒ ආදරේ අමතක කරන්න පුළුවන් උනත් ඇයි ඔහුට නොහැකිවුනේ ?
ඇයි ඔහු එසේ නොකළේ ?
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –