” නෑනන්ඩීලා ඕනෑම මොහොතක තමන්ගෙ ඇවැස්ස මස්සිනාලව ආදරයෙන් භාරගන්නව.” යැයි මගේ බිරිඳ විහංගි කිව්වා. බොර පාටට හැරෙමින් තිබෙන ඇගේ වෙහෙසකර දෙඇස් මගේ මුහුණේ සියුම් රේඛාවන් පවා හසුකර ගැනීමට තරම් විමසිලිමත් වී තිබුණා . සංකීර්ණ ශල්යකර්මයකින් පසු ඇය සිහිය ලැබුවේ ඊයෙ පෙරවරුවේ ය.
” විහංගි , ඔයා වෙහෙස වෙන්නෙපා රත්තරන් . අපි පස්සෙ කතා කරමු . “
” සුබෝධ , ඔයා හොදටම දන්නවනේ මට වැඩි දවසක් ජීවත්වෙන්න ඉඩක් නෑ කියලා . ඉතින් හිතේ තියෙන දේවල් ඔයාට කියලා මගේ සිත සැහැල්ලු කරගන්න ඕන .මම මැරෙන්න බය නෑ . ඒත් මැරෙන ආකාරය පිළිබදව නම් මගේ හිතේ බයක් තිබුණා . දැන් මට ඒකත් පැහැදිලි වෙමින් තියෙන්නෙ . මගේ අතින් ඔයාගේ නෑනන්ඩිට ගොඩක් වැරදි වුණා .මම තරංගගෙන් ඔයාව උදුරා ගත්තා .” විහංගි හුස්ම ගත්තේ අපහසුවෙන් වගේ .
” අතීතයේ වෙච්ච දේවල් වෙලා ඉවරයි . ඒවා මතක් කර කර පරණ තුවාල පාරාගන්නේ ඇයි ? අපි දැන් හිතන්න ඕන දැන් තියෙන දේවල්. “
” ඔයා කියවලා ඇතිනෙ ගෝර්කි ලියනවා මිනිහෙකුට අවශ්ය වන්නේ තමන් කැමති තැනකින් පැල් කොටයක් අටවා ගන්නයි තමන්ට අවශ්ය විටෙක තුරුලු කරගන්න ගෑනියක් පමණයි
කියලා . ඔයාගේ ඉතිරි තරුණ ජීවිතයට ගෑනියෙක් අවශ්ය යි ඒකට සුදුසුම කෙනා තරංගා .එයා තවමත් බැදලා නෑ .” විහංගි මගේ සුරත ගෙන ඇගේ ළැම මත තබා ගත්තා . ඇද අසළම වාඩිවී සිටියදීත් රෝගී ඇය ස්පර්ශ කරමින් අවංක සවන්දෙන්නකු බව ඇගවීමට මට අමතක වූයේ ඇයි ? සුළග නොහමන මොහොතක තුරු වදුලක තුරුපත්වල චලනය දකින මම විහංගි ගෙ දොඩමළු බව නොසලකා සිටියේද? මගේ සිත තුළ
දරුණු පසුතැවීමක් උණුදිය උල්පතක් සේ මතුවෙයි .
” ඔයා මට යෝජනා කරන්නේ වෙනත් ගෑනියක්
ළගට ගන්න කියලා ද ? ” මම කෙළින්ම විහංගි ගෙ
මුහුණ බලමින් ඇහුවා . රෝගීවීමට පෙර වඩාත් සිත්ගන්නා සුලු පෙළගැස්මකින් හැඩකාරියක් වූ
විහංගි මේ තරම් පහසුවෙන් ජීවිතය අත් හැරීමට
පෙළඹවීම ගැන මා වගකිවයුතු ද?
” ඔව් සුබෝධ ,මම ඔයා මගේ කරගන්න නොකළ යුතු දුෂ්ට වැඩ කළා . මට ඔයාගේ නෑනන්ඩිත් එක්ක තිබුණෙ තරගයක් නෙවෙයි වෛරයක් .ඒක
මම ජයග්රහණයෙන් කෙලවර කරගත්තත් මට ඔයත් එක්ක ඉන්න පුළුවන් වුනේ අවුරුදු දෙකක් විතරයි. ඔයාට ජීවිතයම ඉතිරියි. ඔයා දවසක් මට ලියල තිබුණා මම ෆිග්මැලියන් නම් ග්රීක නිර්මාන ශිල්පියා නිර්මිත දෙවගනක් වගේ ලස්සනයි කියලා .මගෙ ජීවිතයට වටිනාකමක් දුන්නෙ ඔයා .මට ඔයාව සුදුසුම කෙනාට බාර දෙන්න ඕන.
ඒක නිසා ඔයා තරංගට කතා කරන්න. “
” විහංගි , ජිවිතය පස්සට තල්ලු කරන්න එපා . මගේ ජීවිතය වගේම ඔයාගේ ජීවිතයත් ඉතිරියි .දොස්තර මහත්වරු කියන දේවල් අවශ්ය තරමට වඩා වෙනස්වෙලා තියෙනවා .”
” සුබෝධ , මගේ සිත සනසන්න ඔයා හොදින්ම දන්න ඇත්ත යටපත් කරනවා. මට ජීවත්වෙන්න තියෙන්නෙ තව දවස් ගණනයි. ඒක මම නෙවෙයි කියන්නේ අපේ දොස්තර මහත්වරු . ඔයා අයිති මට නෙවෙයි තරංගට . තරංගා රත්නායකට. ජාලිය ක්රිෂ්ණජිනා දන්දෙන අවස්ථාවෙ දුක හිතුණෙ මන්ද්රිදේවියට විතරක් ද? . නෑ වෙස්සන්තර රජතුමාටත් දුක හිතෙන්න ඇති . ඒ විතරක් නෙවෙයි වෙස්සන්තර කතාව අහන ඕනෑම සංවේදී මිනිසෙකුටම , ගැහැනියකුටම දුක හිතෙනවා. මට දැනෙන දුක දෙපැත්තකට බෙදෙනවා.ඒ එදා තරංගා වින්ද වේදනාව ඔයාට වගේ මටත් දැනෙනවා . මහ පව්කාරකම් කන්දක් එක්ක මට මැරෙන්න දෙන්න එපා සුබෝධ . මාව මැරුනත් , මිනිස්සු මට සාප කරාවි. අනෙක ඔයා කරපු අතීත දෙයක් .තවමත් මා මවිතයට පත් කරන එකක්. ඔයාගේ අම්මා ගෙ භූමදාන දවසෙ රෑ එකොළහට පමණ තදින් වැහැලා. ඔයා ලොකු කුඩයක් අරගෙන සොහොනට ගිහිල්ලා අම්මා ගෙ සොහොන තෙමෙන්නට නොදී කුඩය අල්ලා ගෙන
හිටිය සිද්ධිය . සමහරු ඔයාට හිනාවුනාට මට දැනුනෙ ඒක ඔයාගෙ ආදරයෙ ගෞරවණීය පැතිකඩක් . ඒ වගේ කෙනෙක් අතහැරල දාන එක මෝඩකමත් කියලා මට හිතුණා . ඔයාව තනිකරලා මට මැරෙන්න බෑ.
ප්ලීස් එයාව එක්කර ගෙන එන්න.” විහංගි කදුලු නිදහසේ ගලා යන්නට ඉඩ හැරියා .
තරංගා මගේ අම්මා ගෙ ලොකු අයියගෙ ලොකු දුව. අපි දෙන්නම උසස් පෙළට එකම විෂය ධාරාව කළේ. ගෙදර ඉදල ඉස්කෝලෙට හැතැක්ම එක හමරක් විතර ඇති . උදේ සවස ඉස්කෝලෙ ගියේ ආවෙ පයින් ඇවිද යමින් . එහෙම කලේ බස් වියදම් ඉතිරි කරගන්නවත් , ශරීර සුවතාවය රැකගන්නවත් නෙවෙයි . නිදහස් පරිසරය තුළ
කියව කියව යන්න. මගේ ජීවිතය සහ එහි හැරවුම් ලක්ෂ අහම්බයක් මිස සැලසුම් කරන දෙයක් නෙවෙයි . ලොකු මාමාත් නැන්දාත් කිසිවිට සැකයෙන් අප දෙස බැලුවේ නැහැ .
” සුබෝධයියෙ මං ඔයාට ආදරෙයි ” එක අනෝරා වැසි වැටෙන දවසක තරංගා මගේ කනට කෙදුරූ
හඩින් මම තිගැස්සී වටපිට බැලුවේ ඇත්තෙන්ම වැසි වැටෙන්නේදැයි සැක හැර දැනගන්නට ය.
තරංගාගේ දෙතොලේ උණුසුම මගේ සුරතේ පිටිඅත්ලට දැනෙන්නට පටන් ගත්තා . ජීවිතයේ පොපියන තරුණ විය කවර දිශාවක් වෙත ළගාවේදැයි නොදැනෙන මොහොතකින් ඉවත්වූයේ
ඇයි ? තරංගා නොසංසුන් බවක් පෙන්වමින් නැගී ඉවත්ව ගියා . ජීවිත අන්දරයේ අහම්බයක් සේ ටික කාලයක් එම සිද්ධිය තරංගා රැකගෙන සිටියා
” සුබෝධයියෙ ඔයා උපශාන්ත මුනිවරයෙක්. ඔයාගේ නෑනන්ඩී හැටියට හැගීම් වලට ඉඩ දෙන්න යි මම හිතුවෙ . ඔයාගේ අතින් නැති වෙන
හැම දෙයක්ම පුරා වස්තුවක් වගේ වටිනවා “
තරංගා ලියලා තිබුණා .
” තරංගා , මම සුබෝධ කතා කරන්නේ . මට විනාඩියක් දෙන්න පුළුවන් ද? “
” සොරි අයියා මම ලොකු වැඩක ඉන්නේ . හවසට කතා කරන්නම්” ඇය දුරකථනය විසංධි කලා .
” වාසනාව හෝ අවාසනාව විදියට ජීවිතයට අර්ථ ගන්වන්නට වඩා වැදගත් වෙන්නේ ඒ අවස්ථාව කළමනාකරණය ගැනීම අනුවයි විහංගි .අපට ප්රශ්නයක් වුනාම අපි කලබල වෙනවා .ඒක නිසා ගැටළු ඇති වෙනවා . තව තවත් පැටලෙනවා. තරංගා උත්තර දුන්න විදිය මගේ හිතට හොඳ නෑ “
මම විහංගිට පැහැදිලි කලා .
” මම අද රෑට කතා කරන්නම් ” විහංගි කිව්වා .
රාත්රියේ තරංගා ගෙ දුරකථනය විසන්ධි කර තිබුණා .පසුදින මධ්යහනයේ විහංගි කතා කලේ මා ඉදිරිපිට දීය.
” තරංගා , මම විහංගි කතා කරන්න පුළුවන් ද? “
” ඔව් කියන්න. “
” මට ඔයා හම්බවෙලා කතා කරන්න ඕන. “
” ඔයා අසනීපයෙන් ඉන්නේ කියලා සුබෝධ කිව්වා . අසනීපය මොකක්ද කියලා කිව්වෙ නම් නෑ . කොහොම උනත් මම මගේ ආචාර්ය උපාධියට සූදානම් වෙනවා . සති දෙකකින් පස්සෙ මම එන්නම් ‘ ගුඩ් ඊවිනින්ග් ‘ තරංගා දුරකථනය විසන්ධි කළා
අධික වෙහෙස නිසා දෝ විහංගි ගෙ ඇද අසළ ම පුටුවේ මම හාන්සි වෙලා සිටියා . කසාවතින් සැරසුණු තරුණ මෙහෙණින් වහන්සේ නමක් මා ඉදිරියට වඩිමින් සිටියා .මං දෑත් නෙලුම් පොහොට්ටුවක් සේ හදවතට ළංකොට පිහිටුවා මා තුළ බුදුන් වහන්සේ සුජීවත්ව වැඩ සිටින බව
උන්වහන්සේට හැගවීමි. එතුමිය නිවුන සිනාවකින් මුව සරසාගෙන විහාර මලුවට ඇතුළ්වුණා. විහාරයේ ඝණ්ඨාරය එකදිගට නාද හඩක් සමග මම තිගැස්සී ඇහැරුනා. එය සිහිනයක්ද? මම මිමිණුවා .
විහංගි ජීවිතය අත් හැර ගොස් තිබිණ .
උපුටා ගැනීම: Dharmasena Jayawickrama